දයාවේ වසර සමාප්ත කිරීමට දුප්පතුන් සඳහා වතිකානයේ වන්දනා ගමනක්

 A Pilgrimage for the Poor to close out the Year of Mercy 

රෝමයේ ගෙයක් නැති ජනයා හමුවූ මොහොතක්
(2016 මැයි 5)
යුරෝපයේ දුප්පත් සහ සමාජයෙන් බැහැර කරන ලද දහස් සංඛ්‍යාත පුද්ගලයන් පිරිසකට  ලබන නොවැම්බර මාසයේ ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන භාග්‍යවන්ත අවස්ථාවක් උදාවෙයි. එනම්, දයාවේ ජුබිලි වසර වෙනුවෙන් වතිකාන වන්දනා ගමනකට සහභාගී වීමටයි.

වන්දනා ගමන යොදාගෙන තිබෙන්නේ නොවැම්බර 11 සිට 13 දා දක්වයි. එය සංවිධාන කරනු ලබන්නේ ෆ්රැටෙල්ලෝ නමැති ප්‍රංශ සංවිධානයයි. දුප්පතුන් සහ සමාජයෙන්  බැහැර කරන ලද්දවුන් 6000 ක් ඊට එක්වන බව එම සංවිධානය කියයි. ෆ්රැටෙල්ලෝ සංවිධානය "විවිධ ආකාරවලින් සමාජයෙන් බැහැර කරන ලද්දවුන්"වෙනුවෙන් විවිධ අවස්ථා සහ ගමන් සම්බන්ධීකරණය කරන සංවිධානයකි. මෙම ගමන සංවිධානය සඳහා ඔවුන් තවත් වෘත්තීය සංචාර ආයතන කිහිපයක ද ආධාර ලබා ගැනීමට නියමිතයි.

"සමාජයෙන් බැහැර කරන  ලද්දවුන් ලෙස සැලකෙන  ජනතාවට ප්‍රැන්සිස් පාප් වහන්සේ මුණගැසීමටත් මේ ජයන්ති වසරේ දී වතිකානයේ යාච්ඥා කිරීමටත්  ලැබෙන මෙම අවස්ථාව  ඔවුන් දෙවියන් වහන්සේ ගේ හදවත තුළත් සභාවේ හදවත තුළත් සිටින බව සිහිපත් කිරීමට අවස්ථාවක් වනු ඇතැයි" එම සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. 

වතිකානයට පැමිණෙන මෙම කණ්ඩායමට වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට අවස්ථාව ලැබේ. ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ ධර්මොපදේශයට සහභාගී වීම හා එතුමන් මුණගැසීම, නගරයේ සංචාරයක් සහ "දයාවේ සන්ධ්‍යා මෙහෙයට" සහභාගී වීම ද ඒ අතර වේ. ඊට අමතරව ඔවුන් වතිකාන කෞතුකාගාරය නැරඹීමට ද නියමිතය. ඔවුන් ගේ ගමන අවසන් වන්නේ නොවැම්බර් 13 වනදා සුදොතුම් පියතුමාගේ ඉරිදා දිව්‍ය පූජාවට සහභාගී වීමෙනි.

සමාජයේ දුප්පතුන්, පීඩිතයන්, සරණාගතයන්, මානව හිමිකම් අහිමිවූවන් හා විවිධ අයුරින් සමාජයෙන් බැහැර කරන ලද්දවුන් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේගේ පාප්ධුරයේ ප්‍රථම දිනයේ සිටම ප්‍රමුඛ තේමාවක් බවට පත්ව තිබුනේය. එතුමා එය සිය ප්‍රථම මාධ්‍ය හමුවේදී කියා සිටියේ "දුප්පත් සභාවක්, දුප්පතුන් ගේ සභාවක් දකින්නට මා කෙතරම් කැමති ද?" යනුවෙනි. දේව මහිමය හැරදමා, මැවිල්ලක් බවට පහත්  වී, ගව මඩුවක් හා වඩු මඩුවක් මිහිමත සිය ගෙදර කරගත් මාංශ  ගත වූ දේව දයාව වන ජේසු සමිඳුන් ද ඒ තේමාවට බොහෝ කැමති වනු නොඅනුමානය.

මෙම තේමාව තහවුරු කිරීම සඳහා සුදොතුම් පියතුමා ඉකුත් කාලය තුළ බොහෝ ක්‍රියාමාර්ග ගත්තේ ය. රෝමයේ ගෙදරක් නැති ජනතාව වෙනුවෙන් විවිධ සේවා ඇති කළේය. ඉතාලිය තුළ හා විදේශ අපෝස්තලික ගමන් වලදී දුප්පතුන්, සිරකරුවන්, සරණාගතයන් වැනි සමාජයෙන් කොන්වුවන් බැලීමට ගියේ ය.ඔවුන් වෙනුවෙන් සිය හඬ නැගුවේය.

දුප්පතුන් ගේ මෙම වතිකාන වන්දනා ගමන දේව දයාවේ වසර නිමා කෙරන අංගයක් වනු ඇත. ඊළඟ ඉරිදා, (නොවැම්බර 20) ක්‍රිස්තු රාජ මංගල්‍ය දින ජුබිලි වසර සමාප්තියට පත්වෙයි.

මාංශගතවූ දේව දයාව වන ජේසු සමිඳුන් මිහිමත  කාලයේ දුප්පතුන්, පීඩිතයන් හා කොන් කරන ලද්දවුන් එතුමන් ගේ ද හදවතට සමීපම වූ ජනතාවක් විය. දෙවියන් වහන්සේ දුප්පතුන් හා පීඩිතයන් ගේ දෙවියන් වහන්සේ බව ශුද්ධ ලියවිල්ල  පුරාම කියැවෙන පණිවිඩයක් ද වේ. මෙනයින් බැලූ විට දයාවේ ශුද්ධ වසර දුප්පතුන් ගේ දයාවේ වන්දනා ගමනකින් සමාප්තියට පත් කිරීම කෙතරම් අරුත්බර වන්නේ ද?

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය