ලක්ෂ සංඛ්‍යාත සරණාගතයන් බැලීමට සුදොතුම් පියතුමා ග්‍රීසියේ හදිසි සංචාරයක

 Pope Francis decides to travel to Greece to meet refugees 

ග්‍රීසියට පැමිණි දසලක්ෂ සංඛ්‍යාත සරණාගතයන්ගෙන් කොටසක්
(2016 අප්‍රේල්  7)
සුදොතුම් ප්‍රැන්සිස් ප්‍රැන්සිස් පාප් වහන්සේ  ග්‍රීසියේ හදිසි සංචාරයක දීමට තීරණය කර තිබේ.

මෙම සංචාරයේ ප්‍රමුඛතම අරමුණ මේ වන විට (උපන් රටත් ඉන්නට රටකුත් නොමැතිව) ග්‍රීසියේ ලෙස්බොස් දූපතේ රැඳී සිටින සරණාගතයන් හමුවීමයි. වතිකාන මාධ්‍ය අංශය මාර්තු 7 බ්‍රහස්පතින්දා මේ බව නිවේදනය කළේය.

ශුද්ධාසන මාධ්‍ය කාර්යාල ප්‍රධානි ෆෙඩරිකෝ ලොම්බාඩි පියතුමා කියා සිටියේ සුදොතුම් පියතුමා අප්‍රේල් 16 සෙනසුරාදා ග්‍රීසියට යන බවයි. මෙය අසාමාන්‍ය ලෙස හදිසියේ යොදාගන්නා ලද චාරිකාවකි. එරටට පැමිණෙන ලෙස කොන්ස්තන්තිනෝපලයේ කිතුනු සභා නායක බර්තොලොමිව් පේත්‍රියාක් තුමන් සහ එරට ජනාධිපති ප්‍රොස්කොපිස් පැව්ලොපුලොස් මහතා විසින් කරන ලද ආරාධනයක් පිළිගනිමින් සුදොතුම් පියතුමා මෙම ගමන යොදා ගෙන තිබේ.

ග්‍රීසියේදී ප්‍රැන්සිස් පාප් වහන්සේ එරට ලෙස්බොස් දිවයිනට යාමට නියමිතයි. එහිදී උන්වහන්සේ බර්තොලොමිව් පේත්‍රියක් උතුමන් හා ඇතැන්ස් නුවර සහ සමස්ත ග්‍රීසියේ අගරදගුරු 2 වැනි ජෙරොම් උතුමන් සමග එහි සිටින සරණාගතයන් හමු වනු ඇත.

මෙය හදිසියේ යොදාගත් ගමනක් නිසා මෙතෙක් එහි කාලසටහනක් නිකුත් වී නොමැත. කෙසේ නමුත් සංචාරයේ විස්තර සාකච්ඡා කිරීම සඳහා අඟහරුවාදා රැස්වීමක් පැවැත්වෙන බව ලොම්බාඩි පියතුමා කීවේය. කෙසේ නමුත් මෙය ඉතා කෙටි සංචාරයක් වනු ඇත. මෙහිදී සරණාගතයන් මුණගැසීමට ප්‍රමුඛත්වය ලැබේ. ඊට අමතරව කිතුනු සභා අතර සාකච්ඡාවක් ද මහජන හමුවක් ද පැවැත්වෙනු ඇතැයි එතුමා සඳහන් කලේය.

"සරණාගතයන් මුහුණ දෙමින් සිටින තත්වය නිසා මෙම ගමන වැදගත් හදිසියක් ලෙස සුදොතුම් පියතුමා සිතනවා" යයි ලොම්බාඩි පියතුමා වාර්තාකරුවනට කීවේය. "බොහෝ ජනතාවක් ඉතා දැඩි කනගාටුදායක, දුෂ්කර තත්වයකට මුහුණ දෙමින් සිටිනවා. ස්වාභාවිකවම සුදොතුම් පියතුමාට අවශ්‍ය වී තිබෙන්නේ මේ පිළිබඳව ලෝකයේ අවධානය යොමු කරන්නයි. ඒ වගේම, විශ්වාසයේ සමස්ත ජනතාවම වෙනුවෙන් සහයෝගිතාවත් වගකීමත් ප්‍රදර්ශනය කිරීමත් මෙහි අරමුණක්ව තිබෙනවා."

බර්තොලොමිව් පේත්‍රියාක් උතුමා  සහ ග්‍රීක් ඕතඩොක්ස් සභාවේ නායක 2 වැනි ඉරෝනිමස් පේත්‍රියාක් උතුමා ඇතුළු කිතුනු සභා නායකයන් සියලු දෙනා මීට සහභාගී වීම ද  බෙහෙවින් වැදගත්කමක් දරන බව පියතුමා කියා සිටියේය." සභා එකමුතුවෙන් මෙය සිදුවීම නිවැරැදියි. මෙයින් පෙන්නුම් කරන්නේ මානව වර්ගයා මුහුණ දෙන අර්බුද වලදී කිතුනු සභා එකමුතුව කටයුතු කරන බවයි" යැයි එතුමා සඳහන් කළේය.

සිරියාව, ඇෆ්ගනිස්ථානය සහ උතුරු අප්‍රිකාවේ රටවල පවත්නා දරුණු යුද්ධ සහ ප්‍රචණ්ඩ කියාවලින් ගැලවීම සඳහා පළා එන දස ලක්ෂ සංඛ්‍යාත සරණාගතයන් යුරෝපයට ඇතුළුවන දොරටුව වී  ඇත්තේ ග්‍රීසියේ ලෙස්බොස් දිවයිනයි. ග්‍රීසිය දැනට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියි. මේ නිසා  මෙම සරණාගතයන් තාවකාලිකව හෝ නවත්වාගැනීමට එරටට සිදු වී ඇත්තේ ගහෙන් වැටුණු මිනිහාට ගොනුන් රෑනක් ම ඇන්නා වගේය.

තුර්කියේ සිට ග්‍රීසියට අක්‍රමවත්ව පැමිණෙන සියලු සරණාගතයන් ආපසු තුර්කියට පිටුවහල් කරන බවට යුරෝපීය සංගමය  ඉකුත්දා තීරණය කළේය. මෙම දැවැන්ත සරණාගත රැල්ල  මෑත  ඉතිහාසයේ ලෝකය මුහුණ දෙන දරුණුම සහ අභියෝගාත්මකම මානව අර්බුදය බවට පත්ව ඇත. අරුත් සුන්, අරමුණකින් තොර යුද්ධ හා ප්‍රචණ්ඩ ක්‍රියා නිසා, කිසිවක් නොදන්නා ළදරුවන් ද අතින් කටින් එල්ලාගෙන, යහපත් අනාගතයක් සොයා,  තමන් නොදන්නා,   එහෙත් තමන් ප්‍රතික්ෂේප නොකරතැයි විශ්වාස කරන දියුණු ක්‍රිස්තියානි  රටවලට දශ ලක්ෂ සංඛ්‍යාත වශයෙන් එක් වර ජනයා පලා ඒම මෙම අර්බුදයට  වී තිබේ. මේ සියලු දෙනාම මෙම රටවලට භාර  හැකිද? එසේ වුවහොත් එම රටවල සංස්කෘතියට හා වටිනාකම් වලට හානි සිදුවේ ද? මේ ජන රැල්ල සමග සැඟවී එන ත්‍රස්තවාදීන් සාමකාමී යුරෝපයත් ගිනි ජාලාවක් කරාවි ද?

මේ හේතුව නිසා මෙසේ පැමිණෙන මුස්ලිම් සරණාගතයන් පිළිගැනීමට එරෙහිව යුරෝපා ජාතිකයන් උද්ඝෝෂණය කිරීම ද ආරම්භ කර තිබේ. මේ හේතුව නිසා සරාගතයන් ගේ ඉරණම මහත් ගැටලුවකට ලක්ව ඇත.

තත්වය කුමක් වුවත් ප්‍රැන්සිස් පාප් වහන්සේ අවධාරණය කරන්නේ යුරෝපය මෙම සරණාගතයනට පිළිසරණ විය යුතු බවයි. දොරටු විවර කළ යුතු බවයි. සරණාගතයන් කවුරුන් වුවත්, ඔවුන් කවර අරමුණකින් පැමිණියත් එතැන බලපවත්වන්නේ ජේසු සමිඳුන් ගේ එකම නීතියක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ස්ථාවරයයි: එනම් "මම අමුත්තෙකුව, අවතැන්ව, සරනාගතව සිටියෙමි. ඔබ මට ............." යන්නයි.

එතුමන් ගේ මෙම "අසාමාන්‍ය ලෙස හදිසි" ගමනේ අභියෝගය කිතුනුවන් ප්‍රමුඛ ලෝකයට එම "ව්‍යවස්ථාව" මතක් කිරීමයි. 








Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය