"ඔබගේ ගුණ යහපත්කම තුළ මට ආරක්ෂාව දැනෙනවා" විශ්‍රාමික බෙනඩික් පාප්තුමා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට කියයි

"Your goodness is a place where I feel protected": Pope Emeritus tells Pope Francis  



(2016 ජුනි 28)
2013 පෙබරවාරි 28 වනදා ඉසිඹු ලැබීමෙන් පසුව සොළොස්වන බෙනඩික් විශ්‍රාමික සුදොතුම් පියතුමා ඊයේ, 2016 ජුනි 28, බදාදා ප්‍රථම වරට ප්‍රසිද්ධ කතාවක් කලේය. එම කතාවේ දී එතුමා සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ "යහපත් කම" එතුමන් සතු කාව්‍යමය වදන් වලින් වර්ණනා කලේ ය.

සොළොස්වන බෙනඩික් සුදොතුම් පියතුමා මෙම කතාව පැවැත්වූයේ එතුමන්ගේ පූජකවරයේ 65 වන සංවත්සරය නිමිත්තෙන් වතිකානයේ පැවැති විශේෂ උත්සවයේ දී ය. ප්‍රැන්සිස් පාප් වහන්සේ සහ කාදිනල් මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැති  මෙම උත්සවය මුළුදුන්නේ වතිකානයේ ක්ලෙමන්ටයින් ශාලාවේ දිය. සභාවට නායකත්වය දෙන සුදොතුම් පියනමකගේ ප්‍රධානත්වයෙන් ඉසිඹු ලැබූ පාප් වහන්සේ නමකගේ පූජාත්වරයේ වැදගත් සංවත්සරයක් උත්සව ශ්‍රීයෙන් සැමරූ මෙම ඓතිහාසික අවස්ථාව අතිශයින් සොඳුරු වුත් සිත් පහන් කරන්නා වූත් මොහොතක් වුයේ ය.

උත්සවය ආරම්භයේ වතිකාන ගායනා කණ්ඩායම සංධ්වනි (polyphony) ගීතයක් ගායනා කලේය. ඉන් ඉක්බිතිව, සොලොවන බෙනඩික් සුදොතුම් පියතුමාට සුබ පතමින් හා එතුමන් ගේ ජීවිත මඟ අගය කරමින් කෙටි කතා කිහිපයක් පැවැත්වින. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා, කාදිනල් පර්ෂදයේ නායක ඇන්ජෙලෝ සොදානෝ කාදිනල් හිමි සහ විශ්වාස ධර්මය පිලිබඳ සභා නියෝජනයේ ප්‍රධානි ගර්හාර්ඩ් මලර් කාදිනල් හිමි ද මෙම කතා පැවැත්වූවන් අතර වූහ.

ඉන්පසුව කතා කිරීමට නැගී සිටි සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ එහි සිටින සියල්ලන්ට සිය හදවතින් නැගෙන ස්තුතිය ප්‍රකාශ කළේය.

" මේ මොහොතේ මගේ සිතට නැගෙන්නේ  “Efkaristomen" යන ග්‍රීක පදයයි. (එහි අදහස "අපි ස්තුති ප්‍රශංසා කරමු" (let us give thanks),යන්නයි). එම වචනය මේ මොහොතේ කිව යුතු සියල්ල ප්‍රකාශ කෙරෙන වචනයක් කියා මට හිතෙනවා." යැයි බෙනඩික් සුදොතුම් පියතුමා සිය කතාව ආරම්භ කරමින කීවේය.

"ස්තුතියි! ස්තුතියි ඔබ හැමෝටම! ස්තුතියි ඔබට, සුදොතුම් පියතුමෙනි, ඔබ මෙම ධුරයට තේරී පත් වූ දා සිටම ඔබගේ යහපත්කම මා අත්විඳිනවා. ඔබගේ යහපත්කම වතිකානයේ  උද්‍යාන වලට වඩා මගේ ජීවිතයේ සෑම දිනෙකම මා ප්‍රබෝධමත් කරනවා ඔබගේ ගුණවත්කම මට මා ආරක්‍ෂිත බව දැනෙන තැනයි. , දෙවියන් වහන්සේ වෙත යොමුවන ජේසු සමිඳුන් ගේ මාර්ගය අපට පෙන්වමින්, අප සියල්ලන් සමගම මෙම දේව දයා කරුණාවේ මාර්ගයේ අප ඉදිරියට ගෙන යාමට ඔබවහන්සේට හැකි වේවා කියා අප ප්‍රාර්ථනා කරනවා"යැයි සොළොස්වන බෙනඩික් විශ්‍රාමික සුදොතුම් පියතුමා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට කියා සිටියේ ය.

සොළොස්වන බෙනඩික් සුදොතුම් පියතුමා (ජෝසප් රැට්සිඟර් පියතුමා)  පූජාත්වරය ලැබුවේ 1951 ජුනි 29 වනදා - එනම් ශු. පේදුරු-පාවුළු අපොස්තුළුවරුන් ගේ මංගල්‍යය දා - ජර්මනියේ ෆ්රීසිං ආසන දෙව්මැදුරේ දී ය. එතුමාගේ සොයුරා වන ජෝර්ග් රැට්සිඟර් පියතුමා ද පූජකවරයට අතුළුවූයේ එදින ම වීම විශේෂත්වයකි. තවමත් ජීවත් වන එතුමා ද මෙම උත්සවයට සහභාගී විය.

"ඔබ තවමත් නොකඩවා සභාවට සේවය කරනවා; ප්‍රඥාවෙන් හා ප්‍රාණවත් බවින් යුත් ඔබගේ දායකත්වය සභාවට ලැබීම කිසි විටෙකත් නවතින්නේ නැහැ" යයි විශ්‍රාමික සුදොතුම් පියතුමා අමතමින් පැවැත්වූ ලුහුඬු කතාවේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. "ඔබ ඔබගේ දායකත්වය සභාවට ලබා දෙන්නේ වතිකානයේ "මාටර් එක්ලේසියේ" (Mater Ecclesiae) පුංචි තාපසාරාමයේ සැඟවී ජීවත්වෙමිනුයි. ඔබගේ මේ ජීවිතය නියෝජනය කරන්නේ, වියපත් වීම නිසා හෝ කාය ශක්තිය දුර්වල වීම නිසා නූතන  'නාස්තියේ සංස්කෘතිය' විසින්  කොන් කරනු ලබන ජනතාව යැ" යි එතුමා පෙන්වා දුන්නේ ය. "ඔබට ආධාර කරන දයා කරුණාබර දෙවියන් වහන්සේගේ හස්තයේ ස්පර්ශය ඔබට නොකඩවා දැනේවා! " යි එතුමා ප්‍රාර්ථනා කලේ ය.

මෙම සංවත්සරය වෙනුවෙන් සකස් කරන ලද පූජාත්වරය පිළිබඳව සොළොස්වන බෙනඩික් සුදොතුම් පියතුමා කල දේශනාවල එකතුවක් ඇතුළත්  කෘතියක පිටපත් කිහිපයක් ඇන්ජෙලෝ සොදානෝ කාදිනල් හිමි එතුමාට පිලිගන්වුයේ ය. එතුමා එයින් එක් පිටපතක් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට ද දුන්නේ ය.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය