"නැතිවූ සහෝදර බැටළුවන් සොයා රැලට ගෙන ඒම: සෑම කිතුනුවකු ම ලබා ඇති දයාවේ කැඳවීම"

"The Good Shepherd can always be found where the lost sheep is" - Wednesday General Audience 


සුදොතුම් පියතුමා පැරගුවේ කුප්‍රකට සිරගෙදර දී 
(2016 මැයි 4)
යහපත් එඬේරා ගේ උපමාව දෙවියන් වහන්සේ ගේ දයා කරුණාව තේරුම් ගැනීමට ආධාර වන වැදගත් නිදර්ශනයකි. මෙම උපමාව මගින් නියෝජනය වන්නේ කිසිම කෙනෙකු නැති නොවන තරමට උන්වහන්සේ අප වෙත දක්වන අතිශය ගැඹුරු සැලකිල්ලයි. යහපත් එඬේරා උපමාවෙන් විදැහෙන දෙවියන් වහන්සේ ගේ අපරිමිත දයා කරුණාව ගැන විස්තර කරමින් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව කියා සිටියේ බදාදා (මැයි 4) එතුමන් ගේ සතිපතා පොදු හමුවට සහභාගී වූ වන්දනාකරුවනට අනුශාසනා කරමිනි. මෙම ධර්මෝපදේශ දේශනාව සඳහා එතුමා පාදක කර ගත්තේ ජේසු සමිඳුන් වදාළ තමන් සමග සිටින බැටළුවන් 99 දෙනා තබා, නැතිවුණු බැටළුවා සොයා යන 'යහපත් එඬේරා'  ගේ උපමාවයි.

"ජේසු සමිඳුන් වදාළ මෙම උපමාවෙන් පිළිබිඹු වන්නේ උන්වහන්සේ පව්කාරයන් කෙරෙහි දක්වන අසීමිත සැලකිල්ලයි. එසේ ම කිසිදු අයෙකු තමන්ට අහිමි වීමට ඉඩ නොතබන තරමට සියුම් වූ දෙවියන් වහන්සේ ගේ දයාවේ ස්වරූපයයි. මෙම උපමාව අසන අප ජේසු සමිඳුන් පව්කාරයන්ට දක්වන සුවිශේෂී සැලකිල්ල ඉදිරියේ කලකිරීමට පත් නොවිය යුතුය. ඒ වෙනුවට එම උපමාව අප යොමුකරන්නේ අපගේ විශ්වාසය ජීවත් කරන ආකාරය ගැන බැරෑරුම්  භාවනාවක යෙදීමට යි.  දෙවියන් වහන්සේ පව්කාරයනට දයාව දැක්වීම  උන්වහන්සේට ආවේනික වූ පෞද්ගලික ජීවන ශෛලියයි.  එම දයා කරුණාවට උන්වහන්සේ අතිශයින් ම විශ්වාසවන්තය. එයින් උන්වහන්සේ ඉවත් කිරීමට කිසිවෙකුටත් හැකි නොවේ'" යයි වන්දනාකරුවන් අමතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

ජේසු සමිඳුන් ජීවත් වූ සමයේ එඬේරුන් හා බැටළුවන් අතර තිබූ සම්බන්ධය ගෙන හැර දැක්වූ සුදොතුම් පියතුමා තවදුරටත් මෙම කරුණ විස්තර කළේය: "නැතිවුණු බැටළුවකු  සිටි තැන, එඬේරෙකු නිතරම දැකිය හැකි විය. එසේ ම අපට සමිඳුන් ද සොයා  හැක්කේ 'නැතිවුණු බැටළුවන්' සිටින තැන ය; අප උන්වහන්සේ සිටිනවා යැයි මවාපාන්නට සිතන තැන නොවේ."
පැරගුවේ සිරගෙදර දී  සුදොතුම් පියතුමාට සිය දුක කී තවත් රැඳවියක්

මාන  දෙකක්
මෙම උපමාවේ මාන දෙකක් ඇති බව  සුදොතුම් පියතුමා විග්‍රහ කළේය. එක පැත්තකින් සිටින්නේ ජේසු සමිඳුන් වෙත ආකර්ෂණය වී උන්වහන්සේට සවන් දෙන පව්කාරයන් ය. සමිදුන් සැකකර උන්වහන්සේගෙන් දුරස්ථව සිටින ධර්ම නීතිවේදීන් සහ ලේකම්වරු එහි අනෙක් මානයයි.

ප්‍රධාන චරිත
කතාව තවදුරටත් දිග හැරෙන විට එය ප්‍රධාන චරිත තුනක් වෙත නාභිගත වෙයි. එනම් එඬේරා, නැතිවූ බටලුවා සහ සෙසු බැටළුවන් යන චරිත තුන බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

"එහෙත් මෙහි ක්‍රියාකාරී වන්නේ, රඟපාන්නේ එඬේරා පමණයි. බැටළුවන් නොවේ. මෙහි ප්‍රධාන නළුවා උන්වහන්සේ යි. සියල්ල රඳා පවතින්නේ උන්වහන්සේ මතයි. "

කෙසේ නමුත් මෙම උපමාවේ තේරුම් ගැනීමට අපහසු දෙයක් - එනම් විරෝධාභාසයක්- (Paradox) ඇති බව එතුමා පෙන්වා දුන්නේ ය. එනම්, එඬේරා තමන් සමග සිටින 99 දෙනා අතහැර නැති වූ එක බැටළුවා සොයා  යාමයි. "එක බැටළුවකු වෙනුවෙන් 99 දෙනකු අතහැර දමා යාම කෙතරම් බුද්ධිමත් වැඩක් ද? විශේෂයෙන් ම පාළුකරයේ එම බැටළුවන් ගේ ආරක්ෂාව සැලකිල්ලට ගත්කල? බයිබලීය භාෂාවෙන් පාළුකරය හෝ කාන්තාරය යනු ආහාර, ජලය හා සෙවනක් සොයාගත නොහැකි මරණයේ සංකේතයයි. මෙවැනි තැනෙක  තමන් ආරක්ෂා කර ගැනීම සඳහා 99 දෙනා කුමක් කරන්නට ද?" සුදොතුම් පියතුමා විමසුවේය.

මෙම විරෝධාභාසය තව දුරටත් දිගහැරෙන බව උපමාවේ සිද්ධීන් ගෙනහැර දක්වමින් සුදොතුම් පියතුමා කීවේය. "නැතිවූ බැටළුවා සොයා ගන්නා එඬේරා ඌ තම කර මත තබාගෙන ගෙදරට යයි. ගෙදර ගොස් තම අසල්වැසියන්ට ප්‍රීතියෙන් හඬ ගසයි. 'ඇවිත් ප්‍රීති වෙන්න. නැති වූ බැටළුවා හම්බවුනා' ඔහු  කියයි."

එඬේරා නැතිවූ එක බැටළුවෙක් වෙනුවෙන් කරදර වන අතර අනෙක් 99 දෙනා අමතක වූ බවක් මෙම උපමාව අසද්දී හැඟී යා හැකි බව සුදොතුම් පියතුමා කීවේය. "එහෙත් යථාර්ථය එය නොවේ. මෙම උපමාවෙන් සමිඳුන්ට උගන්වන්නට අවශ්‍ය වන්නේ, කිසිදු බැටළුවකු නැතිවිය නොහැකි බවයි. අවම වශයෙන් එක් පුද්ගලයකු හෝ නැතිවිය හැකිය යන කරුණ සමිඳුන්ට පිළිගත නොහැකිය. එය උන්වහන්සේ තුළ ඇති දැවෙන අභිලාෂයකි.එසේම, එඬේරා තනි බැටළුවා සොයා යාම නවත්වා තම රැල තුළම තබාගැනීමට බැටළුවනට ද නොහැකිය."

මේ සත්‍යතාව දෙස අප බැලිය යුත්තේ අප තුළින් පිටතට පැමිණ බව එතුමා කියා සිටියේ ය. "නැතිවූ බැටළුවා සොයා යාමෙන් එඬේරා (සමිඳුන්) කරන්නේ, රැල යළි එකතු කිරීමේ ප්‍රයත්නයට සහභාගී වීමට ඉතිරි 99 දෙනා ද පෙළඹවීමයි. එබැවින්, දයාවේ එඬේරාණන් විසින් පෙන්වා දී ඇති මේ මග හැරෙන්නට, රැල යළි එකතු කිරීමේ වෙනත් මාර්ගයක් නැතැ"යි සුදොතුම් පියතුමා අවධාරණය කළේය.

එබැවින් නිතර මෙම උපමාව භාවනා කරන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සියල්ලන් දිරිමත් කළේය. "මන්ද, නිතරම පාහේ යම්කිසි කෙනෙකු නැති බව, ඉඩක් ඉතිරිකර යම් කෙනෙකු ඉවත්ව ගොස් ඇති බව අපට දක්නට ලැබෙනවා. අපේ සහෝදරයකු හෝ සහෝදරියක අපෙන් ඉවත්ව, වෙන්ව යාම නොවැලක්විය හැකි දෙයක් බව අප කියන්නට පුළුවන්. එවැන්නක් ඇසීම කනගාටුදායක ය. මෙම අනතුරින් අප පරෙස්සම් විය යුතු ය. එවැනි සිතිවිල්ලක් තුළ ඇත්තේ බැටළු සුවඳ නොව ආත්මාර්ථකාමිව තමන් තුළ සංවෘත වීමේ දුගඳ ය. එසේ  සිදුවන්නේ ධර්මදානීය ජවය අප තුළ නොමැති වූ විටය."

"ඕනෑම දුරක් එඬේරාට දුරක් නොවේ. එසේම, කිසිදු රැලකට සිය සහෝදරයා ප්‍රතික්ෂේප කල නොහැකිය" යි එදින ධර්මෝපදේශය නිමා කරමින් සුදොතුම් පියතුමා කීවේ ය.  "නැති වූ තැනැත්තා සොයා ගැනීම එඬේරා ගේ ද දෙවියන් වහන්සේ ගේ ද ප්‍රීතියයි. එසේ ම එය සමස්ත (බැටළු) රැලේ ම ප්‍රීතියයි. අපි සියල්ලෝ ම ස්වාමීන් වහන්සේ ගේ දයා කරුණාව විසින්  සොයාගෙන එක්රැස් කරනු  ලැබූ බැටළුවෝ වෙමු. මේ නිසා උන්වහන්සේ සමග එක් වී සමස්ත රැල ම රැස් කිරීමේ මෙහෙවරට අපි කැඳවනු ලැබ සිටිමු."


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය