"අපේ යොවුන් දරුවන් අසහනයෙන්; ඔවුන් දිරිගන්වන්න අපේ රටට ඇවිත් යන්න" - කැනඩාවේ ඇල්බටා රතු ඉන්දියන්වරු පාප් වහන්සේගෙන් ඉල්ලති

Holy Father handed hundreds of letters from Canada's Alberta First Nations   

 

(2016 මැයි 1)
කැනඩාවේ රතු ඉන්දියානු නියෝජිත කණ්ඩායමක් ඉකුත් බදාදා (2016 අප්‍රේල් 27) වතිකානයේදී සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මුණගැසුණහ. එදින පැවැත්වුණු පාප් වහන්සේ ගේ පොදු හමුවට පසුව ඔවුනට එතුමන් මුහුණට මුහුණ හමුවීමට අවස්ථාව ලැබී තිබිණ.

ඔවුන් වතිකානයට පැමිණ සිටියේ ලියුම් මල්ලක් සහ හද කකියවන වේදනාවක් සමගය.

(කැනඩාවේ 'රතු ඉන්දියානුවන්' දැන් හඳුන්වනු ලබන්නේ 'ප්‍රථම ජාතීන්' (First Nations) ලෙසයි.  කැනඩාවේ ආදීවාසී  ජනකොටස්  කිහිපයක් සිටිති. 'රතු ඉන්දියානුවන්' යැයි තමන් වර්ග කිරීම ගැන ඔවුන් කිසිවෙකුත් කැමැති නැත. යුරෝපීයයන් විසින් තමන් එලෙස හඳුන්වන ලද  නමුත් එම නම තමන්ට නොගැලපෙන බව ඔවුහු පෙන්වා දෙති. යුරෝපීයයන් කැනඩාවට  පැමිණීමට බොහෝ කාලයකට පෙර සිටම එරට ජීවත් වූ ජනතාව ඔවුන්  නිසා "ප්‍රථම ජාතීන්" ලෙස දැන් ඔවුහු හැඳින්වෙති.)

ඉතින්, මෙම ප්‍රථම ජාතීන් (රතු ඉන්දියානුවන්) වතිකානයට රැගෙන ආ හද කකියන වේදනාව නම් තම යොවුන්  දරුවන්  තුළ කලක සිට පවතින අසහනය හා අපේක්ෂාභංග මානසිකත්වයයි. මේ නිසා ප්‍රථම ජාතීන් ගේ ඇතැම් ජනාවාසවල යෞවන යෞවනියන් සිය දිවි හානි කර ගැනීමේ ප්‍රවනතාවක් හටගෙන තිබේ. මාර්තු මාසයේ පමණක් මෙලෙස සිය දිවි හානි කරගත් සංඛ්‍යාව 28 දෙනෙකි. මෙම වේදනාව සුදොතුම් පියතුමා සමග  කියා එතුමාගෙන් සැනැසිලි වදනක් අසන්නට ඔවුන්ට අවශ්‍යව තිබිණ. ඔවුන් රැගෙන ආ ලියුම් මල්ලේ වූයේ ප්‍රථම ජාතීන් එතුමාට ලියූ සියක් සංඛ්‍යාත ලියුම් ය. ඔවුන්ගේ තරුණ තරුණියන් ද සිය දිවි හානි කරගත් දූ දරුවන්ගේ දෙමාපියන් ද ලියු ලියුම් ඒ අතර වෙයි.

කැනඩා රතු ඉන්දියානුවන් වෙනුවෙන් මේ ලියුම් සිය අතින් ම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් අතට භාර දෙනු ලැබුවේ  ප්‍රථම ජාතීන් ගේ මහ ප්‍රධානී ටෝනි ඇලෙක්සිස් විසිනි.

"අද අපට හරිම සුන්දර දවසක්" එය භාර  දීමෙන් පසුව ඔහු CBC රූපවාහිනියට පැවසුවේය. මෙම ලියුම් තම තරුණ ජනතාවගේ හද ගැහෙන රාවය නිසා එය සුදොතුම්  පියතුමන් අතට පත් කරන මොහොතේ තමා තුළ විස්තර කල නොහැකි ගැඹුරු හැඟීමක් ඇතිවූ බව ඔහු කියා සිටියේය. "ඔවුන් ඉල්ලා තිබෙන්නේ තමන් ගේ (සිත් හා මානසික) සුවය සඳහා යාච්ඥා කරන ලෙසයි." ඔහු සඳහන් කළේය.

"අපේ යොවුන් දරුවන් අපෙන් තව  දෙයක් ඉල්ලා සිටියා. ඒ තමයි, ඔබ සුදොතුම් පියතුමාව හමු වූ විට අප වෙනුවෙන් එතුමාගෙන් වැළඳගැනීමක් ඉල්ලගෙන එන්න  කියන එක. ("When you visit with him ask for a hug for us") අප ඒ ඉල්ලීම එතුමාට ඉදිරිපත් කළා. එතුමා අපට එය ලබාදුන්නා, "යැයි මහ ප්‍රධානියා කියා සිටියේය.

ඔහු පාප් වහන්සේට අපූරු තිළිණයක් දුන්නේ ය. ඒ, සිතුවම් කල  අත් රබානකි. "ආදී වාසීන් වන අපට රබාන සහ බෙරය යනු මිහි මවගේ හර්ද ස්ඵන්දනයයි. පාප් වහන්සේ මිහි මව රැකබලා ගන්න ලෙස ලෝකයට උපදෙස් දෙන නායකයෙක්. එය අගය කිරීම සඳහා අප එතුමන්ට මෙම තිළිණය තෑගී කළා.


මේ රබානේ තවත් කතාවක් තිබේ. එම රබානේ මුහුණතේ සිතුවම් කර තිබෙන්නේ කැනඩාවේ ඇල්බටා පළාතේ පිහිටා ඇති ශාන්ත ආනා මුනිවරියට කැපවූ ප්‍රකට සිද්ධස්ථානයක චිත්‍රයකි. මෙම සිද්ධස්ථානය පවතින ප්‍රදේශයේ වෙසෙන බහුතරයක් ජනතාව රතු ඉන්දියානුවෝය. සිද්ධස්ථානය අසල ඇති සාන්ත ආනා විලෙහි ජලය ප්‍රාතිහාර්යාත්මක බව ඔවුහු විශ්වාස කරති. මෙහි වාර්ෂික මංගල්‍ය සමය වන ජූලි සහ අගෝස්තු මාසවල මෙම සාන්ත ආනා පුද බිම  ප්‍රථම ජාතීන් ගෙන් ද  එතුමිය ගේ  පිහිටාශීර්වාදය පතා පැමිණෙන වෙනත් කැනේඩියානුවන්  ගෙන් ද පිරී ඉතිරී යයි. (හරියට ශ්‍රී ලංකාවේ තලවිල පුදබිම වාගේ ම ය.) එම දිනවල දී රතු ඉන්දියානු ජනයා එම විලෙහි දිය නා ආත්මික ශාරීරික සුවය ප්‍රාර්ථනා කරති.

"මේ මංගල්‍ය සමයේදී සාන්ත ආනා පුද බිමට එන්න කියා අප සුදොතුම් පියතුමාට ආරාධනා කළා. එය අපට මහත් ධෛර්යයක්, සැනසීමක් වේවි. අපේ යොවුන් දරුවන්ටත් සතුටක් වේවි. අපේ අත් අකුරින් ම ලියු ආරාධනා පතක් අපේ අත්වලින් ම අපි එතුමාට භාර දුන්නා" මහා ප්‍රධානී ටෝනි  ඇලෙක්සිස් කීවේය.

මේ සියල්ලටමත් වඩා තමාගේ සිතට තදින් ම කා වැදුනේ මෙම සොඳුරු හමුවේ අන්තිම තත්පර කිහිපය බව ඔහු සහිපත් කලේ ය.

"ඒ අවසාන විනාඩියේදී මට මහා ගෞරවයක් ලැබුන වගේ දැනුනා. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉතා නිහතමානිව බැහැපත්ව අපෙන් ඉල්ලා සිටියා එතුමා වෙනුවෙන් යාච්ඥා කරන්න කියා...."

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය