එළිසබෙත් මහ රැජිනගේ උපන් දිනය වෙනුවෙන් වතිකාන-රජ ගෙදර ක්‍රිකට් තරගයක්

 Cricket in Vatican for Queen's birthday 


(2016 අප්‍රේල්  22)
බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණගේ 90 වන උපන් දිනය වෙනුවෙන් වතිකාන ක්‍රිකට් කණ්ඩායම සහ බ්‍රිතාන්‍ය රජ ගෙදර කණ්ඩායම අතර සුහද ක්‍රිකට් තරගයක් අද (2016 අප්‍රේල් 23  සෙනසුරාදා වතිකානයේ දී පැවැත්වෙයි.

දීර්ඝතම කාලයක් බ්‍රිතාන්‍ය කිරුල දැරූ රාජකීයයා ලෙස දැනටමත් වාර්තාවක් තබා සිටින මහ රැජින ගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් 21) 90 වන වසරට පා තැබුවාය. ඇය එම අවස්ථාව සමරුවේ වින්ඩ්සර්හි රැජින පටුමගේ සිහිවටන පුවරුවක් නිරාවරණය කිරීමෙනි. ඉන් අනතුරුව එදින මහ රැජිනට බුහුමන් ලෙස පවත්වන ලද කාලතුවක්කු වෙඩි මුර 21 මුළු රට පුරාම අසන්නට  ලැබිණි. මේ නිමිත්තෙන් බ්‍රිතාන්‍යය පුරා උත්සව මාලාවක් පැවැත්වීමට නියමිතය. මෙම උත්සව මාලාව අවසන් වන්නේ සාම්ප්‍රදායික ලෙස ජුනි 11 දා පැවැත්වෙන මහා රැජින ගේ "නිල උපන් දින උත්සවයෙනි". (මෙම නිල උපන දින උත්සවය 2 වැනි ජෝර්ජ් මහා රජ තුමාගේ සිට පැවතගෙන එන්නක් බව බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසය කියයි.

අනූ වන උපන් දිනය නිමිත්තෙන් රැජිනට සුබ පැතීම සඳහා තමන් ද එක්වීමට වතිකානය තීරණය කර තිබේ.වතිකානය මෙම සුබපැතීමට එක වන්නේ, වතිකාන  රාජ්‍ය ක්‍රිකට් කණ්ඩායම හා බ්‍රිතාන්‍යයේ රජගෙදර කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් පැවැත්වීමෙනි. වතිකාන රාජ්‍යය වෙනුවෙන් තරග වදින සාන්ත පීතර ක්‍රිකට් සමාජය පිහිටුවන ලද්දේ 2013 දීය. මෙම කණ්ඩායමේ ක්‍රීඩකයන් 12 දෙනාම පූජකවරුන්, තේවාචාරීවරුන් සහ දෙව්සත්හල් සිසුන්ගෙන් සමන්විත වේ. මේ අතරින් තුනෙන් දෙකක්ම ඉන්දීය ජාතිකයෝය. එංගලන්තයෙන්,ශ්‍රී ලංකාවෙන් සහ පාකිස්තානයෙන් එක් ක්‍රීඩකයකු (පියතුමෙකු හෝ පූජක සිසුවෙකු) බැගින් එම කණ්ඩායමට ඇතුලත්ව සිටිති.

වතිකානය හා බ්‍රිතාන්‍ය රජගෙදර අතර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන දෙවන වතාව මෙයයි. මීට කලින් 2014 සැප්තැම්බර මාසයේදී වතිකාන කණ්ඩායම එංගලන්තයේ සංචාරයක යෙදුනේය. එම සංචාරයේ දෙවන දින වින්ඩ්සර් මාලිගාවේ සාන්ත ජෝර්ජ් දෙව්මැදුරේ පැවැත්වුණු සැඳෑ ගීතිකාවේදී කණ්ඩායම් දෙකම ප්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් යාච්ඥා කළහ.

වතිකානයට පැමිණි එංගලන්ත රජගෙදර කණ්ඩායම ද රෝමයේ මාටර් එක්ක්ලෙසියා සරසවියේ දේවස්ථානයේ පැවැත්වුණු සැන්දෑ ගීතිකාවට සහභාගී වූහ.එහිදී ඔවුන් යාච්ඥා කලේ එලිසබෙත් මහා රැජින වෙනුවෙනි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය