දයාව පිරි හදවත් උණු කරන "ආබාධිතයන් ගේ ජයන්තිය" හෙට: ජනවන්දනාවේ සියලු කටයුතුවලට ආබාධිතයන් ගේ ක්‍රියාකාරී සහභාගිත්වය.

Sick, Disabled to be the Protagonists in the Jubilee for the Disabled 


(2016 ජුනි 10)
දයාවේ ශුද්ධ වසර වෙනුවෙන් වූ තවත් ජුබිලියක්  ඉරිදා (පෙබරවාරි 12) වතිකානයේ දී පැවැත්වේ.

මෙය මෙම දයාවේ වසර තුළ පවත්වනු ලබන ජයන්ති අතරින් මානව අනුකම්පාව හා ප්‍රේමය  උතුරා යන අතිශය සුන්දර ජයන්තියක් වනු ඇත. එය දයා කරුණාවේ සුන්දර මතක සටහනක් ද ප්‍රබල සාක්ෂියක් ද කරනු සඳහා වතිකානය සියලු කටයුතු සූදානම් කර තිබේ.

මේ ඉරිදා පැවැත්වෙන්නේ රෝගීන් සහ අබාධ සහිත වූවන් ගේ දයාවේ ජයන්තියයි.

රෝගීන් සහ ආබාධිත ජනතාව ප්‍රැන්සිස් පාප් වහන්සේගේ හදවතට විශේෂයෙන් සමීප වූ පිරිසකි. ජේසු සමිඳුන් ගේ මිහිමත ජීවිත සමයේ දී ද ඔවුහු උන්වහන්සේ ගේ විශේෂ ආදරයට ලක් වුහ; උන්වහන්සේගේ දයා කරුණාවේ පහසින් සුව සහනය ද නව ජීවිතය ද ලදහ. ජේසු ගේ හදවතට සමීප මෙම ජනතාවට ගෞරව කිරීම සඳහා මෙම ජයන්ති දිනය සංවිධාන කර තිබේ.

මෙදින විශේෂත්වය නම් ඉරිදා දිව්‍ය පූජාවේ ජනවන්දනා කටයුතු සියල්ලෙහි ක්‍රියාකාරී ලෙස සහභාගී වන්නේ ආබාධිත සහ රෝගී සහෝදර සහෝදරියන් වීමයි. කියවීම්, පූජා සහාය, තේවාචාරී සහාය පමණක් නොව ජනවන්දනා ගායනය ද කෙරෙන්නේ ඔවුන් විසිනි.

"මේ ජුබිලියේ ඉහල වැදගත්කම පෙන්වා දෙන්නට අවශ්‍යයි. අප බොහෝ විට අපේ වැඩසටහන් හා මෙහෙයයන් සඳහා ආබාධිත හා රෝගී සහෝදර සහෝදරියන් කුඩා කණ්ඩායම් වශයෙන් සහභාගී කර ගන්නවා. එහෙත් මේ ජුබිලියේ ක්‍රියාකාරීන් වන්නේ ඔවුන් මයි"  යැයි අති උතුම් හොසේ  ඔක්ටාවියෝ රුවිස් අගරදගුරු හිමි කියා සිටියේ ය. එතුමා දයාවේ ශුද්ධ වසර සංවිධාන කරන නව ධර්මදානය ප්‍රවර්ධනය පිලිබඳ ශුද්ධාසන කොමිසමේ ලේකම් වරයා ය. ජුනි 10 වන සිකුරාදා සිට 12 වන දා දක්වා වූ මෙම ජුබිලියේ  වැඩසටහන් පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේ දී එතුමා මේ බව පැවසුවේ ය.

"රෝගී සහ ආබාධිත වූවන් බොහෝ දුක් විඳින බව අප දන්නවා. ඔවුන් බොහෝ විට දුක් විඳින්නේ ඔවුන් අවට සිටින අයගේ උදාසීනත්වය නිසයි. ඒ නිසා ඔවුන් කෙරෙහි ලෝකයේ අවධානය යොමු කිරීමත් මේ දිනයේ එක අරමුණක්" යැයි ද රුයිස් අගරදගුරු තුමා සදහන් කලේ ය.

සිකුරාදා වන විටත් ආබාධිතයන් සහ ඔවුන් ගේ පවුල්වල සාමාජිකයන් 20,000 ක් පමණ  වතිකානය පැමිණ සිටි බව එතුමා කියා සිටියේය. දිව්‍ය පූජාව සඳහා ප්‍රවේශ පත් 50,000ක් පමණ ඒ වන විටත් නිකුත් කර තිබිණ. ජුබිලිය මුදුන්පත්වන්නේ ඉරිදා පෙ.ව. 10.30 ට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දිව්‍ය පූජා යාගයෙනි.

මෙම පූජාවේ සියලු ජන වන්දනා කටයුතු වලට අබාධිත පිරිස් ක්‍රියාකාරීව සහභාගී වෙති. මෙදින දෙව් පුද සේවාව කරන යෞවනයන් අතරට Down syndrome නමැති බුද්ධිමය ආබාධයෙන් පෙලෙන යෞවනයෝ කිහිප දෙනෙක් ද එක්  වෙති. දිව්‍ය පුජාවේ දී සුදොතුම් පියතුමාට සහාය වන තේවාචාරීන්ගෙන් එක් අයෙක් ජර්මානු ජාතික ශ්‍රව්‍යාබාධිත තේවාචාරිතුමෙකි.

පළමුවැනි දේව ප්‍රකාශනය කියවනු ලබන්නේ ස්පාඥ්ඥ ජාතික ආබාධිතයකු විසිනි. දෙවැනි දේව ප්‍රකාශනය ඉංග්‍රීසි ජාතික දෘශ්‍යාබාධිත  තරුණියක විසින් බ්‍රේල් ක්‍රමයට හඬ නගා කියවනු ලැබේ. සුබ අස්න (ශුද්ධවූ සුවිශේෂය) කියවද්දී බුද්ධි ආබාධිත දරුවන් පිරිසක් විසින් එවෙලේ ම එය රඟදැක්වීමට නියමිතයි. ඇසි දිසි ක්‍රම සංඥා මගින් වඩා හොඳින් ඉගෙන ගන්නා මානසික හා බුද්ධිමය ආබාධයන්ගෙන් පෙලෙන අයට සුබ අස්න වඩාත් සමීප කිරීම මෙහි අරමුනයි. මීට අමතරව සුබ අස්න ඇතුළු එදින පූජාවේ සියලු කියවීම් ශ්‍ර්වයාබාධිතයන් ගේ පහසුව සඳහා සංඥා භාෂාවට පරිවර්තනය කරනු ලැබේ. මේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එක් එක් භාෂාවට ගැලපෙන අයුරින් ඒවා සංඥා බසට හැරවීමයි. "අපේ භාෂාවල ඇති විවධත්වය සේ ම සංඥා බස ද වෙනස් වන" බව මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ සංඥා භාෂාව පිලිබඳ විශේෂඥවරියක් කියා සිටියා ය. "ඒත් ඒ හැම සංඥා බසකට ම පොදු එක වචනයක් තිබෙනවා. ඒ  'ජේසු' කියන වචනය" ඈ සඳහන් කළා ය.

" මම දුර්වල වන විට ඇත්තෙන් ම මම ශක්තිමත් වෙමි."

හෙට ඉරිදා පූජාව ආරම්භ වීමට පෙර වතිකාන චතුරශ්‍රයට රැස් වන සියලු දෙනා " මම දුර්වල වන විට ඇත්තෙන් ම මම බලවත් වෙමි." නමැති වැඩසටහනට සහභාගී වීමට නියමිතයි. මෙහි දී ආබාධිත කතෝලිකයන් කිහිප දෙනෙකු සිය ජීවිත සාක්ෂි ජනතාව සමග බෙදා ගනු ඇත. වයස අවුරුදු 28 දී තරුණ මවක් ලෙස මියගිය චියාරා කොර්බෙල්ලා ගේ සැමියා වන එන්රිකෝ පෙත්‍රෝල්ලි ද සාක්ෂි දරන්නන් අතර වෙයි. චියාරා ගේ සහ එන්රිකෝ ගේ තෙවන දරුවා ලැබීමට සිටිය දී චියාරාට මොලයේ පිළිකාවක් වැළඳී තිබු බව දැනගන්නට තිබිණි. එහෙත් දරුවා ආරක්ෂා කර ගැනීම සඳහා ඊට ප්‍රතිකාර ගැනීම ප්‍රතික්ෂේප කල ඇය එම රෝගයෙන් මිය ගියාය.

ඉතාලි ජාතිකයන් ගේ ආදර බැතියට පත්ව ඇති "රෝගීන් ගේ ආරෝග්‍ය වන දේව මාතා වහන්සේ " ගේ සිතුවම ද  දිව්‍ය පූජාව අවස්ථාවේ පුදසුන පසෙකින් වැඩමවා තැබීමට නියමිතයි. සුව නොවන අසාධ්‍ය රෝගයක දී මෙම පින්තුරය ඉදිරියේ යාච්ඥා කර සුවය ලද රෝම වංශාධිපතියකු විසින් 1619 දී මෙම පින්තුරය සභාවට තිලින කරන ලද බව ඉතිහාසය පවසයි.

ඊයේ ආරම්භ වූ මෙම ජුබිලි වැඩසටහනට විනෝද වීමේ අවස්ථා ද ඇතුලත් වේ. ඊට අමතරව ආබාධිතයන් වෙනුවෙන් විවිධ වෛද්‍ය සායන ද පැවැත්වේ. මෙම වෛද්‍ය සේවා සඳහා ස්වෙච්චා සේවකයන්, කාන්තා පැවිදි සොයුරියන්, රතු කුරුස හෙද හෙදියන්, හමුදා සෙබළුන් සහ සුව සේවකයන් ඇතුළු 300ක් පමණ දෙනා දායක වෙති.

"රෝගීන්ට උපස්ථාන කිරීම 'ශාරීරික දයාවේ ක්‍රියාවක්' යන්න අපට අමතක කල නොහැකියි. එය තවත් ගැඹුරට ගෙන යමින් අප රෝගීන් හා ආබාධිතයන් තුළ ජේසු සමිඳුන් ගේ ශරීරය  ස්පර්ශ කල යුතුය කියා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අපට නිතරම කියනවා. මෙමෙ ආබාධිතයන් තුළ අපට ඇත්තෙන්ම ජේසු සමිඳුන් ගේ ශරීරය ගැඹුරින් ස්පර්ශ කිරීමට හැකියාව ලැබෙනවා" යි රුයිස් අගරදගුරු තුමා වැඩි දුරටත් කියා සිටියේ ය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය