"සියල්ලන් අන්තර්ග්‍රහණය කෙරෙන නව සමාජයීය ආර්ථික ක්‍රමයක් අවශ්‍යයි" - ශාලමන් ත්‍යාගය සහ සුදොතුම් පියතුමා ගේ 'මම සිහිනයක් දකිමි' දේශනය

"I have a Dream for Europe" - Pope Francis speaks his heart about a Europe giving birth to a "New Humanism" 



(2016 මැයි 7)
"නව යුරෝපීය මානුෂවාදයක් පිළිබඳව මම සිහින දකිමි"
"නූතන ද්‍රවශීලි ආර්ථිකය වෙනුවට සියල්ලන් ඇතුලත් කරගන්නා නිර්මාණශීලි සමාජයීය ආර්ථිකයක් ගැන මම සිහින දකිමි"

යුරෝපයේ කීර්තිමත් ශාලමන් ත්‍යාගය පිරිනැමීම වෙනුවෙන්  සිකුරාදා (2016 මයි 6) වතිකානයේ පැවති උත්සවයේ දී ප්‍රැන්සිස් පාප් වහන්සේ  මෙම "සිහින වැල" ප්‍රකාශ කළහ.

2016 වසරේ  යුරෝපීය ශාලමන් ත්‍යාගය පිරිනමන ලද්දේ ප්‍රැන්සිස් පාප් වහන්සේට  ය. 'ආහන් හි ජගත් ශාලමන් ත්‍යාගය' යනුවෙන් නිල වශයෙන් හැඳින්වෙන මෙම ත්‍යාගය  වසරක් පාසා පිරිනමනු ලබන්නේ යුරෝපය එක්සත් කිරීම සඳහා ක්‍රියාකළ පුද්ගලයන්ට ය.  ප්‍රැන්සිස් පාප් වහන්සේ ශාලමන් ත්‍යාගයෙන් පිදුම් ලද දෙවැනි ආගමික නායකයා ය. මීට කලින් 2004 දී ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප්වහ්න්සේට "අති  විශේෂ" ශාලමන් ත්‍යාගයක් පිරිනැමිණ. ඒ වසරේ ත්‍යාගය සඳහා අයර්ලන්ත දේශපාලනඥ පැට්‍රික් කොක්ස් තෝරාගෙන තිබු අතර, ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් සිදුකරන ලද යුරෝපය එක්සත් කිරීමේ සුවිශේෂී මෙහෙවර අගය කරනු වස් "අති විශේෂ" ත්‍යාගයක් ලෙස එතුමාට මෙය පිරිනැමිණ.

මෙම ත්‍යාගය පිරිනැමීම ආරම්භ වුයේ 1950 දී ජර්මනියේ සුන්දර ආහන් නගරයේ දී ය. 2016 වසරේ මෙම ත්‍යාගය වෙනුවෙන් ප්‍රැන්සිස් පාප් වහන්සේ නම්  කර ඇති බව 2015 දෙසැම්බර යේ දී එම ත්‍යාග ප්‍රදාන කමිටුව ප්‍රකාශයට පත් කළේය.

මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ ආහන් නගරයේ දී ය. එහෙත් පාප් වහන්සේ ගේ ඉල්ලීම මත මෙවර එය වතිකානයේ දී පවත්වන ලදී. 2004 දී ශු. මහා ජුවාම් පාවුළු පාප් වහන්සේට මෙම ත්‍යාගය පිරිනමන ලද්දේද, එතුමන් ගේ ඉල්ලීම මත, වතිකානයේ දිය.

මෙම ත්‍යාගය පිළිගනිමින් ප්‍රැන්සිස් පාප් වහන්සේ කල පිළිතුරු දේශනය "මම සිහිනයක් දකිමි" කතාවක් වූයේය. එය ඇමෙරිකාවේ ගෞරවනීය කළු නායක මාටින් ලූතර් කිං ගේ ඓතිහාසික "මම සිහිනයක් දකිමි....." (I have a dream) කතාව බඳු අභියෝගාත්මක සොඳුරු දේශනයක් වුයේ ය. නුතන ලෝක රාටව තුළ ගිලිහෙමින් පවත්නා පවුල, සමාජය, ආර්ථිකය හා දේශපාලනය යන ක්ෂේත්‍රවල මානව කා කිතුනු වටිනාකම් යළි නගාසිටුවීමේ අවශ්‍යතාව මෙම "මම සිහිනයක් දකිමි"  කතාවේ දී එතුමා අවධාරණය කෙළ්ය.

මානුෂවාදය
"නව යුරෝපීය මානුෂවාදයක් පිළිබඳව මම  සිහින දකිමි" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියාසිටියේ ය. එතුමා පෙන්වා දුන්නේ එය මානව ගරුත්වයත් සමාජ අන්තර්ග්‍රහණයත් ප්‍රවර්ධනය කෙරෙන ප්‍රතිසංස්කරණය වූ ආර්ථික ක්‍රමයකුත් නැවුම් අදහසුත් කැටිකරගත් එකක් විය යුතු බවයි.

"යුරෝපය තමන් වටා පවුරු වළලු බැඳගෙන වෙහෙසටපත් වී ඇතැ"යි එතුමා කීවේ ය. "නූතන බහු ධ්‍රැව රාමුවට දිරියෙන් මුහුණ දීම සඳහා යුරෝපයේ නායකයන් අතීතයෙන් අනුප්‍රාණය ලබාගත යුතු ය."

"යුරෝපය පිලිබඳ අදහස තත්කාලීන කර ගැනීමේ අභියෝගය යුරෝපීය නායකයන් අධිෂ්ඨානපූර්වකව භාර ගත යුතු ය. මෙම අභියෝගය  නම්, අන්තර්ග්‍රහණය කර ගැනීම සහ සංවාදය යන හර  හැකියාවන් මත පදනම්ව, නූතන සංකීර්ණ ගැටළුවලට විසඳුම් සොයන නව අදහස් ජනිත කෙරෙන "නව මානවවාදයකට" උපත දීමයි. "

"තරුණ, එහෙත් මවක් වීමේ හැකියාව ඇති යුරෝපයක් ගැන මම සිහින දකිමි. කවර ආකාරයේ මවක් ද? තමාට ජීවිතය ඇති නිසා ජීවිතයට ගෞරව කරන හා ජීවිතය පිලිබඳ බලාපොරොත්තු ඇති කරන මවකි. දරුවන් රැකබලා ගන්නා යුරෝපයක්, දුප්පතුනට සහෝදරත්වයෙන් උපකාර කරන යුරෝපයක්, සියල්ල අහිමිවී පැමිණෙන සාංක්‍රමනිකයන්ට පිළිගැනීම ලබා දී ඔවුනට ආධාර කරන යුරෝපයක් ගැන මම සිහින දකිමි. ......තරුණයනට පාරිභෝගිකවාදයේ  තෘප්තිමත් කල නොහැකි අවශ්‍යතාවලින් දූෂ්‍ය නොවූ වාතාශ්‍රයක් තුල  අවංකභාවයේ පිරිසිදු වාතය ආශ්වාස කරමින් ජීවත් විය හැකි යුරෝපයක් ගැන මම කැමැත්තෙන් පසුවෙමි. "

පවුල හා ජීවිතය පිලිබඳ නුතන යුරෝපයේ ආකල්ප ද මෙම දේශනයේ දී එතුමා ගේ විවේචනයට ලක් විය.

"විවාහ වී දරුවන් ලැබීම  යනු ස්ථිර රැකියාවක් නොමැති වීම නිසා කල් දැමිය යුතු බරක් නොව, බැරෑරුම්  වගකීමක් හා මහත් ප්‍රීතියක් ලෙස සලකන සංස්කෘතියක් දැකීමට මම සිහින දකිමි. සංඛ්‍යාව නොව මානව පුද්ගලයන් කෙරෙහි අවධානය යොමුකෙරෙන සැබෑ ප්‍රතිපත්ති සහිත පවුල් වලින් සමන්විත යුරෝපයක් දැක්මට කැමති වෙමි.තමන් සතුව සියල්ලන් කෙරෙහි පවතින වගකීම පැහැර නොහැර සෑම කෙනෙකුගේ ම අයිතිවාසිකම් ආරක්ෂා කොට ප්‍රවර්ධනය කරන යුරෝපයක් දැක්මට සිහින දකිමි. "

යුරෝපය බිඳ වැටෙමින් පවතින බවටත් නව්‍යකරණ වීමට හා නිර්මාණශීලි වීමට ඒ සතුව තිබූ හැකියාව හිලිහෙමින් පවතින බවටත් මතයක් ඇතැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දුන්හ. "යුරෝපය, ඔබට කුමක් සිදුවීද? මානුෂවාදයේ යුරෝපය, මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහසේ වීරයා වූ යුරෝපය ඔබට සිදුවූයේ කුමක් ද? කවියන්, දාර්ශනිකයන්, කලාකරුවන්, සංගීතඥයන්, ලේඛක ලේඛිකාවන් ගේ තිඹිරි ගෙය හා ගෙදර වූ යුරෝපය, ඔබට සිදුවූයේ කුමක් ද? ජනතාව හා ජාතීන් ගේ මාතාව වූ යුරෝපය, තම සොයුරු සොයුරියන් ගේ මානව ගෞරවය ආරක්ෂා කිරීමටත්  වෙනුවෙන් දිවි පිදීමටත් කැපවී සිටි මිනිසුන් හා ගැහැනුන් සිටි යුරෝපය, ඔබට සිදුවූයේ කුමක් ද? " යයි යුරෝපයට අභියෝග කරමින් එතුමා විමසා සිටියේ ය.

 ඊට විසඳුම් සෙවීම සඳහා යුරෝපය කාරනා දෙකක් කෙරෙහි අවධානය යොමු කල යුතු බව එතුමා පෙන්වා දුන්නේ ය. ඉන් එකක් නම් දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝපයේ ඇති වූ 'තත්වාකාර සහෝදරත්වය' වත යලි හැරී යාමයි. එදා නිර්මාණශිලිත්වයට හා සංවර්ධනයට මග පෑදූ එම 'තත්වාකාර  සහෝදරත්වය', පරිත්‍යාගශීලිබව හා මුසු වී, ගැටුම් හා දුක් වේදනාවලින් සනිටුහන් වූ නූතන ලෝකයට සහනයක් ගෙන දෙන්නට යළි භාවිත කළ හැකි බව එතුමා කියා සිටියේ ය. 

එසේම,  එලී වීසල් කවියා කීවා සේ "ස්මරණය පාරවිලයනය කරගැනීම" බව එතුමා සඳහන් කළේය.

නව සමාජයීය ආර්ථිකයක්
සුදොතුම් පියතුමා ෂාලමන් ත්‍යාගය වෙනුවෙන් පැවැත්වූ සිය දීර්ඝ පිළිතුරු දේශනයේ යුරෝපීය හා ලෝක ආර්ථිකය පිලිබඳ සිය සිහිනය ද විස්තර කළේය. ශු. මහා ජුවාම් පාවුළු පාප්වහන්සේ ද උපුටා දක්වමින් ඉදිරිපත් කල මෙම දේශනය,  ලෝක ආර්ථිකය ගැන ජුවාම් පාවුළු පාප් තුමන් තුළ වූ දැක්මේ දිගුවක් සේ ම, සිය ප්‍රථම අපෝස්තලික හසුනෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කළ ඉගැන්වීම් තුළ ගැඹුරට ගමන් කිරීමක්  ද වේ.
 
නව යුරෝපයක් තුළ තරුණයන්ට විශේෂ භූමිකාවක් ඇති අතර තරුණයන් වෙනුවෙන් ඉටු කළයුතු කාර්යභාරයක් ද ඇති බව මෙම කොටසේදී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ ය. "ඔවුන් වෙනුවෙන් නව රැකියා අවස්ථා ඇති කල යුතු අතර ලෝකයේ සම්පත් සාධාරණ ලෙස බෙදී යාමක් ද සිදුවිය  යුතු ය. යහපත් වේතනයක් ලැබෙන ගෞරවනීය රැකියා බිහිවිය යුතු ය."

"මෙය ඉටුකර ගැනීම සඳහා සියල්ලන් අන්තර්ග්‍රහණය කරන්නා වූ ද සාධාරණ වූ ද නව ආර්ථික ආකෘති වෙත යොමු විය යුතුව තිබේ. මෙම නව ආර්ථික ආකෘතිවල අරමුණ විය යුත්තේ සුළු සංඛ්‍යාවකට සේවය කිරීම නොව සාමන්‍ය ජනතාවටත් පොදුවේ සමස්ත සමාජයටත් ප්‍රතිලාභ සැලසීමයි. මේ සඳහා ද්‍රවශීලී ආර්ථිකයක් වෙතින් සමාජයීය ආර්ථිකයක් වෙත පියමං කළ යුතුව ඇත."

ශු. මහා ජුවාම් පාවුළු සුදොතුම් පියතුමා 1990 නොවැම්බර 8 වැනිදා වතිකානයේ ජර්මානු තානාපතිවරයාට දුන් උපදේශයකින් මෙබඳු ආර්ථික ක්‍රමයක් පිලිබඳ  ඉඟියක් ලබාගත හැකි බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

"''මේ සඳහා, ආදායම, සමපේක්ෂණය සහ පොලියට ණය දීම යන කරුණුවලින් සමන්විත ආර්ථිකයක් වෙතින්, රැකියා උත්පාදනය කිරීමෙන් හා පුහුණුව ලබා දීමෙන් මානව පුද්ගලයන් තුළ ආයෝජනය කරන්නා වූ සමාජ වෙළෙඳපොල ආර්ථිකයක් වෙත ගමන් කල යුතු ය. ලාබ ලබා ගැනීමේ මාර්ගයක් ලෙස දුෂණය භාවිත කිරීමට සුදානම් ව සිටින ද්‍රවශීල ආර්ථික ක්‍රමයක් වෙතින්, ශ්‍රමය මගින් ඉඩම් සහ නිවාස ලබා ගැනීම ගැනීම සහතික කෙරෙන සමාජයීය ආර්ථිකයක් වෙත අපි  ගමන් කල යුත්තෙමු' යයි ජුවාම් පාවුළු සුදතුම් පියතුමා  පැවසු" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිහිපත් කලේය.
එතුමා සිය දේශනය අවසන් කළේ යුරෝපය පිලිබඳ සිය සිහිනය සම්පිණ්ඩනය කරමිනි:

"තමන් ජීවිතයට ගෞරව කරන අතර ජීවිතය සඳහා බලාපොරොත්තු ඇති කරන බැවින් තමන් තුළ ජීවය ඇති දයාබර අම්මා කෙනෙකු වන යුරෝපයක්, රොගීන් සහ වයස් ගතවූවන් කෙරෙහි සැලැකිල්ල දක්වන ස්ථානයක්; ජනතාව අවංකකමේ පිරිසිදු වාතය ආශ්වාස කරන ස්ථානයක් දැකීමට මම සිහින දකිමි"

ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල්, ආහන් නුවර පුරපති ෆිලිප් මාසල් , යුරෝපීය පාර්ලිමේන්තුවේ සහ යුරෝපා කොමිසමේ ඉහලම නිලධාරීන් ඇතුළු සම්භාවනියයෝ රැසක් මෙම අවස්ථාවට එක්වුහ.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය