ඇතැම් රටවලට දෙව්මැදුරු "තිළිණ කරන බව" කියන චීනයේ සැබෑ "කිතු දහම් ප්‍රේමය": කිතුනු කතක් පණ පිටින් වලලා දැමේ

 A Christian woman bulldozed to death in China 



(2016 අප්‍රේල්  29)
ශ්‍රී ලංකාවේ කතෝලික සභාව  'බැටළුවන්' නොහොත් 'කිතුනු හිතවාදී දානපතීන්' ලෙස හඳුනාගෙන සිටින  චීන ආණ්ඩුව සිය රටේ කිතුනුවන්  කෙරෙහි අනුගමනය කරන ප්‍රතිපත්තිය එරට තුළ දිනෙන් දින සිදුවෙමින් පවතින සිදුවීම වලින් තහවුරු වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ කතෝලික ජනතාවට බැසිලිකා දෙව්මැදුර ප්‍රතිසංස්කරණය "චීන රාජ්‍යයේ තිළිණයක්" ලෙස දෙන බව කියන චීන රජය, ක්‍රම ක්‍රමයෙන් සිය රටේ කිතුනු දෙව්මැදුරු බිමට සමතලා කරමින් සහ කිතුනුවන්ට පීඩා කෙරෙන නව නීති හඳුන්වා දෙමින් සිටියි. ඊට විරෝධය දක්වන කිතුනුවන් පණ  පිටින් වලලා දැමීමට වුව ද බලධාරීහු පසුබට නොවෙති.

මේ සම්බන්ධ අලුත්ම ප්‍රවෘත්තිය වාර්තා වන්නේ මධ්‍යම චීනයේ හේනා පළාතේ ෂුමාඩියාන් නගරයෙන් බව එම සිද්ධිය වාර්තා කරන කතෝලික ප්‍රවෘත්ති ඒජන්සිය කියයි.

එම නගරයේ බීටු කිතුනු දෙව්මැදුර අත්පත් කරගැනීමට රජයට අයත් ප්‍රාදේශීය සංවර්ධන ආයතනයකට අවශ්‍යව තිබිණ. මේ අනුව එම දෙව්මැදුර කඩා ඉවත් කිරීම රජයට අයත් බිඳහෙළීම් සමාගමකට පවරනු ලැබිණ. එම සමාගමේ බිඳහෙළීම් කණ්ඩායමක් දෙව්මැදුර සමතලා කිරීමට පැමිණෙන විට දෙව්මදුරට අයත් කිතුනුවෝ ඒ ඉදිරිපිට විරෝධතාවක නිරත වෙමින් සිටියහ. දෙව්මැදුර භාර ලී ජියංගොං දේවගැතිතුමා  සහ ඔහුගේ බිරිඳ ඩිං කුමේයි මෙහි ඉදිරියෙන් ම  සිටියහ.

එහිදී සිදුවුණු සිද්ධිය China Aid (චයිනා ඒඩ් ) නමැති රාජ්‍ය නොවන ආගමික අයිතිවාසිකම් සංවිධානයේ ප්‍රධානි බොබ් ෆු   කතෝලික ප්‍රවෘත්ති ඒජන්සියට මෙලෙස විස්තර කළේය:

"එම ස්ථානයෙන් ඉවත්වන ලෙස බිඳ හෙලීමේ කණ්ඩායමේ නිලධාරීන් එහි සිටි මීසම් වාසීන්ට නියෝග කළා. ඔවුන් එතනින් ඉවත් වුනේ නැහැ. 'ඔවුන්ව පන  පිටින් වලලාගෙන යන්න. ඒ වගකීම මම භාර ගන්නවා' කියා එම කණ්ඩායමේ සිටි නිලධාරික් නියෝග කරනු අපට ඇහුණා. ඒ සමගම බුල්ඩෝසර ඉදිරියට ගමන් කළා. දේවගැතිතුමා සහ බිරිඳ සිටියේ එක  බුල්ඩෝසරයක් ඉදිරියෙන්. ඔවුන්ව ඒ අසල තිබු වලකට තල්ලු කර පස් දමමින් බුලොසරය ඉදිරියට ගියා...."

පස් ඉවත්කර වලෙන් ගොඩ ඒමට ලී දේවගැතිතුමාට  හැකි වුව ද ඔහුගේ බිරිඳ එම වල තුළ මිය ගොස් සිටියාය.

"සාමකාමී, බැතිමත් කිතුනු කාන්තාවක් පණ පිටින්  වැළලීම අතිශය කුරිරු මිනීමරු ක්‍රියාවකි" යි පසුව නිවේදනයක් නිකුත් කරමින් ෆු කියා සිටියේ ය. ඔහු පවසන්නේ කිතු දහම චීන රෙජීමයේ  "මර්දනයේ ප්‍රධාන ඉලක්කයක්" වී ඇති බව යි. කිතු දහම චීන ආණ්ඩුව විසින් සලකනු ලබන්නේ " ප්‍රධාන දේශපාලන  හා ආරක්ෂක තර්ජනයක්" ලෙසයි.

"මෙම සිද්ධිය ජීවත් වීමේ අයිතිය, ආගමික නිදහස හා නීතියේ ආධිපත්‍යය තරයේ උල්ලංඝනය කිරීමක්. ඊට වග කිවයුත්තන්ට  නීත්‍යනුකුල දඬුවම් පමුණුවා ආගමික නිදහස තහවුරු කිරීමට බළධාරීන වහා පියවර  යුතුයි" යයි ෆු සඳහන් කරයි.

2013 දී බලයට පැමිණි ජනාධිපති ෂී ජින්පිං ගේ පාලනයපවසන්නේ මෙය  "නව සංස්කෘතික විප්ලව" සමයක් ලෙසයි. මේ යටතේ මීට කලින් ජියාන් සෙමින් හා හූ ජින්ටාඕ පාලන කාල වල තිබූ සුළු නිදහස පවා චීන කිතුනුවනට අහිමි වෙමින් තිබේ. එම පාලන කාලවල කිතු දහම ආරක්ෂක තර්ජනයක් ලෙස නොසැලකුණු බව බොබ් ෆු කියයි.  මේ වන විට 'ලියාපදිංචි නොවූ' ප්‍රොතෙස්තන්ත සහ කතෝලික සභා වල දෙව්මැදුරු කෙරෙහි විශාල සැකයකින් බලන තත්වයක් හා ඒවා මර්දනය කිරීමේ තත්වයක් පැන නැගී තිබේ. එසේම, ස්වකීය විශ්වාස හා ඉගැන්වීම් වෙනස් කරන ලෙස 'ලියාපංදිචි සභා' (ලියාපදිංචි කතෝලික සභාව ඇතුළු) වලට ද බලපෑම් එල්ල වෙමින් ඇත. චීන ආණ්ඩුව විසින් මෙය හඳුන්වනු ලබන්නේ "ක්‍රිස්තු ධර්මය සමාජ වාදයට අනුරූප වන ආකාරයෙන් පරිවර්තනය කිරීමක්" ලෙස යයි ෆූ වැඩිදුරටත් කියා සිටියි. ('ලියාපදිංචි සභා' යනු චීන ආණ්ඩුවේ අනුග්‍රහය ලබන හා එම ආණ්ඩුවට පක්ෂපාතී කතෝලික හා ප්‍රොතෙස්තන්ත සභායි. චීන ආණ්ඩුවට නොව සැඟවී හෝ තවමත් පාප් වහන්සේට පක්ෂපාතීත්වය දක්වන හා  ප්‍රධාන ධාරාවේ සභාවේ සහෝදරත්වය පිලිගන්නා සභාව 'ලියාපදිංචි නොවූ' සභා ලෙස සැලැකේ .)

"චීනයේ ඉලක්කය වන්නේ ක්‍රිස්තු ධර්මය හා කිතුනුවන් 'ජනසතුකිරීම'" යයි Open Doors USA ආයතනයේ ප්‍රධානී ඩේවිඩ් කරී, ෆොක්ස් නිව්ස් සේවාවට කියා සිටියේ ය. මෙම ආයතනය ලොව පුරා කිතුනු මර්දනය පිළිබඳව නිරීක්ෂණය කරන සංවිධානයකි. දෙව්මැදුරු පවරා ගැනීම, ඒවායේ ගොඩනැගිලි කඩා ඉවත් කිරීම, තම ඉරිදා ධර්මදේශනා ගැන සාකච්ඡා කිරීම සඳහා දේවගැතිවරුන් හා පියවරුන් කිහිපවතාවක් කොමියුනිස්ට් පක්ෂ කාර්යාල වලට ගෙන්වා ගැනීම ආදිය චීනය එරට කිතුවන් මර්දනයට යොදා ගන්නා ක්‍රියාමාර්ග කිහිපයක් බව කරී පෙන්වා දෙයි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය