ජෝර්දානයේ ඉරාක සරණාගතයන් සඳහා රැකියා ව්‍යාපෘතියක් ඇරැඹීමට වතිකානයෙන් අරමුදලක්

Vatican funds job-creation project for refugees in Jordan

ජෝර්දානයේ කරිටාස් ආයතනය ඉරාක සරණාගතයන් පිළිගත් අවස්ථාවක් 
(2016 මැයි 12)
ජෝර්දානයේ රැඳී සිටින ඉරාක සරණාගතයනට රැකියා උත්පාදනය කිරීම සඳහා අරමුදලක් සැපයීමට වතිකානය ඉදිරිපත් වෙයි. ඉරාකයේ සහ සිරියාවේ පවතින යුද්ධ සහ ප්‍රචණ්ඩ වාතාවරණය හේතුවෙන් එම රටවලින් පලා ආ 15 ලක්ෂයක පමණ සරණාගතයන් පිරිසක් ජෝර්දානයේ ජීවත් වෙති. ඔවුන් බොහෝ අසහනයෙන් සිටින අතර ඔවුන්ට රැකියා සැපයීම ජෝර්දානයට මහත් ගැටලුවක්ව පවතියි.

වතිකානය මේ සඳහා යොදා ගන්නේ 2015 මිලාන් නුවර පැවැත්වුණු ලෝක සල්පිලේ වතිකාන කුටියට ජනතාවගෙන් ලැබුණු ඩොලර් 150,000ක මුදල් ආධාර ප්‍රමාණයයි. සුදොතුම් පියතුමා ගේ නිල පුණ්‍ය ආයතනය ලෙස සැලකෙන කරිටාස් ආයතනයේ ජෝර්දාන් ශාඛාව මගින් මෙම අරමුදල ජෝර්දානයට යැවීමට පියවර ගෙන තිබේ.

වැඩපිළිවෙල  මැයි  12 වන දින, බ්‍රහස්පතින්දා  ආරම්භ වීමට නියමිතයි. අරමුදල බෙදී යන ආකාරය "කොර් ඌනුම් ' ශුද්ධාසන මන්ත්‍රණ සභාව නිකුත් කල නිවේදනයක විස්තර කර තිබේ.

ඒ අනුව ඉරාක සරණාගතයන් 10 දෙනෙකුට එළවලු වගාකිරීම, තෙල් නිෂ්පානය හා වෙළෙඳාම සඳහා පුර්ණකාලීන රැකියා ලැබේ. තම පවුල්වල අවශ්‍යතා ඉටු කරගන්නා අතර ක්‍රමයෙන් තම උත්සාහයෙන් නැගී සිටීමට මෙමගින් ශක්තිය ලැබෙන බව එම ආයතනය කියයි තවත් සරණාගතයන් 200 දෙනෙකුට කෘෂිකර්මාන්ත, වඩු කාර්මික හා ආහාර කර්මාන්තය යන කර්මාන්ත පිලිබඳ පුහුණුවක් ලබා දීමට සැලසුම් කර තිබේ. තවත් 500 දෙනෙකුට කාලීන රැකියාවල නියුක්ත වීමට ඉඩ ලැබේ.

මේ වන විට ඉරාක සරණාගතයන් 130,000ක් පමණ ජෝර්දානයේ ජීවත් වන බව 'කෝර් ඌනුම්' ශුද්ධාසන මන්ත්‍රණ සභාව කියයි. මේ අතරින් බහුතරයක් ජෝර්දානයට පලා ආවේ ඇමෙරිකාව ඉරාකයේ සදාම් හුසේන් පාලනය බිඳ දැමීමේ ආක්‍රමණය ක්‍රියාත්මක කල 2003 වසරේ දී ය. මීට අමතරව 13 ලක්ෂයක් පමණ වන සිරියානු සරණාගතයන් පිරිසක් ද  පැමිණීම නිසා ජෝර්දානයේ රැකියා සොයා ගැනීම අපහසු වී තිබේ. රැකියා සොයා ඇවිදින බොහෝ දෙනෙකු ඇතැම් විට කොන්ත්‍රාතුවකින් තොරව ද රැකියා ලබා ගැනීමට පෙළඹී සිටින බව ජෝර්දාන කරිටාස් ආයතනයේ අධ්‍යක්ෂ වයෙල් සුලෙයිමන් මහතා කියයි.

වතිකාන අරමුදලින් ඇරඹෙන රැකියා ව්‍යාපෘතිය අම්මාන් නුවර සාමයේ අප ස්වාමිදූ කරිටාස් කේන්ද්‍රයේ සිට ක්‍රියාත්මක වේ. වතිකානයේ මුලික අරමුදලින් ඇරඹෙන මෙම ව්‍යාපෘතියෙන් නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවා මගින් උපයා ගනු ලබන ආදායම රැකියා ලාභීන් ගේ වේතන සඳහා සේ ම ව්‍යාපෘතියේ ඉදිරි  වියදම් සඳහා ද ප්‍රමාණවත් වනු ඇතැයි කරිටාස් ආයතනය විශ්වාස කරයි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය