"දුවේ පුතේ, අද (ජුනි 1) සාමය වෙනුවෙන් යදින්න එක් වන්න" සුදොතුම් පියතුමා ලොව පුරා දරුවන්ගෙන් ඉල්ලයි

"Dear Children, Join the Syrian Children today to pray for peace" 

සුදොතුම් පියතුමා ග්‍රීසියේ ලෙස්බොස් දුපතේ දී සිරියාවෙන් පලා එන්නට සිදු වූ පුංචි පුතෙකු වැළඳ ගත් මොහොතක්


(2016 මැයි 31)
ආදර දුවේ පුතේ,
අද ජුනි පළමු වැනි දා, ඔයාලාගේ දිනය යි. එනම්, ජාත්‍යන්තර ළමා දිනය යි.

අද දවස යුද්ධය නිසා සිය ළමා කාලයත් අධ්‍යාපනයත් අහිමිව සිටින සිරියාවේ ඔයාල වගේ අයියලා, මල්ලිලා, අක්කලා නංගිලා වෙනුවෙන් යාච්ඥා කරන්න යොදා ගන්න කියා, ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉල්ලා සිටිනවා.

තනිකරම බල ලෝභයේ ප්‍රතිඵලක් ලෙස සිරියාවේ වැඩිහිටියන් ආරම්භ කරපු යුද්ධය නිසා වැඩියෙන් ම දුක් විඳින්නේ ඒ රටේ ඔයාල වගේ මල් කැකුළු. ළමයින් දශ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට හැමදාම වෙඩිවලින්, බෝම්බ වලින් බේරෙන්නට  තැන තැන දුවන්න වෙලා. උන්හිටිතැන් අහිමි වෙලා. සරණාගතයන් වෙලා. ඊටත් වඩා දවස් පතා තවත් ළමයින් විශාල සංඛ්‍යාවක් බෝම්බ  ප්‍රහාරවලින් මිය යනවා. දරුණු ලෙස තුවාල ලබනවා.

"ජුනි පළමුවැනි දා ලොව පුරා සෑම තැනකම සිරියාවේ ළමයින් වෙනුවෙන්, සාමය වෙනුවෙන්  යාච්ඥා කරන්න" කියා ගිය ඉරිදා (මැයි 29) තේවාචාරීතුමන් ලාගේ ජුබිලි පූජාව අවසානයේ සුදොතුම් පියතුමා ඉල්ලා සිටියා. "සිරියාවේ ළමයින් වෙනුවෙන් යාච්ඥා කරන්න කියා ලොව පුරා සියලුම දරුවන් ගෙන් මා විශේෂයෙන් ඉල්ලනවා" කියාත් එතුමා කීවා.
"ජුනි පළමුවැනි දා බදාදා සිරියාවේ කිතුනු ජනතාව, කතෝලිකයන් සහ ඕතඩොක්ස් කිතුනුවන් හැමෝම, ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් සිරියාවේ සාමය උදෙසා යාච්ඥා කිරීමේ දිනයක්  පවත්වනවා. මෙම යැදුම් දිනයේ ප්‍රධාන ක්‍රියාකාරීන් වන්නේ සිරියානු දරුවන්. සාමය වෙනුවෙන් යාච්ඥා කරන්නට තමන් සමග යාච්ඥාවෙනුත් හදවතිනුත් සම්බන්ධවෙන්නට කියා සිරියාවේ ළමයින් ලොව පුරා සියලුම දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා" යැයි පූජාව අවසන් වී විශේෂ ඉල්ලීමක් කරමින් සුදොතුම් පියතුමා ඉල්ලා සිටියා.

මෙම පුජාව අවසානයේ කල තුන්කාල ආරාධනා යාච්ඥාවත් සාමය වෙනුවෙන් ඔප්පු කරන්නට කියා එතුමන් ඊට සහභාගී වූ රදගුරු තේවාචාරීතුමන්ලාගෙන් ඉල්ලීමක් කළා.

මෙම යාච්ඥා දිනය කතෝලික සභා වෙනුවෙන් සංවිධාන කරන්නේ රෝමයේ මුලස්ථානය සහිත Aid to the Church in Need නමැති දයා සේවා ආයතනය විසින්. අද දිනය සියලුම කතෝලික පාසල්, දේවස්ථාන සහ පවුල්වල සිරියාවේ අර්බුදයට සාමකාමී විසඳුමක් පතා යාච්ඥා කිරීමට යොදා ගන්නා ලෙස එම ආයතනය ඉල්ලා සිටිනවා.

"සිරියාවට සාමය උදාවේවා යි යාච්ඥා කිරීමට රට පුරා සැම ප්‍රදේශයකම ළමයින් එක් වන" බව එරට කතෝලික සහ ඕතඩොක්ස් සභා එකාබද්ධව නිකුත් කල නිවේදනයක දැක්වේ. "සිරියාවේ ළමයින් යනු දුක් විඳින ජේසු බිලිඳුන් ගේ කුඩා සහෝදර සහෝදරියෝ"  යැයි එම නිවේදනය කියයි. මේ නිසා මේ දිනය දුන් විඳින ජේසු බිලිඳුන්ට සහ ඕතඩොක්ස් සභාවේ මධ්‍යස්ථිකාව ලෙස සැලකෙන "පරනොවන රෝස කුසුම වන දේව මාතා වහන්සේ" ට කැපකර තිබේ.

යාච්ඥා වලට සහභාගිවන දරුවන් සිය නගරවල සාම පෙරහැර පැවැත්වීම ට ද නියමිතයි. ජේසු බිලිඳුන් ගේ සහ මරිය මවුන් ගේ ප්‍රතිමා ද රැගෙන ඔවුන් පෙරහැරට එක්වන බව සංවිධායකවරු පවසති.

"වසර පහකට වැඩි කාලයක් පුරා ළමයි කුරිරු යුද්ධයකට බලහත්කාරයෙන් ඇද දමනු ලැබ සිටිති. ඔව්හු මෙයින් තුවාල  ලබති; අධික කම්පනයට පත්වෙති' මියයති. ඔවුන් ගේ කඳුළු සහ දුක් වේදනා ස්වර්ගයට මොර ගසයි" යැයි එම නිවේදනය සඳහන් කරයි. "ළමයින් ගේ කඳුළු දෙස බලන ලෙස ද මව්වරුන් ගේ කඳුළු පිස දමන ලෙස' ද මේ යාච්ඥා මගින් දෙවි සමිඳාණන් ගෙන් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ කියවේ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය