"කතෝලික සභාව සමලිංගිකයන්ට වෙනස් කොට නොසැලකිය යුතුයි; ඔවුනට ගරු කොට ඔවුන් කැටුව යා යුතුයි."

Holy Father says the Church must accompany homosexuals, not discriminate them 

සුදොතුම් පියතුමා ගුවනේ දී ප්‍රවෘත්ති කලාවේදීන් අමතමින් 

(2016 ජුනි 27)
සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ  ආමේනියාවේ අපෝස්තලික සංචාරය නිමවා පෙරළා වතිකානය බලා පැමිණෙන අතර ගුවන් යානය තුළ පැවැත්වූ මාධ්‍ය හමුවේ දී එහි සිටි මාධ්‍යකරුවෝ උන්වහන්සේ ගෙන් විවිධාකාර ප්‍රශ්න රැසක් නැගූහ. සුදොතුම් පියතුමා සභා සම්ප්‍රදාය, ශුද්ධ ලියවිල්ල හා සභා ලියවිලි උපුටා දක්වමින් ඒවාට පිළිතුරු දුන්නේ ය.

ගුවන් යානයේ සිටි එක් මාධ්‍යවේදියකු ගේ ප්‍රශ්නයට ප්‍රස්තුත වූයේ ජර්මනියේ මියුනිච් හා ෆ්රීසිං පදවියේ අගරදගුරු ඇති උතුම් රීන්හාඩ් මාක්ස් කාදිනල් හිමිපාණන් ඉකුත් බ්‍රහස්පතින්දා ඩබ්ලින් නුවර දී කල ප්‍රකාශයකි. "කතෝලික සභාව සමලිංගික පුද්ගලයන් කොන් කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටිය යුතු" යයි  මාක්ස් කාදිනල් හිමි ඩබ්ලින් නුවර දී ප්‍රකාශ කර තිබිණි. "මේ ප්‍රකාශය පිළිබඳව ඔබගේ අදහස කුමක් ද?" යි එම  මාධ්‍යකරුවා සුදොතුම් පියතුමාගෙන් ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දුන් සුදොතුම් පියතුමා කියා සිටියේ එම ප්‍රකාශය සමග තමා එකඟ වන බවයි. තමා එසේ පවසන්නේ හුදෙක් තමා ගේ අදහසක් නොව, කතෝලික ධර්මොපදේශයේ තරයේ පිහිටා සිටිමින් බව එතුමා පෙන්වා දුන්නේ ය.

"කතෝලික සභා ධර්මොපදේශයේ ඒ සම්බන්ධයෙන් ලබා දෙන උපදේශය මා ඔබට යළිත් උපුටා දක්වන්නම්. 'සමලිංගික ප්‍රවණතා ඇති පුද්ගලයන් කොන් නොකළ යුතුයි; සභාව ඔවුන්ට ගරු කොට එඬේරිකව ඔවුන් කැටුව යා යුතුයි' කියායි  ධර්මොපදේශයේ සඳහන් වෙන්නේ," එතුමා පැහැදිලි කලේ ය.

2013 දී ආජන්ටිනාවේ රියෝ නගරයේ සිට එන අතරතුර පැන නැගුනු මෙබඳුම ප්‍රශ්නයකට තමා දුන් පිළිතුර සිහිපත් කල සුදොතුම් පියතුමා මෙසේ කීවේය: " ප්‍රශ්නය නම්, කෙනෙකු යම් තත්වයක සිටින බවයි. එහෙත් එම පුද්ගලයා යහපත් හදවතකින් දෙවියන් වහන්සේ සොයන්නේ නම්, ඔහු හෝ ඇය විනිශ්චය  කිරීමට  අප කවුරුන් ද? අප ඔවුන් කැටුව යා යුතුයි. හොඳයි, ධර්මෝපදේශය උපදෙස් දෙන්නේ එසේ කරන ලෙසයි. ඉතා පැහැදිලි ධර්මොපදේශයක්," සුදොතුම් පියතුමා කීවේය.

ජුනි 26 වැනිදා ආමේනියාව හා රෝමය අතර ගුවනේදී සිදු වූ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සුදොතුම් පියතුමාගේ මෙම ගමනට එක්වූ මාධ්‍යවේදීහු 70 දෙනෙක් පමණ සහභාගී වුහ. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම, කාන්තා තේවාචාරීන්, සභා අතර එකමුතුව සහ විශ්‍රාමලත් පාප් වහන්සේ ගේ භූමිකාව වැනි විවිධ මාතෘකා යටතේ ඔව්හු සුදොතුම් පියතුමාගෙන් ප්‍රශ්න කළහ.

සමලිංගික නොහොත් LGBT ප්‍රජාවේ 49 දෙනෙකු මරුමුවට පත්කරමින් ඇමෙරිකාවේ ඔර්ලන්ඩෝ නුවර ඉකුත් දා සිදුවූ වෙඩිතැබීම ගැනද මාධ්‍යවේදියෙක් මෙහිදී ප්‍රශ්න කළේය. මෙම වෙඩි තැබීමට පාදක වූ  සමලිංගික විරෝධී වෛරය ගොඩනැංවීම සම්බන්ධයෙන් කිතුනුවන් ද වගකිවයුතු බවට චෝදනාවක් පවතින්නේ යයි එම මාධ්‍යවේදියා පෙන්වා දුන්නේ ය.

"ඇතැම් රටවල මේ සම්බන්ධයෙන් වෙනස් මතිමතාන්තර ඇතැ"යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් අනුගමනය කල  ක්‍රියාමාර්ග ගැන සභාව සමාව ඉල්ලා සිටිය යුතු අතර එය එතැනින් නතර නොවන බව එතුමා අවධාරණය කලේය: "සභාව සමාව ඉල්ලා සිටිය යුත්තේ ඇය විසින් රිදවන ලද සමලිංගිකයන්ගෙන් පමණක් නොවේ. සභාව දුප්පතුන් ගෙනුත් සමාව ඉල්ලා සිටිය යුතුයි.  සූරාකෑමට ලක්වන කාන්තාවන්ගෙනුත්  ශ්‍රම සූරාකෑමට ලක්වන ළමයින්නුගෙත් සමාව ඉල්ලිය යුතුයි. මේ තරම් විශාල සංඛ්‍යාවක් ආයුධ ආශීර්වාද කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටිය යුතුයි. ජීවිතයේ තෝරාගැනීම් රැසක්....පවුල් රැසක් ... කැටුව නොයාම  සම්බන්ධයෙන් සභාව සමාව ඉල්ලිය යුතුයි. ඉතින් සභාව සමාව ඉල්ලා සිටිය යුතු කාරනා බොහොමයක් තිබෙනවා...." සුදොතුම් පියතුමා කීවේය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය