"බල තන්හාව, ධන තණ්හාව මීසම් හා පදවි විනාශ කරයි. එය දේව රාජ්‍යයේ සතුරෙක්" සේවාවේ නායකත්වය ගැන සුදොතුම් පියතුමා යළි මතක් කරයි

"Money and power: enemy of God; They destroy the Church" - Santa Martha Homily


(2016 මැයි 18)
"ජේසු සමිඳුන් ගේ මග සේවයේ මගයි. නායකත්වය සේවයේ නායකත්වය යි. ලෞකිතත්වයත්  උන්නති කාමයත් සමාජය සේ ම සභාව ද විනාශ කරයි. ඉහළට ළඟාවීම සඳහා අනෙකා විනාශ කිරීමේ දුර්පරික්ෂාව ගැනත් පරෙස්සම් වන්න. මුදල්  සහ බලය ඕනෑම ආයතනයක් මෙන් ම අපේ මීසම් ද රදගුරු පදවි ද විනාශ කිරීමට හේතු වෙයි."

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙම සිතිවිල්ල ඉදිරිපත් කලේ අඟහරුවාදා (මැයි 17 ) එතුමා ජීවත් වන සාන්තා මාර්තා තානායමේ පුංචි පල්ලියේ උදාසන දිව්‍ය පූජාවේ භාවනාව කරමිනි. එතුමා සිය භාවනාවට පාදක කර ගත්තේ එදිනට නියමිත මාර්කු තුමාගේ සුබ අස්නයි. තමන් අතරේ  ශ්‍රේෂ්ඨයා කවුරුන් ද යන්න ගැන ජේසු සමිඳුන් ගේ ශ්‍රාවකයන් අතර විවාදයක් ඇතිවූ අවස්ථාව මෙම සුබ අස්නට ඇතුලත් ව තිබිණි.  "ඒ අවස්ථාවේ ජේසු සමිඳුන් ඔවුන්ට කියා දෙමින් සිටියේ තමන් වහන්සේ ගේ දුක් විඳීම සහ මරණය පිළිබඳවයි.  උන්වහන්සේ සිය දුක් විඳීම ගැන කතා කරන අතර ශ්‍රාවකයන් ගේ කතා බහට මාතෘකා වී තිබුනේ තමන් අතරේ ශ්‍රේෂ්ඨයා  වන්නේ කවුරුන් ද යන්න" බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

එහෙත් මෙම ශ්‍රේෂ්ඨත්වයේ ප්‍රශ්නයට ජේසු සමිඳුන් ඔවුන්ට ලබා දුන්නේ අභියෝගාත්මක වූත් සියල්ල උඩු යටිකුරු කරන්නාවූත් පිළිතුරක් බව එතුමා පැවසුවේය. එනම් "ඔබ අතරේ ප්‍රථමයා වන්නට කැමති තැනැත්තා අවසානයා වෙත්වා. නායකයා වීමට කැමති තැනැත්තේ සියල්ලන් ගේ සේවකයා වෙත්වා" යන්නයි.

"ජේසු සමිඳුන් අපට පෙන්වන මෙම මාර්ගයේ මාර්ගෝපදේශක මූලධර්මය වන්නේ සේවාවයි" යයි සුදොතුම් පියතුමා පැහැදිලි කළේය. "ශ්‍රේෂ්ඨතම තැනැත්තා වන්නේ සෙසු අයට සේවය කරන පුද්ගලයායි; පුරසාරම් දොඩන තැනැත්තා හෝ බලය, මුදල්, අහංකාරය උඩඟුකම පසුපස  හඹා යන්නා නොවේ. එතුමන්  ගේ ශ්‍රාවකයන් අතරත් විශේෂයෙන් ජේම්ස් සහ ජුවාම් යන අපොස්තුළුවරුන්ගේ අම්මා තුළත් ඇති වූ ප්‍රශ්නය මෙයයි. එය, අපගේ සභාව තුළත්, ජන පවුල් තුළත් දිනපතාම පාහේ සිදුවන දෙයකි. 'අප අතරේ ශ්‍රේෂ්ඨයා විය යුත්තේ කවුද? 'කවුද ප්‍රධානියා වන්නේ? උන්නතිකාමය. සමාජයේ ඉහළ නගින්නකු වීමේ තෘෂ්ණාව සෑම විටම තිබෙනවා. බලය ලබා ගැනීමේ තෘෂ්ණාව සෑම තැනකම තිබෙනවා. අපගේ සාමාජය තුළ, අපගේ මීසම් හා පදවි තුළ එය තිබෙනවා."

බලය පිළිබඳවත් ප්‍රධානියා වීම පිළිබඳවත් ලෝකය කතා කරන විට "සේවය" තවමත් සභාවේ පණිවිඩය හා ජීවිතය වී තිබීම ගැන  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විස්තර කලේ ය. "තමන් අප අතරට ආවේ 'සේවය ලැබීමට නොව සේවය කිරීමට' බව ස්වාමීන් වහන්සේ අපට පෙන්වා දෙනවා. අපගේ ක්‍රමය ඊට වඩා වෙනස් වන්නේ කෙසේ ද? උඩඟුව ..බලය...මා මෙම බලය ලබා ගන්නේ කවදා ද, කෙසේ ද,  යන තෘෂ්ණාව..එම බලය ලබා ගැනීමට මා අනුගමනය කරන්නේ කවර මාර්ගයක් ද යන ප්‍රශ්නය. එය අත්කර ගැනීම සඳහා ඕපාදුප කීම , අන් අය ගැන  වැරැදි කතා කිරීම, ඊර්ෂ්‍යාව සහ කුඩුකේඩු  කම වැනි මාර්ග භාවිත කිරීම. අප සියල්ලන් මෙය දන්නවා. මෙය සභාවේ සියලුම ආයතනවල සිදුවෙනවා. අපගේ මීසම්, ආයතන, පාසල් හා විද්‍යායතන, වෙනත් ආයතන.. අපගේ පදවිවල වැනි සෑම තැනෙකම මෙය සිදුවෙනවා. ලෞකිකත්වය සඳහා තෘෂ්ණාව, බලය, ධනය, උඩඟුව, අහංකාරය වෙනුවෙන් වූ තෘෂ්ණාව අප තුළ තිබෙනවා."

සුදොතුම් පියතුමා අවධාරණය කලේ උඩඟුව හා බල, මුදල් තෘෂ්ණාව දේව රාජ්‍යයේ සතුරා බවයි. එය සභා භේද කරන බව එතුමා කියා සිටියේ ය.

"අප සියලු දෙනාම මෙම දුර්පරික්ෂාවලට ලක්වනවා. ඉහල නැගීම සඳහා තවත් කෙනෙකුව විනාශ කිරීමේ දුර්පරීක්ෂාවට අප හැම කෙනෙකුම ලක් වෙනවා. මෙය ලෞකික පරීක්ෂාවක්. එහෙත් මේ මගින් සභාව භේද කොට විනාශ කරනු ලබනවා. එදා සිදු වූ මෙම සිද්ධියේ ජවනිකාව මඳක් සිතේ මවා ගෙන බලන්න. ජේසු සමිඳුන් තමාගේ මාර්ගය ගැන, කුරුසියේ මග ගැන, සේවයේ මග ගැන කතා කරනවා. ඒ අතර ශ්‍රාවකයන් තමන් අතර කතා කර ගන්නවා, 'එතුමන්ගෙන් මේ ගැන ප්‍රශ්න නොකිරීම හොඳයි. අපි ඉදිරියට යමු' කියා. ඒ අනුව තමන් අතර ශ්‍රේෂ්ඨයා කවුදැයි තමන් අතර විවාද කර ගන්නවා. මෙය අපගේ සභාව තුළ ඇති වූ අවස්ථා ගණන ගැන අපි මෙනෙහි කරමු. පෞද්ගලිකව අප මෙය කල අවස්ථා ගැන සිතමු. මේ නිසා අපට මාර්ගය පෙන්වා දෙන්නැයි අපි සමිඳුන්ගෙන් ඉල්ලමු. ලෝකයට ඇති ඇල්ම, නොහොත් ලෞකිකත්වය , දෙවියන් වහන්සේ ගේ සතුරකු බව තේරුම් ගැනීමට අපට මග පෙන්වන්නයි අපි උන්වහන්සේගෙන් ඉල්ලා සිටිමු."



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය