"සැබෑ ආදරය හා සතුට 'ඇප්' එකකින් 'ඩවුන්ලෝඩ්' කරගත නොහැකියි" සුදොතුම් පියතුමා යෞවන යෞවනියනට දෙන පණිවිඩය

 Pope to teens: There isn't a phone app for love and happiness


(2016 අප්‍රේල්  25)

සැබෑ නිදහස හා සතුට අපට ලැබෙන්නේ අපට අයිතිව පවතින හෝ අප සතු වටිනා දේ වලින් හෝ නොවේ. අපට අවශ්‍ය දේ කිරීමෙන් හෝ අපට නිදහස නොලැබේ. සැබෑ නිදහස අපට ලැබෙන්නේ ජේසු සමිඳුන් ගේ ප්‍රේමයෙන් පමණි.

සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ  මෙම පණිවිඩය දුන්නේ ඉරිදා (2016 අප්‍රේල් 24) උදාසන වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්වූ දස දහස් සංඛ්‍යාත යෞවන යෞවනියන්ට ය.

"ඔබගේ සතුට මිල කල නොහැකිය"යි දිව්‍ය  පූජාවේ ධර්ම දේශනය පවත්වමින් සුදොතුම් පියතුමා කීවේ ය. "සතුට මිල දී  නොහැකියි. එය ඔබගේ දුරකථනවලට බා ගත හැකි 'ඇප්' එකක් ද නොවේ. අලුත් ම 'අප්ඩේට්' එක විසින් ඔබට සතුට හෝ ආදරයේ ඓශ්චර්යය ලබා නොදේ. ඒ මන්ද, ආදරය යනු විවෘත හදවතක් ඉල්ලා සිටින නිදහස් තිළිණයක් බැවිනි. එය ජීවිත කාලය පුරා පවත්නා උතුම් වගකීමකි. එය විශිෂ්ට සිහින සැබෑ කරගත හැකි අය ඉටුකරන  දෛනික කටයුත්තකි."

පසුගිය ඉරුදින පැවැත්වුනේ "යෞවන යෞවනියන් ගේ දයාවේ ජයන්තියයි." ඒ නිමිත්තෙන් පැවැත්වුණු දිව්‍ය පූජාව සඳහා එක් වූ 90,000 කට අධික යෞවන යෞවනියන් හා දෙමාපියන් ගෙන් චතුරශ්‍රය අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබිණි.

සාමාන්‍ය දෙයින් තෘප්තිමත් වන ලෙස සුදොතුම් පියතුමා යොවුන් ජනතාවට අභියෝග කළේය. "එසේම සිනමා කතාවල මුරණ්ඩු බව පෙන්වන වීරයන් වැදගත් අය සේ සළකන්නන්ට නොරැවටෙන්න. අලුත්ම විලාසිතා වලින් තෘප්තිමත් නොවන්න" යයි එතුමා කීවේය. "ජීවිතය සුන්දර වන්නේ ඔබ සතුව බොහෝ වස්තුව ඇති විට බව පවසමින්, ඔබ මුලා කොට, සැබෑ නිධානයෙන් ඔබගේ අවධානය වෙනතක හරවන්නන් විශ්වාස  නොකරන්න. සැබෑ වස්තුව, සැබෑ නිධානය ඔබයි", යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා යෞවනයනට කියා සිටියේ ය.

ක්‍රිස්තුන් වහන්සේ සමග ඇති යාළුකම ශක්තිමත් කරගන්නැයි එතුමා යෞවන යෞවනියන්ගෙන් ඉල්ලා සිටියේ ය. "ඔබ ජේසු සමිඳුන් සමග තිබෙන  යහළුකම, මිත්‍රත්වය නිසා කිසිදාකත් ඔබ  තනි වන්නේ නැත. ඔබ උන්වහන්සේ කළකිරවා උන්වහන්සේ ගෙන් ඈත් වී ගියා වුව ද , උන්වහන්සේ ඔබට සමීපවම සිටිනු ඇත. එසේම උන්වහන්සේ ඔබට අවශ්‍ය හොඳම දේ ඔබට ලබා දීමට කැමැත්තෙන් පසුවනු ඇත.ඔබ ඔබ ගැන විශ්වාස කරනවාට වඩා උන්වහන්සේ ඔබ ගැන විශ්වාස කරන සේකැ" යි සමිඳුන් සමග මිත්‍රත්වයේ ගැඹුර පැහැදිලි කරමින් සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

"විශේෂයෙන් ම මේ වයසේ දී, යහපත් ජීවිත වර්ධනයකට ඇති ප්‍රධානම බාධාව නම් කිසිවෙකුත් අප නොසලකන බව, අපට ආදරය නොකරන බව හැඟී යාමයි. අප තනි වී ඇත යන හැඟීම අප තුළ ඇති වීමයි. එහෙත් නිරන්තරයෙන් ඔබ සමග සිටින ඔබට ආදරය කරණ ඔබ අතහැර නොයන යහළුවෙක් සිටියි. ඒ ජේසු සමිඳාණෝ යි. උන්වහන්සේ සාම විටම ඔබ සමග සිටියි. ඉතා සතුටින් ඔබ සමග සිටියි."

එසේම එදා සිය ප්‍රථම ශ්‍රාවකයන් කැඳවුවා සේ තමන් අනුගමනය කරන ලෙස ජේසු සමිඳුන් යෞවන ඔබෙන් ද ඉල්ලා සිටින බව සුදොතුම් පියතුමා කියා සිටියේය.

"උන්වහන්සේ ඔබගේ ප්‍රතිචාරය ලැබෙන තෙක් බලා සිටියි. ඔබ 'ඔව්' කියා පිළිතුරු දෙන තෙක් බලා සිටියි."

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය