සභා ජනවන්දනාව තුළ මරිය මග්දලේනා ගේ 'තත්වය' ඉහලට: "පව් ගොඩක් ගොඩක් ඈ කෙරුවා - ගොඩක් ආදරේ පෑවා..."

Mary Magdalene's feast upgraded: Because she was the "Apostle to the Apostles" 


(2016 ජුනි 11)
කතෝලික සභා ජනවන්දනාව තුළ ශාන්ත මරිය මග්දලේනා තුමියට ඇති තත්වය උසස් කිරීමට දිව්‍ය වන්දනාව සහ දේවප්‍රසාද නිධාන පිලිබඳ ශුද්ධාසන පර්ෂදය තීරණය කර තිබේ. එම පර්ෂදය මෙම තීරණය ගෙන ඇත්තේ සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ උපදෙස් අනුවයි. මේ අනුව ශා.මරිය මග්දලේනා තුමිය ගේ ගෞරවය පිණිස පවත්වනු ලබන උත්සවය "සිහිකිරීම" යන තත්වයේ සිට "මංගල්‍යය" යන තත්වය දක්වා උසස් කර තිබේ. මෙය එතුමිය අපෝස්තුලුවරයකු ගේ තත්වය හා සමාන කිරීමක් බව ශාන්තුවර භාවය පිලිබඳ විශාරදයෝ පෙන්වා දෙති.

මීට හේතුව? "මේ තීරණයට හේතුව ස්වාමීන් වහන්සේ ගේ උත්ථානයට ප්‍රථම වරට සාක්ෂි දැරීමේ ගෞරවය එතුමියට හිමිව තිබීම" බව අති උතුම් ආතර් රොචේ අගරදගුරුහිමි කියා සිටියේ ය. දිව්‍ය වන්දනාව පිලිබඳ ශුද්ධාසන පර්ෂදයේ ලේකම්වරයා එතුමා ය.

"ක්‍රිස්තු සමිඳුන් ගේ උත්ථානය (මරණය පරදවා නැගී සිටීම) ප්‍රථම වරට දුටුවේ ශා. මරිය මග්දලේනා තුමියයි. මෙම සාක්ෂිය අපෝස්තුලුවරුනට ප්‍රකාශ කල ඇය, එම අපෝස්තුලුවරුන් සේ ම එම පණිවිඩය ලෝකයට ප්‍රකාශ කරනවා. මේ හේතුව නිසා සාමාන්‍ය රෝම ජනවන්දනා දින දර්ශනයේ අපෝස්තුළුවරුන් ගේ මංගල්‍යයන් සැමරීමට යොදා ඇති 'මංගල්‍යය' යන තත්වයටම  මෙම කාන්තාව එසැවීම නිවැරැදියි" යැයි එතුමා සඳහන් කළේය.

ශුද්ධාසනයේ මෙම නියෝගය ඇතුළත් නිල ලියැවිල්ල ජුනි මස 10 වන දා සිකුරාදා නිකුත් කරනු ලැබිණ.

කිතුනු කාන්තාවන් ගේ ආදර්ශය සහ කාන්තා ගරුත්වය

"මග්දලාවේ මරියා තුමිය සභාවේ සියලු කාන්තාවනට ආදර්ශයක් සේම ආකෘතියක්. එතුමිය සතුව සුවිශේෂී  මෙහෙවරක් තිබුණා. එතුමියට ලැබී ඇති නව ගෞරවය ඊට සාධාරණත්වය ඉටු කරනවා." අගරදගුරුතුමා කියා සිටියේ ය.

මේ  සම්බන්ධයෙන් ශුද්ධාසනය නිකුත් කළ නියෝගය කියා සිටින්නේ "මග්දලාවේ මරියා තුමිය සභාව තුළ කාන්තා දූත සේවාවේ සුසමාදර්ශය ලෙස හඳුන්වා දිය හැකි" බවයි.

"සභාවේ වර්තමාන තත්වය තුළ ශා. මරිය මග්දලේනා තුමියට මංගල්‍යයකින් ගෞරව දැක්වීම යනු, කාන්තා ගරුත්වයත් නව ධර්මදානය සහ දයා කරුණාවේ අබිරහසත්  ගැන වඩා ගැඹුරින් භාවනා කිරීමට දරන උත්සාහයකි. හිස් සොහොන් ගැබ මුලින් ම දුටු පුද්ගලයා සේ ම ජේසු සමිඳුන් ගේ උත්ථානය පිලිබඳ සත්‍යතාව උන්වහන්සේ ගෙන් ම ප්‍රථම වතාවට ඇසු තැනැත්තා වුයේ ද මරිය මග්දලේනා තුමිය ය. එසේ ම එම පණිවිඩය අපෝස්තුළුවරුනට ප්‍රකාශ කළ පළමු තැනැත්තා වූයේ ද ඕ තුමිය ය. මේ ත්‍රිවිධ කරුණු  නිසා එතුමිය සැබෑ වූත් නිසැක වුත් ධර්මදානයේ ආදර්ශයක් වන්නීයැ" යි  ආතර් රොචේ අගරදගුරු හිමිපාණන් ගේ නිල ලිපියේ විස්තර කර තිබේ.

"මරිය මග්දලේනා යනු  සමිඳුන් ගේ ශ්‍රාවක කණ්ඩායමේ කෙනෙකු වූවාය.  සමිඳුන් ගේ මෙහෙවර ඔස්සේ උන්වහන්සේ සමග ගමන් කළ ඕ,  උන්වහන්සේ ගේ කුරුසියේ ගමන ද ගොස් කුරුසිය පාමුල ද සිටියා ය. සොහොන් ගැබ පිහිටා තිබූ උයනේ දී ඕ උත්ථාන වූ ක්‍රිස්තු සමිඳුන් පළමුවරට මුණගැසීමට භාග්‍ය ලද්දාය. මේ නිසා ඇය දේව දයාවේ පලමු සාක්ෂිකාරියයි. එතුමිය 'සිහිපත් කිරීම' මේ ජුබිලි වසරේ දී 'මංගල්‍යයක්' ලෙස උසස් කිරීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් තීරණය කිරීමේ අරමුණ 'බොහෝ  ආදරය කළා වූ ද ඒ නිසා බොහෝ ආදරය ලැබුවා වූ ද" මේ කාන්තාව ගේ වැදගත්කම තහවුරු කිරීමයි" යයි අගරදගුරු රෝචේ හිමි වැඩි දුරටත් කියා සිටියි.

කතෝලික සභාවේ මහා දාර්ශනිකයා ද වේද පඬි වරයා ද වන ශාන්ත තෝමස් ඇක්වයිනස් තුමා  මරිය මග්දලේනා තුමිය හැඳින්වුයේ "අපෝස්තුළුවරුන් ගේ අපෝස්තුළුවරිය" ලෙසයි. එබැවින් නව ධර්මදානයත් දයා කරුණාවත් ගැන විශේෂයෙන් අවධානය කෙරෙන මේ වසරේ එතුමිය ගේ ජනවන්දනා තත්වය උසස් කිරීම බෙහෙවින් කාලෝචිත වන්නේ ය.

කතෝලික ජනවන්දනාව තුළ සාන්තුවරුන් සැමරීමේ තත්ත්ව තුනක් තිබේ. "සිහිපත්කිරීම" (Memorial), "මංගල්‍යය" (Feast)  සහ "ගාම්භීර මංගල්‍යය" (Solemnity) එම තත්ත්ව තුනයි. මේ වනතෙක් "අනිවාර්ය සිහිපත්කිරීම" ලෙස හැඳින් වුනු මරියා මගදෙලා තුමිය ගේ සැමරුම් දිනය යෙදී තිබෙන්නේ ජුලි මස 22 වනදාටය. එය මංගල්‍යයක් බවට පත් කිරීමෙන් පසු එදින දිව්‍ය පූජාවේදී සුර දූතික ගීය ගායනා කෙරෙන අතර, එතුමිය වෙනුවෙන් විශේෂයෙන් සකස් කල යාච්ඥා ද භාවිත කෙරෙනු ඇත.
(සිතුවම: මරිය මග්දලේනාට උයනේ දී උත්ථාන වූ ක්‍රිස්තු සමිඳුන් මුණගැසීම (CNA වෙබ් අඩවියෙනි)


 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය