"දුප්පතුන්ගේ , පීඩිතයන් ගේ හඬ නැගීම ඔබට කරදරයක් ද? හිරිහැරයක් ද? එහෙනම් ඒක ප්‍රශ්නයක්": බදාදා පොදු හමුව

Are you 'bothered' by the cry of the poor and the marginalized? If so, it is a problem": General Audience 



(2016 ජුනි 17)
දුප්පතුන් හෝ පීඩිතයින් උදව් ඉල්ලා කරන හඬ නැගීම අප කරදරයක් හෝ හිරිහැරයක් කොට සලකනවා ද? ඔවුන් ගේ හඬ නැගීම හෝ ආයාචනා අප අපහසුතාවට පත් කරනවා ද? නැතිනම්, දුප්පතුන් හෝ පීඩිතයන් නගන හඬට එල්ලවන බාධා නොතකා, ඔවුනට සහාය වීමට අප ඉදිරිපත් වෙනවා ද?

මේ බදාදා (2016 ජුනි 14) පැවැත්වුණු පොදු හමුවේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ ප්‍රශ්න භාවනාව සඳහා ඉදිරිපත්  කලේ ය. සිරිත් පරිදි වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති පොදු හමුවට දස දහස් සංඛ්‍යාත වන්දනාකරුවන් පිරිසක් සහභාගී වී සිටියහ.

මෙදින පොදු හමුවේ එතුමා ගේ ධර්මොපදේශයට පදනම් වුයේ ලූක් සුබ අස්නේ 18 වන පරිච්චේදයේ එන ප්‍රාතිහාර්යය යි.  ජේසු සමිඳුන් සෙනග අතරින් පාරේ ගමන් කරන විට, උන්වහන්සේ එන බව දැනගත් පාර අයිනේ හිඳගෙන සිටි අන්ධ සිඟන්නෙක් උන්වහන්සේට ඇසෙන්නට මහ හඬින් හඬ නගයි. එහෙත් මහ මඟ සිටි ජනතාව "කට වසාගන්නා ලෙස ඔහුට අවවාද" කරති. ඔවුන් එසේ අවවාද කරන්නේ "කතා කරන්නට අයිතියක් ඔහුට නැතැයි ඔවුන් සිතන නිසා" ය.

"ඔවුන්ට ඔහු කෙරෙහි අනුකම්පාවක් නැහැ. ඒ වෙනුවට ඔවුන් ඔහුගේ කෑගැසීම හිරිහැරයක් කරදරයක් කර සලකනවා" යැයි  සුදොතුම් පියතුමා කියා සිටියේ ය. "අවශ්‍යතාවයෙන් පෙලෙන, රෝගී, කන්නට යමක් සොයා ගන්නට නොමැති අය මගතොටේ දී හමු වූ විට අප කොයි තරම් වාරයක් ඔවුන් කරදරයක්, හිරිහැරයක් කර සලකනවා ද? අප කොයි තරම් නම් වාරයක් සරණාගතයන්, සංක්‍රමණිකයන්, අයිතිවාසිකම් අහිමිවූවන් කරදරයක් හිරිහැරයක් කොට සලකනවා ද? මෙය අප සෑම කෙනෙකුම - මාත් ඇතුළුව - සෑම කෙනෙකුම මුහුණ දෙන දුර්පරීක්ෂාවක්."

"මෙවැනි අවස්ථාවල ජනතාවගේ එදිරිය, විරෝධය සහ උදාසීනත්වය අපගේ සහෝදරයන් ගේ අවශ්‍යතාවනට අන්ධවෙනවා; බිහිරිවෙනවා. මේ නිසා අපගේ සහෝදරයා හෝ සහෝදරිය තුළ දෙවියන් වහන්සේ ගේ වත මඬල හඳුනාගන්නට අපට නොහැකිවෙනවා. මෙම උදාසීනත්වය මහත් ආරවුලක් හෝ චන්ඩභාවයක් බවට පත් වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුනට අවමන් කරන්නටත් නින්දා, කරන්නටත් අප පෙළඹෙනවා. 'ඔවුන් එලවා දමන්න! ඔවුන්ගේ කට වසා දමන්න!' යැයි අප හඬ නගන්නේ එවිටයි. අන්ධ මිනිසා මහ හඬින් ජේසු සමිඳුනට කතා කරන විට සෙනග ඔහුට ප්‍රතිචාර දැක්වූයේ ද මේ ආකාරයටයි," යැයි සුදොතුම් පියතුමා පැහැදිලි කලේ ය.

සුබ අස්නේ මෙම සිද්ධියේ එන අන්ධ මිනිසා, නූතන ලෝකය තුළ විවිධ හේතු නිසා සමාජයෙන් කොන් කරන ලද හෝ බැහැර කරන ලද ජනතාව නියෝජනය කරන බව එතුමා පෙන්වා දුන්නේ ය.

මෙම අවස්ථාවේ දී එහි සිටි ඊශ්‍රායෙල් සෙනගට මෝසස් තුමාගේ වචන හා උපදෙස් අමතක වී තුබූ බව සුදොතුම් පියතුමා සිහිපත් කලේ ය. "මෝසස් තුමා කීවේ කුමක්ද? 'මගේ දෙවි වූ ස්වාමීන් වහන්සේ  ඔබට දානය කරන ඔබගේ නගරවල, ගම්මාන වල, ඔබගේ භුමි ප්‍රදේශවල හෝ අසල්වාසියේ දුප්පතකු වන  ඔබගේ සහෝදරයකු සිටිත් නම්, ඔබ ඔහු කෙරෙහි ඔබගේ හදවත් දැඩි කර නොගත යුතුය; ඔබගේ දොරවල් ඔහුට වසා නොදැමිය යුතුය.' යන්නයි" යැයි එතුමා අවධාරණය කලේ ය. කනගාටුදායක ලෙස ජනතාව හැසිරෙන්නේ මෝසස් තුමා ගේ ඉගැන්වීම් වලට හාත්පසින් ම වෙනස්ව ය.

එහෙත් සෙනග ගේ තර්ජන හෝ ඇනුම් බැනුම් වලින් අන්ධ මිනිසා පසු බසින්නේ නැත. ඔහු තවත් මහා හඬින් ජේසු සමිඳුනට හඬ ගසයි. මෙවර ඔහු කෑගසන්නේ "දාවිත් ගේ පුත්‍ර වූ ජේසුනි....." යයි කියමිනි. මෙය ජේසු සමිඳුන් ජනතාව බලා සිටි මිදුම්කරුවාණන් බව පිළිගැනීමකි. ඔහු ගේ විශ්වාසය ඔහුට මහත් ප්‍රතිඵල ලබා දුන් බව සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

"සෙනගට වඩා වෙනස්ව අන්ධ මිනිසා ජේසු සමිඳුන් දුටුවේ ඇදහිල්ලේ ඇසිනි. ඔහුගේ ප්‍රබල විශ්වාසය ජේසු සමිඳුන් නතර කරන්නට සමත් වෙයි. එහි නතර වන ජේසු සමිඳාණෝ මේ මිනිසා තමා වෙත කැඳවාගෙන එන ලෙස ජනතාගෙන් ඉල්ලයි.

මෙම ක්‍රියාවේ ද සංකේතාත්මක අර්ථයක් ඇති බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. "මෙසේ කිරීමෙන් උන්වහන්සේ කලේ මෙම මිනිසා ඔහු සිටි  සීමාවෙන් ඇතුළට ගෙන,  සියල්ලන්ගේ ම අවධානය ලැබීම සඳහා ඔහු කේන්ද්‍රස්ථානයේ තැබීමයි."

ජේසු සමිඳුන් අපගේ ජීවිතයේ ද අපට උදා කරණ මෙවැනි අවස්ථා  ගැන සිහිපත් කරන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉල්ලා සිටියේ ය. "අප පව්බරව පසුතැවිල්ලෙන් සිටින විට හෝ ජීවිතයේ අයහපත් අවස්ථාවක එක් සීමාවක කොටු වී සිටි අප, එතැනින් ඉවත්ව නැගී සිටි බව අවබෝධ වන  සිතට ප්‍රීතිය ගෙන එන අත්දැකීමක්  කවරදාක හෝ ලැබුවා ද? ඒ අවස්ථාවල අපේ අතින් අල්ලා අප නැගිටුවා, ජීවිතයේ (පාපයේ හෝ කොන් කරනු ලැබීමේ) මායිමෙන් අප ඇතුළට, තමන් වෙතට ගෙන, විමුක්තියේ මාර්ගයේ අප තමන්නේ ජේසු සමිඳාණෝ ය."

"ජේසු සමිඳාණන් එම අන්ධ මිනිසා පසුකරගෙන යන විට ඔහුට දයා කරුණාව මුණගැසුනේ ය. ජේසු සමිඳාණෝ අපගේ ජීවිත ඔස්සේ ද ගමන් කරති. උන්වහන්සේ අපගේ ජීවිතය ඔස්සේ යන ඒ ගමන උන්වහන්සේ වෙතට එන්නට අපට කරන ආරාධනයකි. වඩා යහපත් වන්නට, වඩා යහපත් කිතුනුවකු වන්නට, ජේසු සමිඳුන් අනුගාමි වන්නට අපට කරෙන ආරාධනයකි" යි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය