"යුක්තිසහගත යුද්ධය" සභාවේ වැරැදි ඉගැන්වීමක්; වහා එය වෙනස් කල යුතුයි.සියලු යුද්ධ විනාශකාරියි." ඉහළපෙලේ වතිකාන සමුළුවක් කියයි.

 High level Vatican conference blasts "Just War" theory: Appeals for promotion of nonviolence instead 


"සියලු යුද්ධ විනාශකාරියි": හිරෝෂිමාවට පරමාණු බෝම්බය  හෙළීමෙන් පසු.......(1945)
(2016 අප්‍රේල්  18)
කතෝලික සභාව ශත වර්ෂ ගණනාවක් පුරා දැරූ න්‍යායක් වූ "සාධාරණ හෙවත් යුක්තිසහගත යුද්ධය" යන ඉගැන්වීම ප්‍රතික්ෂේප කිරීමට වතිකානයේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී වූ සාමාජිකයෝ තීරණය කරති. ඔවුන්  පෙන්වා දෙන්නේ  අර්බුද ප්‍රචණ්ඩව හා යුද්ධයෙන් විසඳා ගැනීම යුක්තිසහගත කිරීම සඳහා  සභාවේ එම මතය දීර්ඝ කාලයක් පුරා අවභාවිත කරනු ලැබ  ඇති බවයි.  වැරැදි සහගත වූ මෙම ඉගැන්වීම අත්හැර දමා ජේසු සමිඳුන් ගේ අවිහිංසාවේ ඉගැන්වීම වෙත හැරීම කෙරෙහි සභාව සිය අවධානය යොමු කල යුතු බව ඔව්හු අවධාරය කරති. එපමණක් නොව, යුද්ධය හා ප්‍රචණ්ඩත්වය පිලිබඳ සභාවේ ඉගැන්වීම නව මං ගැන්වෙන විශ්ව ලේඛනයක් හෝ එබඳු ප්‍රධාන පෙළේ ලියවිල්ලක්  නිකුත් කරන ලෙස ද ඔව්හු ප්‍රැන්සිස් පාප් වහන්සේගෙන් ඉල්ලා සිටිති. 

මෙම ප්‍රකාශය නිකුත් කරනු ලැබුවේ යුක්තිය හා සාමය පිලිබඳ ශුද්ධාසන කොමිසමේ සංවිධායකත්වයෙන් තුන් දිනක් පුරා වතිකානයේ පැවැති සම්මන්ත්‍රණයක් අවසානයේ දීය. සාමය පිලිබඳ ජාත්‍යන්තර කතෝලික සංවිධානය වන "පාක්ස් ක්‍රිස්ටි" සංවිධානය ද එහි සම අනුග්‍රාහකයෙක් විය. සම්මන්ත්‍රණයේ  අවසන් ප්‍රකාශනය අප්‍රේල් 14 වනදා නිකුත් කරනු ලැබිණ.

ප්‍රකාශනයක් මෙන්ම ආයාචනයක් ද ඇතුලත් මෙම ලියවිල්ල නිකුත් කරමින් 80 දෙනෙකුගෙන් සමන්විත ඊට සහභාගිවූවන් කියා සිටියේ "යුක්තිසහගත යුද්ධයක්" කියා දෙයක් නොමැති බවයි.

" 'යුක්තිසහගත යුද්ධය' (Just War) යන න්‍යාය නිතරම යොදාගෙන ඇත්තේ යුද්ධ වැලැක්වීම හෝ ඒවා සීමා කිරීමට වඩා ඒවා අනුමත කිරීමටය. 'යුක්තිසහගත යුද්ධයක්' තිබිය හැකිය යන මතය නිසා, ගැටුමක් අවිහිංසාවාදීව වෙනස් කිරීමේ ක්‍රියාමාර්ග සහ හැකියාවන් නිර්මාණය කරගැනීමේ සදාචාරාත්මක අවශ්‍යතාවය  පීඩාවට පත් වේ."

" එබැවින්, සුබ අස්නේ අවිහිංසාවාදයට අනුරූපවන නව රාමුවක් අපට අවශ්‍ය වේ. ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙන්ම උන්වහන්සේ ගේ පුර්වගාමීන් සිව් දෙනා ද යුද්ධයට එරෙහිව කතා කර තිබේ. .....මේ නිසා සුබ අස්නේ ප්‍රකාශ වන අවිහිංසාවට අනුරූප වන ලෙස යුක්තිසහගත සාමයක් පිලිබඳ ඉගැන්වීමක්  නිර්මාණය කොට ඊට යොමුවීම කෙරෙහි කතෝලික සභාව සලකා බැලිය යුතුයැ" යි සම්මන්ත්‍රණ ප්‍රකාශනය කියයි.

 'යුක්තිසහගත යුද්ධය' (Just War) යනු, (ගැටුම් නිරාකරණය සඳහා) ප්‍රචණ්ඩත්වය යොදා ගැනීම, ශීල ධාර්මික වශයෙන් සාධාරිණිකරණය කළ හැකිද යන්න විමසා බැලීමට සභාව සාම්ප්‍රදායික වශයෙන් යොදා ගන්නා නිර්ණායක කිහිපයකි. ඇතැම් අවස්ථාවල  ගැටුම් නිරාකරණය කිරීම සඳහා යුද්ධ ප්‍රකාශ කිරීම හෝ  ප්‍රහාර එල්ල කිරීම යම් යම් නිර්ණායක මත "යුක්ති සහගත" බව මෙම න්‍යාය මගින් උගන්වනු ලබයි.  මෙය ප්‍රථමයෙන් ඉදිරිපත් කරන ලද්දේ සිව්වන සියවසේ ජීවත් වූ හිපෝහි ශාන්ත අගුස්තීනු රදගුරු තුමාය. ඉන් දීර්ඝ කාලයකට පසුව ශාන්ත තෝමස් අක්වයිනස් තුමා (13 වන සියවස) විසින් එය ගැඹුරින් විස්තර කරන ලදී. එතුමන් ගේ ඉගැන්වීම් කතෝලික සභාවේ ධර්මෝපදේශ සංග්‍රහයට ද ඇතුළත්ව තිබේ.

ඊට සියවස් ගණනාවකට පසුව එම මතය යළි සලකා බැලීමට වතිකානයේ ප්‍රධානත්වයෙන් ම පියවර ගනිමින් තිබේ. ඉකුත් 11 වැනිදා සිට 13 වනදා දක්වා  පැවැති සම්මන්ත්‍රණය එහි ප්‍රතිඵලයකි. ලොව පුරා අවිහිංසාවාදී අරගලවලට සම්බන්ධ විශේෂඥයෝ රැසක් මෙම සම්මන්ත්‍රණය එක්ව සිටියහ.

 දේවධර්මවේදීහු රැසක් "යුක්තිසහගත යුද්ධ" ඉගැන්වීම විවේචනයට ලක් කර තිබිණි. ඔවුන් පෙන්වා දී තිබුනේ එය යල්පැන  ගොස් ඇති මතයක් බවයි. එක අතකින් අති භයානක හා ප්‍රබල අවි නිපදවා ඇති නූතන යුගයේ මෙය විනාශයට අත  වැනීමකි. තවත් අතකින් අවිහිංසාවාදී ක්‍රියාමාර්ග ඔස්සේ සංකීර්ණ ගැටුම් නිරාකරණය කර ගැනීම ගැන සාක්ෂි රැසක් ද මෙම යුගයේ දක්නට ලැබේ. එබැවින් මෙම මතය ඉවත්කරන්නට කාලය පැමිණ ඇති බව ඔවුන් පෙන්වා දී තිබිණ.සාමය පිලිබඳ  වතිකාන මන්ත්‍රණ සභාව මෙම සමුළුව කැඳවන ලද්දේ එම ඉල්ලීම් වල ප්‍රතිඵලයක් ලෙසයි.

ඉකුත් 14 වනදා පැවැති මාධ්‍ය හමුවක දී සම්මන්ත්‍රණයේ ප්‍රකාශනය නිකුත් කෙරිණි. මෙම ප්‍රකාශනය නම් කර ඇත්තේ "සුබ අස්නෙන් ප්‍රකාශ වන අවිහිංසාවාදයේ කේන්ද්‍රීය ඉගැන්වීම කෙරෙහි යළි කැපවන ලෙස කතෝලික සභාවට කෙරෙන ආයාචනය" යන්නයි.

සභාව තවදුරටත් "යුක්ති සහගත යුද්ධය" ගැන ඉගැන්වීමෙන් වැලකී සිටිය යුතු යයි  සහභාගිවූවන් කිහිප දෙනෙක් ම මෙහිදී කියා සිටියහ. "මම මේ සමුළුවට බොහෝ දුර සිට පැමිණියේ යුද්ධය කල් ඉක්මවා පැවැති බවට ඉතා පැහැදිලි මනසකින්" යැයි උගන්ඩාවේ ගුලූ හි අගරදගුරු අතිඋතුම් ජෝන් බැප්ටිස්ට් ඔඩාමා හිමි කියා සිටියේ ය. "එය අපේ අද ලෝකයට නොගැලපෙන යල් පැනගිය දෙයක්. අප මේ කරුණ ඉතා ප්‍රබල හඬකින් ප්‍රකාශ කළ යුතුයි: එනම් සෑම යුද්ධයක්ම ගෙන දෙන්නේ විනාශයක්. විනාශය තුළ යුක්තියක් හෝ සාධාරණයක් නැහැ " යැයි එතුමා අවධාරණය කළේය.

"විනාශය යුක්තිසහගත කළ නොහැකියි"- ශ්‍රී ලංකාව 2008-2009

නූතන කතෝලික ධර්මොපදේශයේ යුද්ධය යුක්තිසහගත වන එක් අවස්ථාවක් පිළිබඳව මෙසේ නිර්නායකයක් දී තිබේ: "මුලිනුපුටා දැමීමට උත්සාහ කරන නපුරට වඩා  බරපතල නපුරක් ආයුධ සන්නද්ධ ක්‍රියාමාර්ගයක් මගින් බිහි නොකරයි නම්..." මෙම නිර්නායකයෙන් ම කියවෙන්නේ යතාර්ථවාදීව බලන කල යුද්ධය ප්‍රතික්ෂේප කල යුතුය යන්න බව ඔඩාමා අගරදගුරු හිමි පෙන්වා දුන්නේ ය. "සම්මන්ත්‍රණ කණ්ඩාම මෙන්න මෙය තමයි ඉතා ප්‍රබලව පෙන්වා දුන්නේ. අප මේ මොහොතේ යුද්ධයට හේතු දැක්වීමට ඉඩ ලබා නොදිය යුතුයි. අප  ඒවාට බාධා කොට සංහිඳියාවේ, සමගි සන්ධානයේ, සහෝදරත්වයේ සම්බන්ධතාවලට මග සකස් කල යුතුයි" එතුමා පැහැදිලි කළේය.

"එක පැත්තකින් යුද්ධයේ යතාර්ථය දෙසත් අනෙක් පසින් ජේසු සමිඳුන් ගේ ම ඉගැන්වීම් දෙසත් බලා අප විමසන්නේ මෙයයි: සභාවේ වගකීම කුමක් ද?" මෙසේ විමසුවේ "පාක්ස් ක්‍රිස්ටි" ජාත්‍යන්තරයේ සම සභාපති මාරි ඩෙනිස් ය. "අප විශ්වාස කරන ආකාරයට එම වගකීම නම් අවිහිංසාව ප්‍රවර්ධනය කිරීමයි" ඇය අවධාරණය කළාය.

(NCR)


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය