"කිතුනු ජනසංහාරය නැවැත්වීමට මැදිහත් වන්න" - 400,000 දෙනා එක්සත් ජාතීගෙන් ඉල්ලති

 "Intervene in Christian genocide" A plea is submitted to UN


(2016 මැයි 3)
උතුරු අප්‍රිකා සහ මැද පෙරදිග කලාපයේ කිතුනුවන් හා වෙනත් සුළුතර ආගමිකයන් මුලිනුපුටා දැමීමේ ජන සංහාරයක් සිදු  වන බවට ලෝක ආගමික අයිතිවාසිකම් සංවිධානයක් එක්සත් ජාතීන් ගේ සංවිධානය හමුවේ දැනුම් දෙයි. එබැවින් මෙම ජන සංහාරය නැවත්වීමට මැදිහත් වන්නැයි ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අත්සන් සහිත ආයාචනයක් එම සංවිධානය විසින් ඉකුත් සිකුරාදා (2016 අප්‍රේල් 29) ජගත් සංවිධානය වෙත භාර දෙනු ලැබිණි.

"අප මෙහි පැමිණ සිටින්නේ ලොව පුරා පුරවැසියන් 400,000කට අධික සංඛ්‍යාවක් අත්සන් තැබූ ආයාචනයක් ජගත් සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයට භාර දෙන්නටයි. දැන් මේ වන විට සිරියාවේ සහ ඉරාකයේ ISIS විසින් සිදුකෙරෙමින් පවතින දේ ජනසංහාරයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස මෙම ලක්ෂසංඛ්‍යාත පුරවැසියන් ආරක්ෂක ඉලා සිටිනවා," යැයි එක්සත් ජාතීන් ගේ ගොඩනැගිල්ලෙන් පිටත පැවැති  ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මෙම ප්‍රයත්නයට මූලිකත්වය ගෙන සිටින "සිටිසන්ගෝ" (CitizenGO) නමැති මානව හිමිකම් ක්‍රියාකාරී සංවිධානයේ සභාපති ඉග්නසියෝ අර්සුආගා කියා සිටියේ ය.

සිරියාවේ සහ ඉරාකයේ මෙලෙස පීඩා විඳින ක්‍රිස්තියානීන් සහ වෙන්ත ආගමික සුලුතරයන් ආරක්ෂා කිරීමට ඉදිරි පියවරක් තබන්නැයි මෙම ආයාචනා ලියවිල්ල ජගත් සංවිධානයෙන් ඉල්ලා සිටියි. මේ අනුව එම කලාපය තුළ ආගමික නිදහස තහවුරු කිරීමට පියවර ගන්නැයි එම ලියවිල්ල මගින් දැඩි ඉල්ලීමක් කර තිබේ. මෙම ආයාචනය සිකුරාදා මෙම මාධ්‍ය හමුව පැවතීමට පෙර එ. ජා. මහ ලේකම් බන් කී මූන් මහතා වෙත භාර දෙනු ලැබිණි.

නයිජීරියාවේ ජෝසප් ඩන්ලාබි බගෝබිරි රදගුරු තුමන් සහ සිරියාවේ අලෙප්පෝ හි ජාන්-ක්ලේමෙන්ට් ජීන්බාර්ට් අගරදගුරු හිමිපාණන් ඇතුළු ආගමික නායකයන් කිහිප දෙනෙක් ද මෙම ආයාචනය භාර දීමේ අවස්ථාවට එක්ව සිටියහ.

 මෙම ආයාචනය භාරදීමට සමගාමීව එ. ජා. සංවිධානය අසල ආගමික නිදහස පිලිබඳ තෙදින සම්මන්ත්‍රණයක් ද  පැවැත්වින. එය නම් කර තිබුනේ "අපි ඔක්කොම නසරීනයෝ" (#WeAreN2016, or “we are all Nazarenes.”) යනුවෙනි.

ඊට හේතුවක් තිබේ. ISIS ත්‍රස්තවාදීන් ඉරාකයේ මොසුල් නගරයේ සියලුම කිතුනුවන් ගේ නිවෙස්  අරාබි "නන්" (Nun -ن  ) අක්ෂරයෙන් 'ස්ප්‍රේ' සලකුණු කළහ. මෙම "නන්" ලකුණින් ඔවුන් අදහස් කලේ "නසරීනයා" යන්නයි. නසරීනයා යනු නාසරෙතයේ තැනැත්තා යන්නයි. ජේසු සමිඳුන් ගේ නම "නාසරෙතයේ ජේසුස්" යන්නයි. මෙසේ එම අකුර සලකුණු කල නිවෙස් ඉලක්ක කරගෙන ඔව්හු පහර දුන්හ.

ISIS සංවිධානය කිතුනුවනට හා යසීඩි වැනි සුළුතර ආගමික කණ්ඩායම්වලට එල්ල කරන ප්‍රහාර ජනසංහාරයක් ලෙස නම් කරන ලෙස ආරක්ෂක මණ්ඩලය මත පීඩනයක් ඇති කරන්නැයි මෙම ආයාචනය මගින් මහ ලේකම් බන් කී මුන් මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ජනසංහාරයට ගොදුරු වූවන් ආරක්ෂා කිරීමටත් ඊට වගකිව යුත්තන් නීතිය ඉදිරියට පැමිණවීමටත් අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ද එමගින් ඔහුගෙන් ඉල්ලීමක් කර තිබේ.

ISIS සංවිධානයට නතු වූ ප්‍රදේශවල සිටින කිතුනුවන් සහ යසීඩි වැනි සුළුතරයන්ට ඔවුන් දැඩි වද  හිංසා කරන බව හෙළිදරව්  වී  තිබේ. ඔවුන් ඝාතනය කිරීම, ගෙල සිඳ දැමීම, කුරුසියේ ඇණගැසීම, මුගුරුවලින් පහර දීම, වදහිංසා කිරීම, පැහැරගෙන යාම සහ ඇපයට තබාගෙන වන්දි මුදල් ඉල්ලීම ආදිය එම හිංසන අතර  වේ. ඊට අමතරව, ළමයින් වහල් මෙහෙවරට  බලහත්කාරයෙන් යොදවා ගැනීම, කාන්තාවන් දුෂනය කර අලෙවි කිරීම වැනි ක්‍රියාවල ද ඔව්හු නිරත වෙති.

සිරියාවේ පවතින යුද්ධය නතර කිරීමට මැදිහත් වන ලෙස  ද මෙම ආයාචනය මගින් මහ ලේකම් වරයාගෙන් දැඩි ඉල්ලීමක් කරනු ලැබ තිබේ. අවතැන්ව සිටින සිරියානු ජනතාවට සිය ගෙවල් දොරවල් වලට ආරක්ෂා සහිතව ආපසු පැමිණීමට අවශ්‍ය වාතාවරණයක් ගොඩනගන ලෙසද ඉලීමක් කර තිබේ.

නයිජීරියාවේ ද දැඩි කිතුනු පීඩනයක් පවතියි. බොකෝ හරාම් ත්‍රස්තවාදී සංවිධානය එරට කිතුනුවන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරමින් සිටියි. ඔවුන් විසින් 2015 වසර තුළ පමණක් ඝාතනය කෙරුණු කිතුනුවන් සංඛ්‍යාව 4000 කට අධික බව  "Open Doors" නමැති මානව හිමිකම් සංවිධානය කියයි. එම වසර තුළ ඔවුන්ගේ ප්‍රහාර වලට ලක් වූ දේවස්ථාන සංඛ්‍යාව 200කට ආසන්නය.

සිරියාවේ කිතුනු ඉතිහාසය
මෙම යුද්ධය සහ කිතුනුවනට සිදුවන හිංසා වැලැක්වීම වැදගත් වන්නේ ඇයි දැයි අලෙපෝවේ අගරදගුරු ජාන්-ක්ලේමෙන්ට් ජීන්බාර්ට් හිමි මෙහිදී විස්තර කලේ ය.

"ඇත්ත වශයෙන් ම අපගේ ජනසංහාරයක් සිදුවෙනවා" එතුමා කීවේය. "මට පෙනෙන අන්දමට ඔවුන්ට අවශ්‍යව තිබෙන්නේ අපගේ ජීවිත උදුරා ගැනීමට පමණක් නොවේ. අපගේ රටෙනුත් අප උදුරා දැමීමටයි. අප ඉපදුනු, ඒ වගේ ම කිතුනු සභාව උපත ලැබූ රටද අපගෙන් උදුරා ගැනීමටයි" එතුමා පෙන්වා දුන්නේ ය. ලොව පුරා නුතන කිතුනුවනට අතිශයින් වැදගත් වන මෙම ඉතිහාසය එතුමා පැහදිලි කළේය:

සිරියාව ලෝකයේ ප්‍රථම කිතුනුවන් ගේ සභාවයි. ජේසු සමිදුන් ගේ කාලයේ ජුදෙව් ඩයස්පෝරාවක් (එනම් ඊශ්‍රායෙල් දේශයෙන් පිටත ජීවත් වූ ජුදෙව්වන්) සිරියාවේ ජීවත් වූහ. වාර්ෂික මංගල්‍යය සඳහා මේ ඩයස්පෝරා ජුදෙව්වෝ වාර්ෂිකව පෙන්තකොස්ත මංගල්‍යය සඳහා ජෙරුසලමට වන්දනාගමනක් පැමිණියහ. ශුද්ධාත්ම ආගමනයෙන් පසුව ශු. පේදුරු අපෝස්තුලු තුමා ජෙරුසලෙමේ දී සුබ අස්න දේශනා කරද්දී මෙම සිරියානු ජුදෙව්වෝ ද ජෙරුසලෙමේ සිටියහ. එම සුබ අසන අසා පිළිගෙන, පේදුරු තුමන් ඇතුළු අපොස්තුළුවරුන්ගෙන් ම බෞස්තීස්ම ස්නාපනය ලබා ජේසු සමිඳුන් අදහාගත් ප්‍රථම ක්‍රිස්තියානීන් අතර මෙම  සිරියානු ජුදෙව්-කිතුනුවෝ ද වුහ. පෙරලා සිය රටට පැමිණි ඔවුහු සිය කිතුනු ජීවිත ආරම්භ කළහ. එපමනක් නොව, අන්‍ය ජාතීන්ගේ ගේ අපොස්තුලුවරයා වූ ශු. පාවුළු තුමාට උවැටන් කොට ඇදහිල්ලේ උරුමය එතුමාට ලබා දුන්නේ ද සිරියානු කිතුනුවෝය. මෙසේ  අදත් සිරියාවේ ජීවත් වන්නේ ලොව පැරණිම කිතුවන්ගෙන පැවැත එන මෙම කිතුනු ප්‍රජාවයි.

"මෙම සභාව සජීවීව තබා ගැනීමේ වැදගත්කම එයයි" අගරදගුරුතුමා වැඩි දුරටත් කියා සිටියේ ය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය