"යාච්ඥාව මැජික් යෂ්ටියක් නොවේ; පියාණන් සමග ඒකාබද්ධ වීමේ මාර්ගයයි" - බදාදා පොදු හමුව

"Pray without ceasing; even when it seems it is ineffective" - Wednesday General Audience


(2016 මැයි 26)
යාච්ඥාව යනු සිතූ පැතූ දේ ලබා ගත හැකි 'මැජික් යෂ්ටියක්' නොවන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පහදා දෙයි. එය අපට අවශ්‍ය අවස්ථාවල පමණක් භාවිත කල හැකි සරල දෙයකුත් නොවේ. යාච්ඥාව යනු විශේෂයෙන් දුෂ්කර අවස්ථා වලදීත්, ජීවිතයේ සෑම මොහොතකමත් අපගේ විශ්වාසය  පෝෂණය කරන  ශක්තිය ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා යාච්ඥාවේ ආධ්‍යාත්මිකත්වය ගැන මෙම මෙනෙහි කිරීම කලේ (මැයි 25 වැනිදා) බදාදා පොදු හමුවේ දී ය. මෙවර  එතුමාගේ බදාදා පොදු හමුවේ ධර්මෝපදේශයට පාදක වූයේ යාච්ඥාවේ ආධ්‍යාත්මිකත්වයයි.ඊට සහභාගී  වීමට ලොව නන්  දෙසින් පැමිණි වන්දනාකරුවන්ගෙන් වසන්තයේ හිරු රැසින් නැහැවුණු සාන්ත පීතර චතුරශ්‍රය පිරී ගොස් තිබිණි.

"වෙහෙසට පත් නොවී අප නිරන්තරයෙන් යාච්ඥා කරනු දැකීම ජේසු සමිඳුන් ගේ බලාපොරොත්තුවයි. හුදෙක් අපට අවශ්‍ය වූ වෙලාවල පමණක් නොවෙයි. නැහැ. නිරන්තරයෙන්."එතුමා කීවේය. "යාච්ඥාව තුළ අප වෙහෙසට පත්වන, අධෛර්යයට පත්වන අවස්ථා වලට අප සෑම කෙනෙකුම මුහුණ දෙමු. මෙය අපට විශේෂයෙන් ම  දැනෙන්නේ අපගේ යාච්ඥා ඵල නොදරන බව පෙනී යන විටයි." එහෙත් යාච්ඥාව එලෙස සුළු කොට තැකිය හැකි දෙයක් නොවන බව එතුමා පෙන්වා දුන්නේ ය: "දෙවි පියාණෝ සිය දරුන්වන් ගේ යාච්ඥා වලට අප්‍රමාදව පිළිතුරු දෙති. ඇතැම් විට එතුමන් පිළිතුරු දෙන්නේ අපට අවශ්‍ය වූ ආකාරයට නොවූවත්, පියාණන් අපගේ යාච්ඥාවලට  පිළිතුරු දෙනවා."

යාච්ඥාව පිලිබඳ සිය ධර්මොපදේශයට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පාදක කර ගත්තේ ලූක් සුබ අස්නේ එන අයුක්තිසහගත විනිශ්චයකාරයා ගේ උපමාවයි. වංක, උදාසීන විනිශ්චයකාරයකු තමන් වෙත නිරන්තරයෙන් නොකඩවා පැමිණෙන වැන්දඹු කාන්තාවක ගේ ඉල්ලීමට නැමෙන ආකාරය මෙම උපමාවෙන් ජේසු සමිඳාණෝ  සිතුවම්  කළහ.

" මෙම උපමාවෙන් ඉදිරිපත් කෙරෙන්නේ මෝසස් ගේ නීතිය අනුව විනිශ්චයන් ලබා දීමට බලය පැවැරී තිබුණු  බලවත් පුද්ගලයකු ගේ චරිතයක්" බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "ශුද්ධ ලියැවිලි සම්ප්‍රදායට අනුව විනිසුරුවරුන් සැලකුනේ දේව භය සහිත, විශවාස කළහැකි, අපක්ෂපාතී , දූෂිත නොවු පුද්ගලයන් ලෙසයි. එහෙත් මෙම උපමාවේ එන විනිසුරුවරයා දේව භයක් වත් මිනිසුන් කෙරෙහි ගෞරවයක් වත් නොමැති, නීතිය ගණන් නොගත්, අයුක්තිසහගත, තමන්ට සිතූ දේ කල දූෂිත පුද්ගලයෙක්. අනෙක් පැත්තෙන්, මෙම වැන්දඹු කාන්තාව අයත් වුනේ සමාජයේ දුර්වලම, අසරණ ම පන්තියටයි. එහෙත් ඇය මෙම අසාධාරණ, උදාසීන විනිසුරුවරයාට මුහුණ දීම සඳහා තමා සතු එකම ශක්තිය යොදා ගත්තා: එනම්, නොකඩවා, දිගින් දිගටම සාධාරණය ඉල්ලා ඔහුට කරදර කිරීමයි. අවසානයේ දී අයගේ මෙම ප්‍රබල උත්සාහය ජයගන්නවා. 'ඇය මට කරන කරදරයෙන් ගැලවෙන්නට මම අයගේ ඉල්ලීම ඉටුකරනවා' යැයි එම විනිසුරු තීරණය කරනවා. සිය අත්නොහරින උත්සාහය මගින් අයුක්තිසහගත විනිසුරෙකු ගේ සිත නම්මා ගැනීමට මෙම වැන්දඹුවට හැකි වුයේ නම්, දිවා රෑ තමන්ට කන්නලවු කරන තම තෝරාගත් ජනතාවට යුක්තිය ඉටු කිරීමට, යහපත් හා සාධාරණ වූ දෙවි පියාන කෙතරම් සුදානම් ව සිටින්නේ ද? "යයි සුදොතුම් පියතුමා පැහැදිලි කළේය.

වෙහෙසට හෝ අධෛර්යයට පත් නොවී නොකඩවා යාච්ඥා කරන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අනුශාසනා කළේය. "යාච්ඥාව යනු, අපට අවශ්‍ය දේ අපට ඕනෑ කල පමණින් ලැබෙන මැජික් යෂ්ටියක් නොවේ" එතුමා අවධාරණය කළේය. "එහෙත් එයින් බොහෝ ඔබ්බට යමින්, දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය නොකඩවා පවත්වා ගැනීමට යාච්ඥාව අපට උපකාර කරයි. විශේෂයෙන් ම දේව අභිමතය තේරුම් ගැනීමට අපට නොහැකි අවස්ථාවල පවා අපව දෙවියන් වහන්සේ වෙත භාර කරමින් උන්වහන්සේ කරෙහි විශ්වාස කිරීමට යැදුම අපට සහය වෙයි" යි එතුමා පෙන්වා දුන්නේ ය.

"යාච්ඥාවක අරමුණට ලැබෙන්නේ දෙවන තැනයි. අනෙක් සියල්ලට වඩා යාච්ඥාවේදී වැදගත් වන්නේ පියානන්  සමග ඇති සම්බන්ධතාවයි. යාච්ඥාවේදී සිදුවන්නේ කෙනෙකුගේ අභිලාශය කුමක් වූවත් එය දෙවියන් වහන්සේ ගේ කැමැත්තට අනුරූපව පරිවර්තනය වීමයි. මේ නිසා යාච්ඥා කරන පුද්ගලයා ප්‍රථමයෙන්ම බලාපොරොත්තු වන්නේ දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වීමයි; ඒකාබද්ධ වීමයි."

සුදොතුම් පියතුමා සිය ධර්මෝපදේශ මෙනෙහි කිරීම අවසන් කලේ ජේසු සමිඳුන් ගේ අභියෝගාත්මක ප්‍රශ්නය ඉදිරිපත් කරමිනි: "මනුෂ්‍ය පුත්‍රයා යළි පැමිණෙන විට උන්වහන්සේට ලෝකය තුළ විශ්වාසය දැකගන්නට හැකි වේවි ද?"

"මේ ප්‍රශ්නයෙන් අප සියල්ලන්ට උන්වහන්සේ අභියෝග කර තිබෙනවා. අප කිසිවිටෙකත් යාච්ඥාවෙන් බැහැර නොවෙමු. අපට අවශ්‍ය ආකාරයට අවශ්‍ය දේ සිදු නොවූවත්, අපි යාච්ඥාව තුළ විශ්වාසවන්තව සිටිමු."


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය