"ජේසු සමිඳුන් ගේ කුරුසියේ පූජාවෙන් ගලා හැලෙන දේව වරප්‍රසාදයේ අපරිමිත දිය දහර: ශුද්ධාත්මයාණෝ " - පෙන්තකොස්ත දින ධර්ම දේශනාව

"Holy Spirit: The vast torrent of grace poured out on humanity from Jesus’ death on the cross" 


(2016 මැයි 16)
"පාපය දෙවියන් වහන්සේගෙන් අප වෙන්කරන නමුදු අප අනාථ දරුවන් වී නොමැත. ජේසු සමිඳාණන්ටත් ශුද්ධාත්මයාණන් වහන්සේටත් ස්තුති ප්‍රශංසා වන්නට අපට යළිත් සමිඳුන් වෙත හැරී ගොස් සමගි සන්ධානය වී දේව දරුවන් ලෙස ජීවත් විය හැකිය. ශුද්ධාත්මයාණන් වහන්සේ ගේ තිළිණයෙන් මුදුන් පත්වූ ජේසු සමිඳුන් ගේ මෙහෙවරේ කේන්ද්‍රීය අරමුණ වූයේ, පාපය නිසා බිඳ වැටි තිබූ පියාණන් හා අප අතර සම්බන්ධය නව ජීවනයට පත් කිරීමයි; අනාථ භාවයේ සිටි අප යලිත් දෙවියන් වහන්ස් ගේ දූවරුන් හා පුතුන් බවට පත් කිරීමයි. මුලින් ම අප මවන ලද්දේ දේව දරුවන් වීමටයි. අපගේ DNA අනුවේ, ජානයේ ලියා තිබෙන්නේ එයයි. මේ අරමුණින් පියානන් වහන්සේ විසින් ම අපට දෙන ලද ආත්මයාණෝ අපව යළිත් පියාණන් වහන්සේ වෙතට රැගෙන යන සේක."

පෙන්තකොස්ත මංගල්‍යය නොහොත් ශුද්ධාත්ම මංගල්‍යය පැවැත්වුණු ඉකුත් ඉරිදා (2016 මැයි 15) දිව්‍ය පුජාවේ ධර්ම දේශනය පවත්වමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ය. මෙම මංගල්‍ය දිව්‍ය පුජාවට පැමිණි බැතිමතුන් ගෙන් සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුර පිරී තිබිණි. ශුද්ධාත්ම මංගල්‍යය සැලකෙන්නේ සභාවේ උපන් දිනය ලෙසයි. සේනාකුළු ශාලාවේ යාච්ඥාවෙන්  සිටි දේවමාතාවන් වන මරිය වහන්සේ හා  අපොස්තුළුවරුන් මත ශුද්ධාත්මයානන් වැඩම කිරීමත් උන්වහන්සේ ගේ බලයෙන් පූර්ණ වූ අපෝස්තුළුවරුන් ලොව සිව් දෙස ගොස් සුබ අස්න දේශනා කිරීම පටන් ගැනීමත් මෙදින සැමරේ.

"සමස්ත ගැලවීමේ ක්‍රියාවලියම ගත් කල එය 'යළි ජනනය කිරීමක්' ('regeneration') ලෙස හඳුනා ගත හැකිය. මෙම ක්‍රියාවලියේ දී සිදුවූයේ පාපය නිසා අප ඇදවැටී සිටි තත්වයෙන්, එනම් අනාථ භාවයෙන්, දෙවියන් වහන්සේ අප ගලවා ගැනීමයි," යි සුදොතුම් පියතුමා පැහැදිලි කළේය.

"අනාථ දරුවන් වීමේ විවිධාකාර සලකුණු අදත් අපි දකිමු. සුවිසාල ජනතාවක් මැද සිටියත් අපට දැනෙන ඇතුළාන්ත තනිකම ඊට නිදසුනකි. මෙම තනිකම ඇතැම් විට අප තුළ අනුභූතික දොම්නසක් (existential sadness) බවට පත් වේ. ඇතැම් විට, දෙවියන් වහන්සේ ගේ වැඩසිටීම ගැන ආශාවක් තිබුනත්, උන්වහන්සේගෙන් නිදහස් වීමට අප ගන්නා උත්සාහයන් තුළ ද අප අත්දකින්නේ මෙම අනාතභාවයේ සලකුණු ය. යාච්ඥා කළ නොහැකි තත්වයට අප පමුණුවන ආධ්‍යාත්මික නොදැනුවත් භාවය තුළ ඇත්තේ ද එම සලකුණුය. මිහි මත ආරම්භ වී මරණයෙන් පසු පූර්ණත්වයට පත්වන සදාතනික ජීවිතය පිලිබඳ සත්‍යය හා යථාර්ථය ග්‍රහණය කරගත නොහැක්කේ ද ඒ නිසා ය.අප එකම පියාණන් ගේ දරුවන් බැවින් සෙසු අය මගේ සහෝදර සහෝදරියන්  ලෙස පිළිගැනීමට ඇති දුෂ්කරතාව ද අනාථ භාවයේ සලකුණක්'" යැයි එතුමා පෙන්වා දුන්නේ ය.

සුදොතුම් පියතුමා කියා සිටියේ දේව දරුකම අපගේ "ආදිකල්පික කැඳවීම" (Primordial Vacation) බවයි. ඉහත පෙන්වා දුන් අනාථ බවේ සලකුණු එම කැඳවීමට පටහැනිය. මෙම "දේව  දරු" සබැඳියාව පාපය විසින් විනාශ කරන ලද අන්දම හා දේව පුත්‍රයාණන් ගේ අනුපමේය පූජාව විසින් එය යළි ප්‍රතිෂ්ඨාපනය කරන ලද අන්දම එතුමා පැහැදිලි කලේ ය.

"ප්‍රේමයේ අපරිමිත තිළිණය වන කුරුසිය මත දිවි පිදූ ජේසු සමිඳුන් විසින් දේව වරප්‍රසාදයේ මහ දිය දහරක් සේ ශුද්ධාත්මයාණෝ  මානව වර්ගයා වෙත වත්කරන ලද්දාහ.  මෙම යළි ජනිතවීමේ අබිරහස තුළ විශ්වාසයෙන් නිමග්න වන අය දාරක ජීවිතයේ පූර්ණත්වයට යළි උපත ලබති."
ශුද්ධාත්ම මංගල දින දිව්‍ය  පූජාව අවසානයේ සාන්ත පීතර බැසිලිකාවේ ශිඛර ගෝලාර්ධයේ (dome) සිට රෝස පෙති වැස්සක් වස්සනු ලැබිණ. මෙම රතු රෝස පෙති සංකේතවත් කලේ ගිනි දිව් ආකාරයෙන් වැඩිය ශුද්ධාත්මයානන් වහන්සේයි.  


සනාථ බවේ සහතිකය - මරියාව

"මම ඔබ අනාථ නොකරමි" යි ජේසු සමිඳුන් අපොස්තුලුවරුනට පොරොන්දු වූ බව ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා සිහිපත් කලේය. "පෙන්තකොස්ත දිනයේ මෙම පොරොන්දුව අපට මතක් කර දෙන්නේ මරිය වහන්සේ ගේ මාතෘක වැඩසිටීම පිළිබඳවයි. ශුද්ධාත්මයාණන් වහන්සේ වැඩම කළ අවස්ථාවේ මරිය මව අපොස්තුළුවරුන් සමග සිටියාය. ජේසු සමිඳුන් ගේ මව වන මරිය තුමිය නිරන්තරයෙන් කිතුනු ජන පවුල සමග යාච්ඥා කරමින් සිටින්නී ය. එතුමිය පුත්‍රයාණන් ගේ ජීවමාන ස්මෘතියයි; එතුමිය ශුද්ධාත්මයාණන්  ගේ ජීවමාන යැදුම යි."

"මරිය වහන්සේ සභාවේ අම්මා යි" යැයි කී සුදොතුම් පියතුමා , ශුද්ධාත්මයාණන් ගේ අවශ්‍යතාවයෙන් සිටින සියලුම කිතුනුවන්, කිතුනු පවුල් හා ජන පවුල් සියල්ල එතුමිය ගේ මාතෘක මධ්‍යස්ථභාවයට භාර කලේය.





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය