"පූප වගේ අපිත් කැඩෙමු " දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍ය දින දේශනය

"Let yourselves be broken for others": Homily at the Corpus Christi feast 


(2016 මැයි 27)
 සමිඳුන් ගේ අති පරිශුද්ධ වූ ශ්‍රී ශරීරයේ සහ අති අමිල වූ ශ්‍රී රුධිරයේ මංගල්‍ය දින  (දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍ය)  සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙම උතුම් දේව ප්‍රසාද නිධානය ගැන සොඳුරු භාවනාවක් කළහ.

උන්වහන්සේ මෙදින කතා කලේ මෙම ප්‍රසාද නිධානය ජීවත් කිරීමේ ආධ්‍යාත්මිකත්වය පිළිබඳවයි. දිව්‍ය සත්ප්‍රසාදය තුළ ජේසු සමිඳුන් අප වෙනුවෙන් කැඩෙන්නා සේ අප ද අන් අය  වෙනුවෙන් කැඩිය යුතු බව එතුමා පෙන්වා දුන්නේ ය. ශු. ජුවාම් තුමා ගේ සුබ අස්නේ එන පූප වැඩිකිරීමේ ප්‍රාතිහාර්යයේ බයිබලීය සංකේත කිතුනු ජීවිතයට කතා කරන ආකාරය එතුමා විග්‍රහ කළේය. කන්නට යමක් සොයා ගැනීම සඳහා කුසගින්නේ සිටින ජනතාව ඔහේ නගරයට යැවීම ජේසු සමිඳුන් ගේ අභිමතය නොවේ. ඔවුනට "කන්නට යමක්" සොයා දීම අපගේ වගකීමයි. එහෙත් විශාල ජනකායකට කන්නට දෙන්නට තරම් ආහාර අප සතුව නැත. සමිඳුන් අපෙන් අසන්නේ "ඔබ ළඟ තිබෙන්නේ මොනවා ද?" කියා ය. වෙන වචන වලින් කියන්නේ නම් උන්වහන්සේ අපෙන් ඉල්ලන්නේ අප සතුව තිබෙන "සුළු  දේ" (සුබ අස්නේ එන ලෙස රොටී පහ සහ මසුන් තුන් දෙනා) උන්වහන්සේට දෙන ලෙසය. අපි අපගේ "දිළිඳු" දෑතින් උන්වහන්සේට දෙන  "සුළු දේ" උන්වහන්සේ ආශීර්වාද කර "කුසගින්නෙන් සිටින ජනතාවට" දෙන ලෙස යළිත් අපගේ "දිළිඳු දෑතට" දෙයි. පූප වැඩිකිරීමේ ප්‍රාතිහාර්යය සිදුවන්නේ එලෙසය

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම සොඳුරු ආධ්‍යාත්මික මෙනෙහිකිරීම කලේ මැයි  26 වැනි  බ්‍රහස්පතින්දා රෝමයේ පැවති දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍ය දිව්‍ය පූජාවේ ධර්ම දේශනාව කරමිනි.

සාම්ප්‍රදායික ලෙස දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍ය දිව්‍ය පූජාව පැවැත්වුණේ රෝමයේ සාන්ත ජෝන් ලැටෙරන් අග්‍ර බැසිලිකා දෙව් මැඳුරේ දිය. රෝම රදගුරු පදවියේ ආසන දෙව් මැඳුර මෙම අග්‍ර බැසිලිකාවයි. එබැවින් එය නිල වශයෙන් රෝමයේ රදගුරු තුමන් වන පාප් වහන්සේ ගේ දෙව් මැදුරයි.

"ජේසු සමිඳුන් කඩනු ලැබුවා. උන්වහන්සේ අප වෙනුවෙන් කඩනු ලැබුවා. එසේම අපටත් අන් අය  වෙනුවෙන් අපවම දානය කරන ලෙස , අන් අය වෙනුවෙන් අපවම 'කඩා ගන්නා ලෙස' උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටිනවා," සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

අද ලෝකය තුළ බොහෝ දෙනෙක් කැඩෙන ආකාරය සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

"එදිනෙදා  කෑම වේලට තම ගෙවල කෑම මේසයේ පාන් කපා  තබන (බත් පතක් තබන) අපේ දෙමාපියෝ බොහෝ දෙනෙක් කරන්නේ තම දරුවන් ගේ වර්ධනය වෙනුවෙන්, දරුවන් ගේ යහපත් වර්ධනය වෙනුවෙන්, තම හදවත කඩා දීමයි. බොහෝ කිතුනුවන් රටේ යහපත් පුරවැසියන් ලෙස තම සහෝදර රටවැසියන් ගේ මානව ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා, විශේෂයෙන් ම අන්ත දුප්පත් වූ, කොන් කරන ලද හා අසාධාරණයට හා වෙනස්කම් කිරීමට ලක්වූ අයගේ ගරුත්වය රැකීම සඳහා සිය ජීවිත කඩාගනිති."

" ඔවුන්ට මෙලෙස කැඩෙන්නට ශක්තිය ලැබෙන්නේ කොහෙන් ද? එම ශක්තිය ඇත්තේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තුළ ය;  උත්ථාන  වූ සමිඳුන් ගේ ප්‍රේමය තුළ ය. උන්වහන්සේ අදත් අප වෙනුවෙන් පූප කඩමින්, 'මා සිහිකිරීම සඳහා මෙය කරන්නැ'යි පුණ පුණා පවසන සේක"

දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍ය දින දිව්‍ය පූජාවේ දේව ප්‍රකාශනයේ ශු. පාවුළු තුමන් ගේ හසුනේ එන ජේසු සමිඳුන් මෙම උතුම් ප්‍රසාද නිධානය ස්ථාපනය කරමින් කී වචන අන්තිම රාත්‍රී භෝජනය පිලිබඳ පැරණි ම සාක්ෂිය බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. මෙම වචන වල අරුත එතුමා තවදුරටත් පැහැදිලි කළේය:

"තමන් ගේ ම පාස්කුවේ සමරුව  ස්ථාපිත කරමින් තමන් කල ක්‍රියාව පුණ පුනා කරන්නැයි ජේසු සමිඳාණෝ අපට උපදෙස් දෙන සේක. එසේ කරමින් උන්වහන්සේ තමන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් අපට දානය කරන සේක. මෙම ක්‍රියාව අද අප වෙත සමීප වෙයි: එනම් දිව්‍ය සත්ප්‍රසාදයේ මෙම 'කිරීමෙහි' (ක්‍රියා පදය)  සෑම විටම 'උක්තය' වන්නේ ජේසු සමිඳාණෝ ය. එසේ නමුත් උන්වහන්සේ එය සැබැවින්  'සිදු කරන්නේ' ශුද්ධාත්මයානන් විසින් ආලේප කරන ලද අපගේ දිළිඳු අත් මගිනි.

ශු. ජුවාම් සුබ අස්නේ එන  පූප වැඩිකිරීමේ ප්‍රාතිහාර්යය ගැන කතා  කල සුදොතුම් පියතුමා, රොටී පහක් සහ මසුන් තුන් දෙනෙකු ගෙන් ජේසු සමිඳුන් පන්දහසක ජනකායකට කන්නට දීමේ සිද්ධියේ සංකේත පැහැදිලි කලේය.

"'ඔබ ඔවුන්ට කන්නට යමක් දෙන්නැයි' ජේසු සමිඳුන් මෙහිදී සිය අපොස්තුලුවරුනට උපදෙස් දෙනවා. මෙහි අරුත නම්, කුසගින්නෙන් පෙලෙන සමස්ත ජනතාවට ප්‍රමාණවත් තරම් ආහාර ලබා දෙමින්, රොටී ආශීර්වාද කර කඩා දෙන්නේ තමන් වන අතර, ඒ සඳහා පූප සහ මසුන් පිරිනමන්නේ ශ්‍රාවකයන් බව ය. ජේසු සමිඳුන්ට එය මෙසේ අවශ්‍ය විය: එනම්, එම ජනතාව පිටත් කර හරින්නේ නැතිව, ශ්‍රාවකයන් තමන් සතු සුළු දේ එතුමා ගේ අතට දීමයි." මේ අනුව ශ්‍රාවකයෝ තමන් සතු සුළු දේ සිය දිළිඳු අත්වලින් උන්වහන්සේ අත තබති.

"ඉන්  අනතුරුව ජේසු සමිඳාණෝ සිය 'වන්දනීය වුද පරිශුද්ධ වූ ද' අත්වලින් රොටී කඩා ඒවා ශ්‍රාවකයන්  ගේ 'දිළිඳු' අත්වල තබති.ශ්‍රාවකයෝ  ඒවා ජනතාවට බෙදා දෙති. කුසගින්නෙන් සිටි ජනතාව අතර රොටී බෙදා දෙද්දී ශ්‍රාවකයෝ ජේසු සමිඳුන් ගේ ක්‍රියාවේ, එනම් ජනතාවට කෑමට යමක් දීමේ  පංගුකාරයන් බවට පත්වෙති."

"පැහැදිලිවම මෙම ප්‍රාතිහාර්යයේ අරමුණ වුයේ එක් දිනෙක කුසගින්න නිවීම නොවේ. එහෙත් එයින් සංකේතවත් වන්නේ සමස්ත මනුෂ්‍ය වර්ගයා ගේ ම ගැලවීම සඳහා ක්‍රිස්තුන් වහන්සේ ට කරන්නට අවශ්‍යව තිබූ දෙයි: එනම්, තමන් ගේ ම ශරීරය හා රුධිරය දානය කිරීමයි. එහෙත් එයඉටුවීම සඳහා සෑම විටම මෙම පුංචි ක්‍රියා දෙකම අවශ්‍ය ය: එනම් අප සතු පූප සහ මසුන් ස්වල්පය ජේසු සමිඳුන්ට පිරිනැමීම සහ උන්වහන්සේගේ අතින් ආශීර්වාද කර කඩා දෙන එම පූප බාරගෙන ජනතාවට බෙදා දීමයි."

පූප මෙන් අපත් කැඩීම

"මා සිහිකිරීම පිණිස මෙය කරන්න" යන ජේසු සමිඳු ගේ උපදේශයේ පූප කැඩීම පිලිබඳ තවත් අරුතක් ඇති බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. සභාවේ මුල් සමයේ දී "පුප කැඩීම" ක්‍රිස්තුන් වහන්සේ සහ  කිතුවන් හඳුනා ගැනීමේ සංකේතය වූ ආකාරය එතුමා පැහැදිලි කළේය. "කිතුවන් එකතු වූ විට 'පූප කැඩීමට' සහභාගී වුනා. මේ අනුව සභාවේ උපතේ සිට ම පූප කැඩීම සභාවේ කේන්ද්‍රයත් ජීවිත ශෛලියත් බවට පත් වී තිබුණා."

මෙයින් ශක්තියත් ජවයත් ආදර්ශයත් ගත්  මුල් කිතුනුවන්, එනම් අප දන්නා සාන්තුවරුන් හා නමින් නොදන්නා ලක්ෂ සංඛ්‍යාත සාන්තුවරුන් සිය සහෝදරයන්ට 'යමක් කන්නට දීම' සඳහා තමන් ම කඩා ගත්  බව සුදොතුම් පියතුමා සිහිපත් කළේය.

"මේ නිසා සත්ප්‍රසාද මංගල්‍යය අවසානයේ පවත්වන දිව්‍ය සත්ප්‍රසාදීය පෙරහැර ජේසු සමිඳුන් ගේ උපදේශයට ප්‍රතිචාරයක් වේවා: එය උන්වහන්සේ සිහිපත් කිරීමේ ක්‍රියාවක් වේවා. අද ජීවත් වන ජනතාවට ආහාර දීමට කටයුතු කිරීමේ ක්‍රියාවක් වේවා; අපගේ ජීවිතත්  අපගේ විශ්වාසයත් ක්‍රිස්තුන් වහන්සේ ගේ ප්‍රේමයේ සංකේතයක් ලෙස මේ නගරයට හා සමස්ත ලෝකයට ම කඩා පෙන්වන ක්‍රියාවක් වේවා" යි පතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය දේශනය නිමා කළේය.

 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය