"වෙන රටක, වෙන ආගමක, වෙන භාෂාවක අය අපේ සතුරන් ලෙස සලකන්නේ නෑ" - ළමා කැළක් සුදොතුම් පියතුමාට කී දේ

"People of different countries, languages or religions are not our enemies": A group of children write to Pope Francis 


(2016 මැයි 29)
ඉකුත් දා සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ බලන්නට  එතුමන් ගේ ලබැඳි අමුත්තන් පිරිසක් පැමිණියහ. ඒ ලබැඳියෝ ළමයින් පිරිසකි.

මැයි 28 වැනි දා සෙනසුරාදා මෙසේ සුදොතුම් පියතුමා බලන්නට පැමිණියේ ඉතාලියේ දකුණු දිග කැලිබ්‍රියාවේ සිට පැමිණි ළමයින් 400 දෙනෙකු ගේ නඩයකි. ඔවුන් රෝමයට ආවේ  "Treno per Bambini” හෙවත් "ළමා දුම්රියෙනි". මේ නඩයේ විශේෂත්වයක් තිබුනේ ය. එනම් විවිධ  ආගම්, ජනවර්ග සහ සංස්කෘතීන් වලට අයත් ළමයින් ඊට ඇතුලත් ව සිටීමයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලියා ගත් කතාවකින් තොරව, ඉතා සුහදව, සරලව ඔවුනට කතා කල අතර, තමන් ගෙන් ප්‍රශ්න අසන්නට ද ඔවුන්ට අවස්තාවක් ලබා දී තිබිණි. එහෙත් සුපුරුදු ලෙස පුංචි අයට තේරෙන පුංචි වචන හා ඔවුන් ගේ හදට කා වදින ජීවිත අවස්ථා තෝරාගනිමින් සුදොතුම් පියතුමා ඔවුන්ට දුන් පණිවිඩය ළමයිනට සේ ම වැඩිහිටියනට ද ප්‍රබල පණිවිඩයකි. එය වර්ගවාදී හා අන්තවාදී මානසිකත්වයෙන් තවමත් පෙලෙන ශ්‍රී ලංකාව ට ද කදිම  පණිවිඩයකි. අපේ හෙට දවස වන දරුවනටත්, ඔවුන් ගේ හෙට දවස අද හදන වැඩිහිටියන්ටත් මෙනෙහි කිරීම සඳහා සුදොතුම් පියතුමා හා කලිබ්රියා දරුවන් අතර ඇති වූ ඒ සුන්දර කතා බහ මෙසේ ඉදිරිපත් කරමු.

අප්‍රිකා රටක සිට මධ්‍ය ධරණී මුහුද ඔස්සේ ඉතාලියට  පලා එමින් සිටියදි  මුහුදට වැටී මිය සරණාගත කණ්ඩායමක ගැහැණු ළමයකු පිලිබඳ සත්‍ය කතාව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම ළමයිනට කීවේ ය. එතුමා පැවසුවේ මෙම දරුවා තමන්ගේ හද බොහෝ සෙයින් සසල කල බවයි.

"අපි මේ පුංචි ගැහැණු ළමයට නමක් ගැන හිතමු. මොකක් ද එයාගේ නම? " එතුමා යෝජනා කළේය. "මම දන්නෙ නැහැ. නමක් නැති පුංචි ගැහැණු ළමයා. ඔබ එකිනෙකා එයාට ඔබ කැමති නම දෙන්න. ඔබේ හදවතින් එන නම. එයා දැන් ස්වර්ගයේ ඉන්නවා. අප දිහා බලාගෙන ඉන්නවා."

මෙම ගැහැණු ළමයා ගැන සිද්ධිය පාප් වහන්සේට පවසා තිබුනේ ඇය බේරා ගැනීමට දැඩි ප්‍රයත්නක් දැරූ ජීවිතාරක්ෂක සේවකයකු විසිනි. කෙතරම් උත්සාහයක් දැරුවත් ඔහුට මෙම ළමයා බේරා ගැනීමට නොහැකි විය. ඕ ප්‍රචන්ඩ මධ්‍යධරණී මුහුදේ ගිලී වෙන්ව ගියාය. ඔහුගේ අතට හසුවුනේ ඇයගේ ජීවිතාරක්ෂක ජැකට්ටුව පමණි.

"ඔහු ඒ ජැකට්ටුව මා වෙත රැගෙන ආවා." කහ පැහැති ජැකට්ටුව ළමයිනට පෙන්වමින් සුදොතුම් පියතුමා කීවේය. "මා වෙතට පැමිණි ඔහුට හොඳටම  ඇඬුනා. 'පියාණනි, මට එය කරන්න බැරි වුණා. මුහුදේ රළ පතර අතර ළමයෙක් ඉන්නවා මම දැක්කා. මම ඇයව බේරා ගන්නට  මට පුළුවන් හැම දෙයක් ම කළා. ඒත් මට ඇයව බේරාගන්න බැරිව ගියා. මේ ජීවිතාරක්ෂක ජැකට්ටුව පමණක් මට ඉතුරු කර   ඇය මුහුදේ ගිලී ගියා' කියා කඳුළු අතරින් ඔහු මට කීවා" යැයි සුදොතුම් පියතුමා කීවේය.

"මම මේ කතාව ඔබට කියන්නේ ඔබ ඒ ගැන දුක් විය යුතු නිසා නොවේ. මා මෙය ඔබට කියන්නේ  ඔබ එඩිතර නිසා; ඔබ ඇත්ත දන ගත යුතු නිසා. මේ ජනතාව අනතුරේ! බොහෝ පිරිමි ළමයින් , ගැහැණු ළමයින්, පුංචි දරුවන්, අම්මලා තාත්තලා - මේ අය හුඟක් අද අනතුරට පත්වෙලා.ඒ අය - ඒ සරණාගතයන් - අනතුරුදායක නැහැ.  ඒ අය අනතුරට ලක්වී සිටිනවා..." එතුමා අවධාරණය කලේ ය.



වාර්ෂිකව සිදුකෙරෙන මෙම ළමා දුම්රිය චාරිකාව සංවිධාන කරනු ලබන්නේ සංස්කෘතික කටයුතු පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාව විසිනි. මෙවර මෙම චාරිකාවේ තේමාව වූයේ "රළ පතරට හසුවූවෝ" (“Carried by waves”) යන්නයි. මෙහි අරමුණ වී තිබුනේ  බලාපොරොත්තුව හා රැකවරණ සොයා යුරෝපයට ඇදී එන සරණාගත ළමයින් දෙස අවධානය යොමු කිරීම බව එම මන්ත්‍රණ සභාවේ සභාපති අති උතුම් ගියන්ෆ්රැන්කෝ  රවාසි කාදිනල් හිමි කියා සිටියේය. එසේම තම නගර, පාසල් හා ගෙවල්වලට එම දරුවන් පිළිගත් යුරෝපීය දරුවන් කෙරෙහි අවධානය යොමු කිරීම ද මෙම අර්බුදයේ මානුෂවාදී කෝණය දෙස අවධානය යොමු කිරීමද සෙසු අරමුණු අතර විය. සුදොතුම් පියතුමා මුහුදේ ගිලී මියගිය දැරියගේ සිද්ධිය ගෙනහැර පෑවේ ද මෙම තේමාව උද්දීපනය කිරීමේ අරමුණිනි.

23 වන ජුවාම් සංගමය සහ  ජනවාර්ගික කොටස් අටක ළමයින් එක්සත් කොට රැකබලා ගන්නා පැලමෝවේ "ක්වත්‍රෝකැන්ති" (“Quattrocanti”) ළමා වාද්‍ය වෘන්දය ද ළමා දුම්රිය වැඩසටහනට සම්බන්ධ වී සිටියි. ග්‍රීසියේ ලෙස්බොස් දුපතේ සිටින සරණාගත දරුවනට යැවීම සඳහා එම පාසලේ ළමයින් විසින් එකතු කරන ලද මුදලක් හා එම ළමයින් පාප් වහන්සේට ලියූ ලියුමක් එහි විදුහල්පතිනිය විසින් මෙම අවස්ථාවට රැගෙනවිත් තිබිණ. ළමා ලෙන්ගතු කම උතුරා ගිය එම ලියුම කියවන ලද්දේ රවාසි කාදිනල් හිමිපාණන් විසිනි. එහි මෙසේ සඳහන්ව තිබිණි:

"අපේ රටට එන ඕනෑම කෙනෙකුව ආදරයෙන් පිළිගන්නා බවට අපි පොරොන්දු වෙනවා. හමේ පාට වෙනස් වූ හෝ  වෙනත් භාෂාවක් කතා කරන හෝ අපට වඩා වෙනස් ආගමක් අදහන හෝ අය භයානක සතුරෙකු ලෙස අපි කවදාවත් සලකන්නේ නැහැ."

'පාප් වහන්සේ' කවුද? - දැරියක් ඇසූ ප්‍රශ්නය 

සුදොතුම් පියතුමා ගෙන් ප්‍රශ්න අසන්නටද මෙහිදී ළමා ළපටින්ට අවස්ථාව ලබා දී තිබිණි.

"පාප් වහන්සේ ගේ ජීවිතයේ තේරුම කු මක් ද ?"  එක් දැරියක් ඇසුවා ය.

"එහි තේරුම මට කළ හැකි සෑම යහපත් දෙයක් ම කිරීම" ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා පිළිතුරු දෙමින් කියා සිටියේ ය. "මට දැනෙනවා ජේසු මා  කැඳවා තිබෙන්නේ මේ දේට කියා: ජේසු සමිඳුන්ට ඕනෑ වුණා මා කිතුනුවකු වීම. කිතුනුවකු කියන්නේ තමන්ට කල හැකි සෑම යහපත් දෙයක් ම කරන කෙනෙක්. ජේසු සමිඳුන්ට අවශ්‍ය වුනා මා පූජකතුමකු හා රදගුරු තුමකු වීම. පූජක තුමකු හා රදගුරු තුමකු තමන්ට කල හැකි සෑම යහපත් දෙයක් ම කළ යුතුයි. මට දැනෙනවා ජේසු මට කතා කර තිබෙන්නේ මේ දේට කියා. මම කරන්නෙ ඒ දේයි."

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය