"ඔබ ජේසු ගේ ශ්‍රාවකයෙක් ද? එසේ නම් ඔබ අනිවාර්යයෙන් සේවකයෙකු විය යුතුයි"

"Are you a disciple of Christ? Then you must be a servant": Holy Father tells Deacons 



(2016 මැයි 30)
කාදිනල් හිමිවරුන්, රදගුරු හිමිවරුන් හා පුජකවරුන් ගේ සම්මන්ත්‍රණ හා රැස්වීම්වලදී සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ  නිතර අවධාරණය කරන කරුණක් තිබේ. එනම් "සේවක නායකත්වය" නොහොත් "එඬේරික නායකත්වය" යි. සභාවේ ගිහි, පැවිදි පූජක නායකත්වය කළමනාකරුවන් හෝ පරිපාලකයන් නොවී සේවකයන් විය යුතුය යන්න එතුමා පුන පුනා පෙන්වා දෙන කරුණයි.

උන්වහන්සේ පසුගිය ඉරිදා (මැයි 29) යලිත් මෙම තේමාවට ප්‍රවිෂ්ට වූහ. ඒ වතිකානයේ දී පැවැති "තේවාචාරීන් ගේ ජුබිලියේ" දී ය.

"යහපත් සේවකයකු යනු තමන් අමතක කොට, තම ස්වාර්ථකාමී සැලසුම්වලට යන්නට හැර, තමන් සේවාව කිරීමට කැඳවීම ලබා ඇති ජනතාව වෙනුවෙන් තම ජීවිතය කැපකරන්නෙකි. යහපත් සහ විශ්වාසවන්ත සේවකයකු වීමේ එක් ප්‍රථම පියවරක් වන්නේ අන් අයගේ සේවාව වෙනුවෙන් නිතරම සූදානම්ව සිටීමයි. සැබෑ සේවකයකු සියල්ල තමන්ට අවශ්‍ය ආකාරයට කිරීමේ උවමනාවෙන් වියුක්ත වී තමාට ලැබී ඇති කැඳවීමට අනුව ජීවත්වීමට දිනපතා ඉගෙනගනියි. සේවය කරන්නෙකුට තමන් ගේ විවේකකාලය රැස්කර ගත නොහැකිය. එවැන්නකු තමා කාලයේ ස්වාමියාය යන අදහස අත්හල යුතු ය. සේවය කරන්නා තමාගේ ම න්‍යාය පත්‍රයේ වහලෙක් නොවේ. ඒ වෙනුවට අනපේක්ෂිත දේ ට ඕනෑම මොහොතක මුහුණ දෙන්නට එවැන්නන් සූදානම් ය. සෑම මොහොතකම තම සහෝදර සහෝදරයන් වෙනුවෙන් විවෘතව සිටින ඔවුහු දෙවියන් අහන්සේ ගේ හදිසි විශ්මයන්ට ද විවෘතව සිටිති."

"සැබෑ සේවකයකු තම ජීවිතයෙන්  හා කාලයෙන් ත්‍යාගශීලි විය යුතුය. ඔවුන් නිතරම සිතිය යුත්තේ 'දවසේ ඉතිරි කාලය මගේ නොවේ; එය ලැබී ඇත්තේ අන් අය වෙනුවෙන් දීම සඳහා ය' යනුවෙනි. දයාබර තේවාචාරිවරුනි, ඔබ නිතරම අන් අය වෙනුවෙන් සූදානම්ව සිටින්නේ නම්, එයින් ඔබට යමක් නොලැබෙනු ඇත. එහෙත් ඔබේ එම සේවාව ධර්මදානීයව ඵලබරිත වනු ඇත"

සුදොතුම් පියතුමා එසේ පැවසුවේ එම  'පුංචි ජුබිලියේ' දිව්‍ය පුජාවේ ධර්ම දේශනය කරමිනි.

තෙවාචාරීන් ගේ ජුබිලිය දයාවේ ශුද්ධ වසරේ තවත් සුවිශේෂී වැඩසටහනකි. ඊට සහභාගී වීම සඳහා ලොව පුරා සිටින තේවාචාරීන් හා ඔවුන් ගේ පවුල්වල සාමාජිකයන් දස දහස් සංඛ්‍යාත පිරිසක් වතිකාන චතුරශ්‍රයට පැමිණ සිටියහ. ශුද්ධ දොරටුවෙන් ඇතුළුවීම හා පාපොච්චාරණය ඇතුළු අංග ගණනාවකින් යුත් මෙම 'පුංචි  ජුබිලිය'  තුන් දින වැඩසටහනක් විය. එය පූර්ණත්වයට පත් කරන ලද්දේ සුදොතුම් පියතුමා සමග දිව්‍ය පුජාවෙනි.

  මෙම ධර්ම දේශනාවේ දී "ක්‍රිස්තු සේවක නායකත්ව" ජීවිතය තව දුරටත් විස්තර කල සුදොතුම් පියතුමා කියා සිටියේ "අපොස්තුලුවරයා" සහ "සේවකයා" යන වචන කිසිදාකත් වෙන් කල නොහැකි බවයි. "එය පදක්කමක දෙපැත්ත  වගෙයි: ජේසු සමිඳුන් ප්‍රකාශ කරන්නන් කැඳවනු ලැබ ඇත්තේ සේවය කිරීමටයි; එසේ ම සේවය කරන්නෝ ජේසු සමිඳුන් ප්‍රකාශ කරති. මෙය අපට ප්‍රථමයෙන් ම පෙන්වා දෙන ලද්දේ 'සේවය ලැබීමට නොව සේවය කිරීමට' අප අතරට පැමිණි ජේසු සමිඳුන් ම විසිනි."

"ජේසු සමිඳුන් ගේ ශ්‍රාවකයකුට සිය ස්වාමියාණන් පෙන්වන මාර්ගය හැර වෙනත් මාර්ගයක් ගත නොහැකියැ"යි සුදොතුම් පියතුමා අවධාරනය කළේය. "ජේසු සමිඳුන් අනුගාමී වීමට අපට අවශ්‍ය නම්, ප්‍රථමයෙන්ම අප උන්වහන්සේ අනුකරණය කරමින් අන් අයගේ සේවකයන් විය යුතු ය."

මෙදින සුබ අස්නෙන්  ප්‍රකාශිත වූ ලූක් සුවිශේෂයේ එන ශතාධිපතියා සිය සේවකයා සුව කරන ලෙස කල ඉල්ලීම ගැන විග්‍රහ කල සුදොතුම් පියතුමා කියා සිටියේ එහි එන සේවකයා  සේ සසුන් සේවාවේ යෙදී සිටින්නන් ද සේවය කල යුතු බවයි.

"අපට ප්‍රේම කරන දෙවියන් වහන්සේ අප සෑම කෙනෙකුටම ප්‍රිය කරන සේක. අප තොරාගෙන ඇති උන්වහන්සේ සේවය කිරීමට අප කැඳවන සේක." එහෙත් සේවය කිරීමට අප "සුවය" ලබා සිටිය යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

"සේවය කිරීමට අපට සුවපත් වූ හදවතක් තිබිය යුතු ය. දෙවියන් වහන්සේ විසින් සුව කරන ලද්දාවූ ද, සමාව යන්න අත්දැක ඇත්තා වූ ද දැඩි නොවූ හා නොවැසුනා  වූ ද හදවතක් තිබිය යුතු ය." නිරන්තරයෙන් මෙම වරප්‍රසාදය ඉල්ලා යදින්නයි සුදොතුම් පියතුමා තේවාචාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය