මහා සන්නිවේදකයා හා පෙමින් බැඳුනු "ශ්‍රී වචනයේ මාධ්‍යවේදිනිය" සගපුර දිනයි (UPDATED)

 Mother Anjelica: The faithful Bride of the greatest communicator



(2016 අප්‍රේල්  2)
කතෝලික ජන සන්නිවේදන සේවාව තුළ  කිසිදා නොමැකෙන දැවැන්ත මෙහෙවරක් කළ සාන්තුවරියක් බඳු පැවිදිවරියක් අද සග සුව ලැබුවාය. ඕ  මේ වන විට ශ්‍රී ලංකාවේ කතෝලික ජනතාවද හොඳින් දන්නා හඳුනන EWTN (Eternal Word Television) සේවාවේ නිර්මාතෘ ඇමෙරිකාවේ ඇන්ජලිකා මව් තුමියයි.

වයස අවුරුදු 92ක් වූ ඇය 2001 සිට අංශබාග රෝගය සමග සටන් වදිමින් සිටි අතර ඉකුත් ඉරිදා -එනම් පාස්කු ඉරිදා - (මාර්තු 27 දා) ස්වර්ගස්ථ වුවාය. එතුමියගේ අවමංගල උත්සව දිව්‍ය පූජාව අද (අප්‍රේල් 1) ඇමෙරිකාවේ පිලදෙල්පියාවේ  හැන්සවිල්හි දිව්‍ය සත්ප්‍රසාද සිද්ධස්තානයේ දී පැවැත්විණි. 2000කට වැඩි ජනකායක් සහභාගී වූ එම දිව්‍ය පූජාව පවත්වන ලද්දේ පිලදෙල්පියාවේ චාල්ස් චපුට් අගරදගුරු හිමිපාණන් විසිනි.

ඇන්ජලිකා මව්තුමියගේ ජීවිතය ජේසු සමිඳුන් විසින් කැඳවන ලදුව, ඊට ප්‍රතිචාර ලෙස ඇය ජේසු සමිඳුනට මහත් ප්‍රේමයෙන් උන්වහන්සේ වෙනුවෙන් කැපවීමෙන් සියල්ල කල ජීවිතයක් බව EWTN වාර්තා ප්‍රකාශ කරයි.

කුඩා කාලයේදීම  ඇයගේ දෙමාපියන් දික්කසාද වීම නිසා ඇයටත් ඇයගේ මවටත් කුසගින්න, දුක වේදනාව, නිවසක් නොමැති වීම වැනි කම්කටොලු රැසකට මුහුණ දීමට සිදුවිය. ඒ අතර ජීවිත වෙනසකට හේතු වූයේ එක්තරා රෝගී තත්වයකින් ඇය ලද ප්‍රාතිහාර්යාත්මක සුවයයි. ඉන් පසුව සිය ජීවිතය ජේසු සමිඳුන් වෙනුවෙන් කැප කිරීමට ඇය ඉටා  ගත්තාය. කාර්මෙල් නිකායේ කන්‍යා සොහොයුරියක් වීමට ඇය එම කන්‍යාරාමයකට ඇතුළුවන්නේ ඒ අනුවය.

එම පැවිදිවරයට ඇතුළු වීමෙන් පසුව ඈ ස්වකීය 'මනාලයා' වූ ජේසු සමිඳුන්ට සිය ජීවිතයෙන් ම ප්‍රේම කළ බව ඇය ගේ අවමංගල දිව්‍ය පූජාවේ ධර්ම දේශනය කළ ප්‍රන්සිස්කාන නිකායේ ගරු ජෝසප් මේරි වොල්ෆේ පියතුමා කීවේය. "ඇන්ජලිකා මව්තුමිය මනාලියකගේ ප්‍රේමයෙන් බැඳුනු තැනැත්තා ගැන, එනම් මිනිසකු ලෙස  අප අතර වාසය කළ සදාතනික වචනයාණන් වන ජේසු සමිඳාණන් ගැන කතා නොකර අපට ඇය තේරුම් ගත ගත නොහැකිය. ඇය අපට දායාද කළ උරුමය උන්වහන්සේ ඇය  තුළ කළ කර්තව්‍යයයි. "

ඇන්ජලිකා මව්තුමිය ගේ "මනාලයා" EWTN සේවාවට ඇය පෙළඹ වූ ආකාරය ජෝසප් මේරි වොල්ෆේ පියතුමා විස්තර කළේය. "ඇය නිරන්තරයෙන් සභා ඉගැන්වීම ආරක්ෂා කළාය. මන්ද තමා සරණ ගිය තැනැත්තාට විශ්වාස පක්ෂව ඔහු ආරක්ෂා කල යුතු බැවිනි" යි එතුමා සඳහන් කළේය.

පෙර-යොවුන් වියේදී ප්‍රාතිහාර්යාත්මක ලෙස ඇය ලැබූ ශාරීරික සුවය, "උදාසීන, ඇල්මැරුණු" කිතුණුකමින් පූර්ණ කිතුනුවකු බවට ඇය පරිවර්තනය කල බව දේශනාවාදී පියතුමා පෙන්වා දුන්නේය. "ඒ අවස්ථාවේ තමන් තුළ ඇති වූ වෙනස ඈ විස්තර කලේ මෙසේය: 'එම සුවපත් වීමෙන් පසුව මට අවශ්‍ය වුනේ මා සම්පුර්ණයෙන් ම ජේසු සමිඳුන්ට කැප කිරීමටයි'"

ඇමෙරිකානු රදගුරුවරුනටවත් එතෙක් නොකළ හැකි වූ   වූ දැවැන්ත කාර්යයක් ඇන්ජලිකා මව්තුමිය ඉටු කළ බව අති උතුම් චාර්ල් චපුට් රදගුරු හිමි කියා සිටියේ ය. එනම් දැවැන්ත, ප්‍රබල කතෝලික මාධ්‍ය ජාලයක් ගොඩනැගීමයි.

ඇන්ජලිකා මව් තුමියගේ මාධ්‍ය සේවාව


ඇන්ජලිකා මව් තුමිය ගේ මාධ්‍ය දූත මෙහෙවර ඇත්තෙන් ම ජේසු සමිඳුන් ගේ ම 'පෙලඹවීමෙන්' සිදු වූවකි.

1970 ගණන් වන විට ඇය ආධ්‍යාත්මික කතා පැවැත්වූ බව ඇයගේ  චරිතාපදානය ලියු (EWTN නිවේදක) රේමන්ඩ් අරෝයෝ කියයි. ඇයගේ ඇතැම් දේශනා අසා සිටියවුන් ගේ නෙත්වලට කඳුළු ගෙන ඒමට සමත් විය. මේ නිසා රේඩියෝවට කතා එකතුවක් කරන ලෙස ඇයට ආරාධනා ලැබිණ. රේඩියෝවේ කතා ජනප්‍රිය වන විට මව්තුමියට රුපවාහිනියේ ද දොරටු විවර විය. මේ අනුව ඇයට සතියකට පැය  බාගයක ආධ්‍යාත්මික රුපවාහිනි වැඩසටහනක් කිරීමේ අවස්ථාව ලැබිණ.

මේ අතර තමන් මෙම කතා පටිගත කරන ස්ටුඩියෝව අයත් රුපවාහිනි ආයතනය විසින් දෙවියන් වහන්සේට අපහාස වන ආකාරයේ වැඩසටහනක් විකාශය කිරීමට යන බව අංජලිකා මව් තුමිය දැන ගත්තාය. මේ බව සැක හැර පැහැදිලි කරගත් ඇය එහි හිමිකරු සොයා ගියේය. එම වැඩසටහන විකාශය කිරීම නවත්වන ලෙස ඇය ඔහුගෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම හිමිකරු ප්‍රතික්ෂේප කලේය.

"එහෙම නම් මම මේ ස්ටුඩියෝවෙන් අයින් වෙනවා"  ඇයකීවාය.
"ස්ටුඩියෝවෙන් ගියොත් ඔබට රුපවාහිනි වැඩසටහන නැතුව යනවා" හිමිකරු අවධාරණය කළේය.
"මට ඔබේ රුපවාහිනිය ඕනෑ නැහැ. මම රුපවාහිනියක් පටන් ගන්නවා" ඇයද  තදින් ම කීවාය.
("පුහ්! පුළුවන් නම් කරපන්" ඇහෙන්නට එහෙම නොකීවත්, ඔහු සිතින් එය මුමුණන්නට ඇත.)

EWTN සේවාව (Eternal Word Television හෙවත් "සදාතනික වචනය රුපවාහිනිය") ආරම්භ වීමේ උත්ප්‍රේරකය වූයේ ඇගේ එම තීරණය බව රේමන්ඩ් අරෝයෝ කියයි.

ආපසු කන්‍යාරාමයට පැමිණි ඇන්ජලිකා මව් තුමිය සිය ගරාජය ස්ටුඩියෝවක්  බවට පත්කලාය. EWTN ආයතනයේ ප්‍රථම ස්ටුඩියෝව වූයේ මෙම "ගරාජ්-ස්ටුඩියෝවයි". 1981 අගෝස්තු 15 වනදා දේවමාතාවන්ගේ ස්වර්ගාරෝපණ මංගල්‍ය දින EWTN දොරට වැඩියේය. මේ වන විට එම රුපවාහිනිය පැය 24 පුරාම වැඩසටහන් කරමින් ලොව පුරා රටවල් 144 කට නිවාස දසලක්ෂ 264කට ලඟා වෙයි. දැන් මෙම ආයතන සතුව කෙටි තරංග මීටර රේඩියෝවක් ද National Catholic Register නම් පුවත්පතක් සහ CNA (Catholic News Agency) නමැති ප්‍රවෘත්ති සේවාව ද අයත් වේ.

 මෙලෙස ශ්‍රී ලංකාවේ කතෝලික ජනතාව Verbum TV නාලිකාව ඔස්සේ අද නරඹන දැන්  දැවන්තයකුව සිටින EWTN නාලිකාව ආරම්භ වූයේ  "ගරාජ් කෑල්ලක්" තුළය. (කුරුසියේ නාට්‍යයෙන් හා උත්ථානයේ ජයග්‍රහණයෙන් මුදුන් පත්වූ ක්‍රිස්තු ගමන, ගව මඩුවක් හා වඩු මඩුවක් තුළ තුළ ආරම්භ වුණා වාගේ ය.)

දුක් වේදනා තුළ සමිඳුන් අත්දැකීම

කෙසේ නමුත් ඇන්ජලිකා මව් තුමිය ද කුරුසියට කර දුන්නාය. 2001 දී ආඝාතය රෝගයෙන් ඔත්පල වූ ඇය ඉකුත් වසර 14ම ගෙවූයේ එම රෝගය හා සුබවාදීව සටන් වදිමිනි. "එහෙත් මේ අවුරු 14 එතුමියට නාස්තියක් වුනේ නැහැ" යැයි එතුමියගේ ම නිකායේ ඩොලෝරේස් මව්තුමිය කියයි. "බොහෝ විට අංජලිකා මව්තුමියගේ ජීවිතයේ අති ගැඹුරු ම කර්තව්‍යයන් සිදු වන්නට ඇත්තේ මේ කාලය තුලයි. ඇයගේ නිශ්ශබ්දතාව හා දුක් වේදනා තුළ එම මහඟු සේවාව සිදු වන්නට ඇති." 

 "ඇය  දැන් ස්වර්ගයේ" - සුදොතුම් පියතුමා කියයි 


 
ඉකුත් දා පැවැති පොදු හමුවේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඇන්ජලිකා මව් තුමිය වෙනුවෙන් විශේෂ යැදුමක්  කළේය. එතුමා විශ්වාසයෙන් ප්‍රකාශ කලේ ඇය දැන් ස්වර්ගයේ සදාතනික ජීවිතයට පිවිස සිටින බවයි. එතුමා මේ බව කියා සිටියේ EWTN රෝම බියුරෝවේ වාර්තාකරුවන් පොදු හමුව අවසානයේ එතුමන් මුණගැසුණු අවස්ථාවේ දී ය.

මව්තුමියගේ සේයාරුවක් සුදොතුම් පියතුමාට  දුන් එම වාර්තාකරුවෝ  එම සේයාරුව ආසිරි ගන්වා  ඒ සමගම එතුමියගේ ආත්මය වෙනුවෙන් යදින්නැයි ඉල්ලා සිටියහ.

මෙහිදී මුලින්ම සිය ඇඟිල්ල ඉහලට එසවූ සුදොතුම් පියතුමා " ඇය දැන් ස්වර්ගයේ" යයි කියා සිටියේය: පසුව  සේයාරුව ආසිරි ගන්වා ය වෙනුවෙන් යාච්ඥා කළේය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය