සුදොතුම් පියතුමා සසල කල කිතුනු තරුණියක හා විවාහ වී සිටි සිරියානු මුස්ලිම් තරුණයා ගේ කතාව - (එතුමා ග්‍රීසියේ දී ලද අත්දැකීම්)

"The pain of the Muslim youth who was married to a Christian girl...." Pope shares stories of refugees

සුදොතුම් පියතුමා සරණාගතයන්ගේ අත්දැකීම් වලට සවන් දෙමින් - Pope Francis listening to their stories
(2016 අප්‍රේල්  17)
සරණාගතයන් රඳවා සිටින ග්‍රීසියේ කඳවුරුවල දක්නට ඇත්තේ අති මහත් දුක් වේදනා බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති.

ග්‍රීසියේ සිදුකල හදිසි කෙටි සංචාරයෙන් දිනකට පසු, අප්‍රේල් 17 ඉරිදා, තුන්කාල ආරාධනා යැදුම සඳහා වතිකාන චතුරශ්‍රයට රැස්වූ ජනතාව හමුවේ එතුමා මේ බව කියා සිටියේය. එදින සිය සුපුරුදු මෙනෙහි කිරීමට පෙර සුදොතුම් පියතුමා ග්‍රීසියේ සිය අත්දැකීම වන්දනාකරුවන් සමග බෙදා ගත්තේය..

"මා එහි දුටුවේ දැඩි වේදනාවක්" එතුමා කීවේය. "සරණාගතයන්ටත් ග්‍රීක ජනතාව වෙතත් මම සභාවේ සහෝදරත්වය සහ සහයෝගිතාව රැගෙන ගියා. කොන්ස්තන්තිනොපලයේ ග්‍රීක කතෝලික නායක බර්තොලොමිව් පෙත්රියාක් තුමාත් ඇතන්ස් නුවර දෙවන ඉරෝනිමස් අගරදගුරු තුමාත් සමගයි මා මේ අවස්ථාවට සහභාගී වුනේ. මේ මගින් අපට අවශ්‍ය වුනේ දෙවියන් වහන්සේගේ ජනතාව දයාවේ ක්‍රියාවලදී එක්සත්ව සමගිව කටයුතු කරන බව සංකේතාත්මකව පෙන්වීමටයි. "

අප්‍රිකානු සහ මැදපෙරදිග රටවල පවතින බියකරු ප්‍රචණ්ඩකාරී තත්ත්ව වලින් දිවි  ගලවා ගැනීමට පලා එන  ජනතාව යුරෝපයට ඇතුළුවන දොරටුව  වී ඇත්තේ ග්‍රීසියේ ලෙස්බොස් දුපත හා ඒ අසල ඇති කොස් දුපතයි. එහෙත් මේ වන විට එහි සිට යුරෝපයට යා ගත නොහැකිව සරණාගතයන් දසලක්ෂයක පමණ පිරිසක් එම දිවයින් වල රඳවනු ලැබ සිටිති. 2015 වසරේ පමණක් මෙලෙස පැමිණි සරණාගතයන් සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවන බව එක්සත් ජාතීන් ගේ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය පවසයි.

ඉරාකය, සිරියාව, ඇෆ්ගනිස්තානය සහ අප්‍රිකා මහාද්වීපයෙන් පැමිණි සරණාගතයන් රඳවා සිටින  මෙවැනි කඳවුරක් වෙත සුදොතුම් පියතුමා සෙනසුරාදා ගියේය.

"මෙහි සිටින සරණාගතයන් 300ක් සමග පමණ අප - අප තුන් දෙනාම - පෞද්ගලිකව කතා කළා" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වතිකාන චතුරශ්‍රයේ සිටි වන්දනාකරුවනට පැවසීය. එතුමා කියා සිටියේ ඒ අතරින් බහුතරයක් තම හදට බොහෝ සමීප අය බවයි:

"මේ අතරින් බොහෝ දෙනෙක් ළමයින්. මේ ළමයින් ගෙන් හුඟ දෙනෙක් තම දෙමාපියන් සහ යහළුවන් මියයන අයුරු තම දෙනෙතින් ම දැක තිබෙනවා. සමහරුන් යුද්ධය හේතුවෙන් මිය ගිය අතර තවත් අය  මියගොස් තිබෙන්නේ මුහුදේ ගිලීමෙන්." (මෙම සරණාගතයන් මධ්‍යධරනී මුහුද තරණය කර යුරෝපයට එන්නේ ඇතැම් විට මුහුද ප්‍රචණ්ඩ වෙලාවලදීය. මේ නිසා මෙම ගමන් වලදී  මිය යන සංඛ්‍යාව අපමණය.)

සුදොතුම් පියතුමා සිය අත්දැකීම් තව දුරටත් විස්තර කළේය.

"මා හමුවන්නට පැමිණි මුස්ලිම් තාත්තා කෙනෙක් මා ඉදිරියේ බොහෝ සේ හඬා වැලපුණා. ඔහුට දරුවන් දෙදෙනෙකු සිටිනවා. තමන් විවාහ වී සිටියේ කිතුනු තරුණියක සමග බවත් තමන් ඇයට බොහෝ සේ ආදරය කල බවත්  ඔහු මට කීවා. එහෙත් කනගාටුදායක ලෙස ත්‍රස්තවාදීන් මෙම තරුණ අම්මාව ඝාතනය කළා. ඒ, ඇය ක්‍රිස්තුන් වහන්සේව  අත්හැර දැමීම  ප්‍රතික්ෂේප කල නිසයි. ඇයගේ විශ්වාසය අත්හැරීම ප්‍රතික්ෂේප කල නිසයි. ඇය ප්‍රාණපරිත්‍යාගීවරියක්" සුදොතුම් පියතුමා හැඟුම් බරව කීවේය.


මේ අතර, වතිකානය බලා එන අතර සුපුරුදු පරිදි ගුවන් යානයේ තුළ  පැවති මාධ්‍ය හමුවේදී සුදොතුම් පියතුමා කියා සිටියේ මෙම දිනය නෙතට කඳුළු නැගෙන දිනයක් බවයි.

"මෙහිදී මා අද දුටු දේ...මෙහි දී ඔබ අද දුටු දේ ....අප හැම දෙනාවම හඬවනවා..." ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය අත්දැකීම විස්තර කරමින් කියා සිටියේය.

සරණාගත කඳවුරේ දී ළමයින් එතුමාට දුන් ඔවුන් විසින් අඳින ලද චිත්‍ර කිහිපයක් සුදොතුම් පියතුමා මාධ්‍යවේදීනට පෙන්නුවේය. එහි එක චිත්‍රය තිබුනේ විශාල බෝට්ටුවක් සහ එහි පසෙකින් මුහදට වැටී සිටි මිනිසෙකි.

"බෝට්ටුවේ පැමිණි කෙනෙක් මුහුදට වැටෙනවා මේ චිත්‍රය ඇඳපු දරුවා දුටුවා....මේ බලන්න මේ චිත්‍රය දිහා.. මෙහි හිරු හඬනවා...හිරු හඬනවා නම් අපත් අඩුම වශයෙන් එක කඳුලක් හෝ සැලිය යුතුයි...මන්ද මේ දරුවන් තම වේදනාබර අත්දැකීම් මුළු ජීවිතය පුරා රැගෙන යනවා..."එතුමා විස්තර කළේය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය