"ජේසු සමිඳුන් අප සමගයි; කිසිදා අප හැරදා නොයයි.මේ ගැන සෑම තැනෙකම, සෑම මොහොතක ම සාක්ෂි දරන්න" - ස්වර්ගාරෝහණ මංගල්‍ය දින භාවනාව

"Jesus is alive.He is with us: never leaves us. Be witness to this fact every day" - Angelus meditation  


(2016 මැයි 9)
ජේසු සමිඳුන් සහ සුබ අස්න වෙනුවෙන් සාක්ෂි දැරීම සෑම කිතුනුවකු ගේ ම වගකීම හා යුතුකම බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දෙති. එක දිනෙකට - එනම් ඉරිදාට - එක මොහොතකට - එනම් දිව්‍ය පූජාවට - පමණක් සිමා නොකර, සෑම දිනෙකම, සෑම මොහොතකම සාක්ෂි දැරීමට කතෝලිකයන්ට වගකීමක් ඇති බව උන්වහන්සේ සිහිපත් කරති.

"අප සෑම සතියකම අපේ සාක්ෂි දැරීම ඉදිරියට රැගෙන යා යුතුය: එනම්, ක්‍රිස්තුන් වහන්සේ අප සමග ය; ස්වර්ගයට වැඩිය ක්‍රිස්තුන් වහන්සේ අප සමග සිටින සේක; ක්‍රිස්තුන් වහන්සේ ජීවමානය යන්නයි." 

ඉරිදා (අප්‍රේල් 8) දහවල් තුන්කාල ආරාධනා මරිය යැදුමට පෙර භාවනාව කරමින් සුදොතුම් පියතුමා මෙම සිතිවිලි ඉදිරිපත් කලේ ය. මේ ඉරිදා එතුමන් ගේ තුන්කාල ආරාධනා භාවනාවට තේමාව  වූයේ  ජේසු සමිඳුන් ගේ ස්වර්ගාරෝහණයයි. මෙම මංගල්‍යය රෝමයේ  සමරනු ලබන්නේ එය නිල වශයෙන් යෙදී ඇති ජේසු සමිඳුන්ගේ උත්ථානයෙන් පසු 40 වන දිනයි. මෙවර එය දී තිබුනේ අප්‍රේල් 5 වන බ්‍රහස්පතිදාටයි. එහෙත් එය ණය මංගල්‍යයක් නිසාත්, සෑම කතෝලිකයකුටම එදින දිව්‍ය පූජාවට සහභාගී වීමට අවස්ථාව ලබාදීම සඳහාත් ශ්‍රී ලංකාව ඇතුළු වෙනත් බොහෝ රටවල එම මංගල්‍යය සැමරෙන්නේ දින 40න් පසුව යෙදෙන ඉරිදා දිනයි.

ඉරුදිනට නියමිත ලූක් සුබ අස්නේ එන පණිවිඩය ගෙනහැර දැක්වූ සුදොතුම් පියතුමා, අපොස්තුළුවරුන් ක්‍රිස්තුන් වහන්සේ ගේ මරණයටත්, උත්ථානයටත්, දැන් ස්වර්ගාරෝහණයටත් "සාක්ෂිකරුවන්" වූ ආකාරය පෙන්වා දුන්නේය. "ඇත්තවශයෙන් ම ඔවුහු ජෙරුසලෙමට ආපසු හැරී ගොස් උත්ථානවූ ක්‍රිස්තුන් වහන්සේ ගැන සාක්ෂි දෑරුහ. ඔවුන් මෙසේ සාක්ෂි දැරුවේ පසුව ඔවුන් සිත් හැරීම, පශ්චාත්තාපය සහ පව් සමාව ගැන දේශනා කළ තැනැන්වහන්සේ පිලිබඳවය."

"වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද කළ යුතු මෙම සාක්ෂි දැරීම ඉරිදා දින දෙව්මැදුරේ ජනවන්දනාවෙන් ඔබ්බට ද ගෙන යා යුතු ය. එය සමස්ත සතිය පුරා විහිදී, අපේ ගෙදර, කාර්යාල, පාසල්, විනෝදාස්වාදය ලබන ස්ථාන, රෝහල්, සිරගෙවල්, වැඩිහිටි නිවාස,  සාංක්‍රමනිකයන්ගෙන් පීරීගිය තැන් සහ නගරයේ පර්යන්ත ප්‍රදේශ වැනි සෑම තැනෙකම සිදු කල යුතු" යැයි සුදොතුම් පියතුමා පෙන්වාදුන්නේ ය.

සමිඳුන් ගේ ස්වර්ගාරෝහණ මංගල්‍යය සහ දයාවේ ජුබිලි වසර වෙනුවෙන් වතිකානයට පැමිණි වන්දනා කරුවෝ දහස් සංඛ්‍යාත පිරිසක් මේ ඉරිදාත් පාප් වහන්සේ ගේ තුන්කාල ආරාධනාවට සහභාගී වෙමින් සිටියහ.

"අප අද භාවනා කරන්නේ, දෙවියන්  වහන්සේගේ පුර්ණ මහිමයට ඇතුළුවනු සඳහා    අපගේ  මිහිමත අවකාශයෙන් වෙන්ව ගිය ජේසු සමිඳුන් ගේ අබිරහසයි. උන්වහන්සේ අපගේ  අවකාශයෙන් වෙන්ව ගියේ, තමන් තුළ තිබු  අපගේ මනුෂ්‍යත්වය ද තවදුරටත් පවත්වාගනිමින්," යැයි එම වන්දනාකරුවන් අමතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේය. ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රාවකයන් උන්වහන්සේ  ජෙරුසලෙමේ දී ප්‍රතික්ෂේප කරනු ලැබීමත්, ජුදාස් ගේ පාවාදීමත්, පේදුරුතුමන් ගේ ප්‍රතික්ෂේප කිරීමත්, අපරාධකාරයකුට හිමිවන දුක්ඛිත මරණය හා ශ්‍රාවකයන් විසිරුවා හරිනු ලැබීමත්  දැක කම්පිතව, අපේක්ෂා භංගතත්වයට පත්ව සිටි ආකාරය එතුමා විස්තර කළේය. එහෙත් එම ශ්‍රාවකයන්  උන්වහන්සේ ගේ  ස්වර්ගාරෝහණයෙන් පසු ලැබූ නව ජීවය හා මැඩලිය නොහැකි ශක්තිය එතුමා පැහැදිලි කළේය:

"මෙම සිද්ධි මාලාව ඔවුන් බියටත් තැතිගැන්මටත් පත්කර තිබිණි. එහෙත් මේ දවසේ සිට, එනම් ජේසු සමිඳුන් ගේ ස්වර්ගාරෝහණ දිනයේ සිට ඔවුනට ජෙරුසලෙමේත් ලෝකයේ වෙනත් සෑම සියලුම නගරවලත්  ජීවත්වීමට හැකි විය. වෙනෙකක් තබා අයුක්තියෙන්, අසාධාරණයෙන්, ප්‍රචණ්ඩත්වයෙන් හා පීඩාවෙන් පිරුණු නගරවලත් ජීවත් වීමට ඔවුන්ට ශක්තිය ලැබුනේය. ඒ මන්ද, ඕනෑම පුරවරයක, ඕනෑම ගමක හෝ නගරයක ජීවත්වන ජනයාට 'බලාපොරොත්තුවෙන්' යුතුව ස්වර්ගය දෙස නෙත් එසැවිය හැකි නිසා ය."

එම සොඳුරු විශ්වාසයේ සත්‍යතාව සුදොතුම් පියතුමා තවදුරටත් මෙසේ විස්තර කළේය:

"දෙවිඳුන් වන ජේසු සමිඳුන්, සැබෑ මිනිසා ය. උන්වහන්සේ ස්වකීය මානව ශරීරයෙන් දැන් ස්වර්ගයෙහි වැඩ සිටින සේක. අපගේ බලාපොරොත්තුව මෙයයි. අපගේ නැංගුරම මෙයයි. අප ස්වර්ගය දෙස බලන්නේ නම් මෙම බලාපොරොත්තුව අප තුල තහවුරු වෙයි. නාසරෙතයේ ජේසු  ලෙස මානව වතමඬලක් ගැනීමට තරම් අපට සමීප වී තමන්වහන්සේ අපට හෙළිදරව්  කළ දෙවියන් වහන්සේ මේ ස්වර්ගයෙහි ජීවත්වන සේක. උන්වහන්සේ නිතරම සිටින්නේ 'දෙවිඳාණෝ අප සමගය" - එනම් එම්මානුවෙල් - ලෙසය. ඒ නාමයේ අරුතින් ම උන්වහන්සේ කිසිදා අප හැර නොයන සේක." 



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය