"හිංසනයට,ත්‍රස්තවාදයට ප්‍රතිවිරුද්ධව දයා කරුණාව": 2016 ජගත් යොවුන් දිනයේ අභියෝගය

"Mercy Vs terrorism and violence": The Challenge of 2016 WYD


(2016 ජූලි 23)
සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ පෝලන්ත අපෝස්තලික ගමනේ වැඩසටහන වතිකානය ඉකුත් දා ප්‍රකාශයට පත් කළේය. එතුමන් ගේ පෝලන්ත චාරිකාවේ ප්‍රධාන අරමුණ ජගත් යොවුන් දිනයට සහභාගී වීමයි. එහෙත් මෙම සංචාරයේ ඊටත් වඩා ගැඹුරු ආධ්‍යාත්මික හා ශාසනික අරුත් ඇති බව එය ගැඹුරින් හදාරන විට පෙනී යයි.

කතෝලික සභාවේ යෞවනයේ මංගල්ලය වන ජගත් තරුණ දිනය මෙවර පැවැත්වෙන්නේ පෝලන්තයේ ක්රැකෝ නුවරයි.  ක්රැකෝව ගැන කියූ සැනින් අපට මතක් වන්නේ පෝලන්තය තුළත් පසුව ලෝකය තුළත් දැවැන්ත විපර්යාසයක් සිදුකළ ශු.දෙවැනි ජුවාම් පාවුළු පාප්වහ්න්සේයි. ක්රැකෝව එතුමන් ගේ අගරදගුරු පදවියයි.

ඉතිහාසයේ එතෙක් කල්  බොහෝ ගරු ගාම්භීර ධුරයක් වූ සුදොතුම් පිය ධුරයට "තාරුණ්‍යයේ ජීවය හා ශක්තිය" රැගෙන ආයේ ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේය. තමන් තුළ වූ ගැඹුරු ආධ්‍යාත්මිකත්වය - එනම් සිය සමිඳාණන් සමග වූ දැඩි සම්බන්ධය- තුළින් එම ජීවය හා ශක්තිය විදහා ලු එතුමා, සභාව තුළත් ලෝකය තුළත් නවෝදයක් ඇති කළේය. සිය රෝගී, දුබල, වියපත් විය හරහා මියෙන මොහොත දක්වා මෙම "ජීවය" එතුමන් තුළින් දිස්වූයේය.

කතෝලික සභාවේ ජගත් යොවුන් දිනය ආරම්භ කරන ලද්දේ එතුමන් විසිනි. ලොව පුරා කතෝලික යෞවනයන් එක තැනකට රැස්වී තම ආධ්‍යාත්මික අත්දැකීම් බෙදාගෙන, සභා ගුරුවරුන් ගෙන් ආධ්‍යාත්මික පෝෂණය ලබන අතර විනෝද වන මෙවැනි ජාත්‍යන්තර දිනයක් සංවිධාන කරන්නැයි එතුමන් මුල්වරට උපදෙස් දුන් විට, වතිකානයේ පාලනය කැලඹුණු බව ඊට සමීප ආරංචි මාර්ග කියයි. "එච්චර දැවැන්ත   වැඩක් කොහොමද කරන්නේ? ඉඩකඩ, ඉඳුම් හිටුම්, කෑම බීම, වැසිකිලි කැසිකිලි පහසුකම්, ප්‍රවාහන පහසුකම්.....ඕව ඔක්කොම කොහොමද කරන්නේ.....?" ඔවුහු ප්‍රශ්න කළහ. එහෙත්  ජුවාම් පාවුළු සුදොතුම් පියතුමනට ඒවා බාධක නොවීය; හුදෙක් ජයගතයුතු අභියෝග පමණක් ම විය. ඒ අනුව ජගත් යොවුන් දින වැඩපිළිවෙල දියත් විය. 1984 දී ප්‍රථම යොවුන් දිනය රෝමයේ දී පැවැත්වීමෙන් මෙම මහා යොවුන් මංගල්‍යයට මුල පිරිණ.

මෙවර යොවුන් දිනය පැවැත්වෙන ක්රැකෝව සැලැකෙන්නේ යොවුන් දිනයේ "තිඹිරි ගෙය" ලෙසය. ඊට හේතුව එය ජුවාම් පාවුළු පාප් තුමාගේ රදගුරු පදවිය නිසාය.

ජුවාම් පාවුළු සුදොතුම් පියතුමා ගේ පදවිය තුළ මෙම යොවුන් දිනය පැවැත්වෙන්නේ සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙනි. එතුමා ද සුවිශේෂී කෙනෙකි. යොවුන්  වයස පසුකොට බොහෝ කල් ගතවුනත් "යොවුන් ජීවය, ශක්තිය, නිර්මාණශිලිත්වය හා නැවුම් අදහස්" යන සියල්ලෙන් අනූන කෙනෙකු  ලෙස එතුමා හැඳින්විය හැකිය. එතුමා  සභාව තුළත් ලෝකය තුළත් නවෝදයක් ඇති කර තිබේ. නැවුම් මාවතකට - එනම් සිය සමිඳුන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අනුදැන වදාළ මාවතට - පිවිසෙන ලෙස, එතුමා සිය ජීවිතයෙන් ම  සභාවට  අභියෝග කරමින් සිටියි. එතුමන් ප්‍රකාශ කරන හා උගන්වන ඇතැම් කරුණු සභාවේ උග්‍ර සම්ප්‍රදාය මතවාදී (Ultra-conservative)  කණ්ඩායම නුරුස්සන ඒවා වුව ද, කලක් තිස්සේ පල්ලියෙන් ඉවත්ව සිටි බොහෝ දෙනෙක් - විශේෂයෙන් ම තරුණ තරුණියන් - යළිත් පල්ලියට ගෙන එන්නට ඒවා හේතු වී තිබේ.

2013 බ්‍රසීලයේ රියෝ ද ජෙනේරෝවේ පැවැති ජගත් යොවුන් දිනයේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඊට සහභාගී වූ ලතින් ඇමෙරිකා කලාපයේ තරුණ තරුණියනට දුන් අභියෝගය එවැන්නකි. "ඔබ ආපසු ඔබේ රටට ගිය විට, ඔබේ සමාජයට ගිණි අවුලුවන්න . ඔබේ කටයුතුවලදී  පූජක අධිපති වාදය නොසලකා හරින්න. ඔබගේ ක්‍රියාකාරකම්වලට පාදක වන ව්‍යවස්ථාව කුමක්ද? මතෙව්  සුවිශේෂයේ 25 වැනි පරිච්ඡේදයයි," යි එතුමා එදා අභියෝග කළේය. (මෙහි "ගිණි අවුලුවන්න" යන්න ඇතැම් වාර්තා පරිවර්තනය කර තිබුනේ "අවුල් කරන්න" යනුවෙනි.) මෙයින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අදහස් කලේ කුමක්ද? අපේ වචනයෙන් කියනවා නම් "උඩහට පීනන්න" කියාය. ඒ සඳහා දේව වචනය පාදක කරගන්න කියාය. එසේම දේව  වචනය පාදක කරගත් එම ගමනේ "ගිනි දැල්ලෙන්" ලොව දල්වන්නන්ට කියාය.  ජේසු සමිඳාණෝ "ගඟ පහලට" පිහිනූ කෙනෙක්  නොවෙති; තමා ද ගඟ උඩහට පිහිනමින් දේව ජනතාවට ද ගඟ උඩහට පිහිනන්නට අභියෝග කළ තැනැන්වහන්සේ ය. සුදොතුම් පියතුමා කතා කල මෙම 'ව්‍යවස්ථාව' කුමක් ද? (මතෙව් 25) මෙහි එන්නේ අවසාන විනිශ්චය ගැන ජේසු සමිඳුන් ඉගැන්වූ වැදගත් පාඩම් කිහිපයකි. ඉන් වඩාත් වැදගත් වන්නේ "මම සාගිනිව සිටියෙමි.....පිපාසාව සිටියෙමි......නිර්වස්ත්‍රව සිටියෙමි....සිරගතව සිටියෙමි...." ආදී වශයෙන් උන්වහන්සේ ප්‍රකාශ කරන ජීවිත "ප්‍රඥප්ති" මාලාවයි. මේ ප්‍රඥප්ති මාලාව නොපිළිපදින කෙනෙකුට ක්‍රිස්තු අනුගාමිකයකු විය නොහැකිය; ධර්ම දූතයකු විය නොහැකිය. "පූජක අධිපති වාදය නොසලකා හරින්න" යන්න ද අභියෝගාත්මකය. බොහෝ රටවල සේ ම ලතින් ඇමෙරිකාවේ ද පූජකවරුන් සිතා සිටින්නේ තමන් "අධිපතීන්" ලෙසය; ගිහි ජනතාව "වහලුන්" ලෙසය. "සෙසු අයගේ නායකයා වීමට කැමැති තැනැත්තේ සියල්ලන් ගේ සේවකයා වේවා" යි කියූ ජේසු සමිඳු වදන් දැන් උඩු යටිකුරු වී  ඇත. එය යලිත් උඩුකුරු විය යුතුය යන්න ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිටින ආස්ථානය ය. එතුමන් මෙම අභියෝගය දෙන්නේ තරුණ කැළට ය. "කවුරුන් මත හෝ ඔබ යැපෙන්නට ඕනෑ නැහැ. ඔබම ධර්මදුතයන් වන්න. කිසිම බාධාවකට හෝ අධිපතියකුට ඔබගේ ගමන නවත්වන්නට ඉඩ නොදෙන්න." එය එතුමා අදහස් කල දෙයයි.

දයා කරුණාව 

ක්රැකෝව තවත් අතකින් විශේෂ වන්නේ ය. ඒ "දේව දයාවේ තිඹිරි ගෙය" ද එම පුරවරය නිසා ය. දයාවේ ජේසු සමිඳුන් ශා. පවුස්තිනා පැවිදි සොහොයුරියට දර්ශනය වූයේ මෙහිය. එසේ දර්ශනය වී, තමාගේ දයා කරුණාව වෙත සමීප වන සියල්ලනට සදා ශාන්තිය ලැබෙන බව උන්වහන්සේ පැවැසුවේ මෙහිදී ය. දයා කරුණාවේ ක්‍රියා කරමින් තම සහෝදර සහෝදරියනට දයාව දක්වන්න යැයි උපදෙස් දුන්නේ මෙහිදී ය.

මෙය දයා කරුණාවේ ශුද්ධ වසරය.අති විශේෂ ජුබිලි වසර ය. එවැනි වසරක "දේව දයාවේ තිඹිරි ගෙදර" මෙවැනි යොවුන් මංගල්‍යයක් පැවැත්වීම කවර නම් ආශ්චර්යයක් ද? එය අහඹු සිදුවීමක් ද? නැතිනම් "සැලැස්මක්" ද?

තවත් අතකින් යුරෝපයේ රටක යොවුන් දිනය පැවැත්වෙන්නේ, යුරෝපය  ත්‍රස්තවාදයේ හා අන්තවාදයේ ප්‍රහාරවලට ලක්වන අවස්තාවක ය. එපමණක් නොව මැදපෙරදිග, අප්‍රිකාව හා ආසියාවේ ප්‍රදේශ රැසෙක  යුද ගිනි ඇවිලෙමින් පවතින මොහොතකය.

"යුද්ධයට, හිංසනයට, ත්‍රස්තවාදයට  ප්‍රතිවිරුද්ධව දයා කරුණාව" යන සන්දර්භය තුළ , මෙම යොවුන් දිනයේ දී සුදොතුම් පියතුමා යොවුන් ජනතාවට කුමක් පවසනු ඇත්ද? එය ලෝකය පුරා අවධානයට යොමු වී ඇති කරුණයි.

සමාජ මාධ්‍ය 

මෙවර ජගත් යොවුන් දිනයේ තවත් ආස්වාද ජනක කරුණක් වන්නට නියමිතව ඇත්තේ සමාජ මාධ්‍ය භාවිතාවයි. අද වන විට සමාජ මාධ්‍ය නිසා ජන සන්නිවේදනය දැවැන්ත පෙරැළියකට ලක්ව තිබේ. මෙම මාධ්‍ය බහුල වශයෙන් භාවිත කරන්නේ ද යොවුන් ජනතාවයි.

බලපෑම් කළහැකි ප්‍රබල කෙටි පණිවිඩ යැවිය හැකි සමාජ මාධ්‍ය මෙවර යොවුන් දිනයේදී පුළුල් ලෙස හා ඵලදායි ලෙස සිය පණිවිඩය දීම සඳහාත් ලොව පුරා එය බෙදා හැරීම සඳහාත් භාවිත කෙරෙනු ඇත.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය