සරණාගත වූ ඉරාක කිතුනුවනට පාප් වහන්සේගෙන් සෙනෙහසේ තිළිණ

 Iraqi Christians get Vestments and financial aid from Pope Francis



(2016 අප්‍රේල්  1)

සිය සෙනෙහසේ සහ සමීපබවේ සංකේතයක් ලෙස එර්බිල්හි අවතැන්ව සිටින ඉරාක කිතුනුවනට ජනවන්දනා ඇඳුම් සහ මුදල් ආධාරයක් යැවීමට සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර තිබේ.

අද සිට ඉරාකයේ සංචාරයක යෙදෙන ප්‍රමුඛතම කතෝලික දයා සේවාවක් වන  Aid to the Church in Need (ACN) නියෝජිත කණ්ඩායම අත මෙම සෙනෙහසේ තිලිණ යැවීමට  එතුමා තීරණය කර ඇත. සුදොතුම් පියතුමා මෙම තීරණය ගෙන ඇත්තේ එම නියෝජිත කණ්ඩායම ඉරාක කුර්දිස්ථානයට යන බව දැනගැනීමෙන් පසුවයි. නියෝජිත කණ්ඩායමේ සාමාජිකයකු වන කාර්පි හි රදගුරු ප්‍රැන්සෙස්කෝ කැවිනා හිමිපාණන් වෙත සුදොතුම් පියතුමා මෙම තිළිණ යවා තිබේ. එම තිලිණ සමග ලිපියක් ද යවන එතුමා කියා සිටියේ "විපතට පත් අපගේ මෙම සහෝදර සහෝදරියන් ගේ කඳුළු වියලීමටත්, ශාරීරික හා මානසික තුවාල සුවපත් කිරීමටත් වේදනාවට පත්ව ඇතැම්විට  අතරමංවී ඇති ඔවුන් ගේ හදවත් සැනසීමටත් ඔවුන් වෙත අප නැමිය යුතු බව දයා කරුණාව අපට උගන්වන" බවයි.

"මෙය හුදෙක් දයාවේ ක්‍රියාවක් පමණක් නොවේ. එය ඔබගේ 'දේහයට' ද සහනයකි. අත් උදව්වකි" යැයි එතුමා කියයි. "මන්ද, තම පොදු ප්‍රසාද ස්නාපනය නිසා සියලු කිතුනුවන්  ක්‍රිස්තුන් වහන්සේ තුළ 'ඒකත්වයක්' වන නිසාය." 

කැවිනා රදගුරු තුමන් සහ නියෝජිත පිරිස අද සිට අප්‍රේල් 4 වනදා දක්වා ඉරාක කුර්දිස්ථානයේ එර්බිල් ප්‍රදේශයේ සිටින කිතුනු සරණාගතයන් බැහැදකිති. මෙම ගමන ගැන දැනගත් පාප් වහන්සේ තමන්ට කතාකොට "අපගේ සහෝදර සහෝදරියනට කිසියම් තිළිණයක් යැවිය යුතු බව " පැවසී යැයි කැවිනා රදගුරුතුමා ACN වෙබ් අඩවියේ ප්‍රකාශ කරයි. එතුමා මෙම පූජා ඇඳුම් හා මුදල් ආධාරය ඒවා ඇත්තේ ඒ අනුවයි.

"මෙම බැහැදකීමේ චාරිකාව, අපගේ සහෝදර සහෝදරියන් වෙත අපගේ  මිත්‍රත්වය, සභා අතර පොදු සහභාගිකම හා සමීපබව ප්‍රකාශ කිරීමේ මුලික අවස්ථාවකි. ඔවුන් මුහුණ දී සිටින මහත් කරදර හා සන්තාපයන් ද පීඩනය ද මාගේ සිත මහත් වේදනාවට පත් කර තිබේ. එපමණක් නොව ස්වකීය ආගමික විශ්වාසය ප්‍රකාශ කිරීමට සෑම  පුද්ගලයකුම සතු ඉවත් කල නොහැකි අයිතිවාසිකම ආරක්ෂා කිරීමට එම පීඩා අපට වඩා ප්‍රබලව ආරාධනා කරයි." යයි සුදොතුම් පියතුමා අවධාරණය කරයි.

මෙම කිතුනුවනට එරෙහිව සිදුවන සිත් කම්පා කරවන වදහිංසා අමතක නොකකරන්නැයි සුදොතුම් පියතුමා ඉරාකයට යන ACN නියෝජිත කණ්ඩායමෙන් ඉල්ලා සිටියි. "ඉරාක කිතුනුවෝ එඩිතරව, දිරිමත්ව හා ඉවසිලිවන්තව සිය ඇදහිල්ලට සාක්ෂි දරති.  නව මානුෂවාදයක අරුනලු උදාකරන ජවයත් ශක්තියත් ජනිත කෙරෙන පාස්කු අබිරහසේ සාරවත් උල්පත යළි අනාවරණය කර ගැනීම සඳහා සමස්ත සභාවට ම ආරාධනයක් ඇති බව මෙම ජීවිත සාක්ෂියෙන් නියෝජනය වෙයි." යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය තිළිණ සමග කවිනා රදගුරුතුමාට යැවූ ලියුමේ වැඩිදුරටත් සඳහන් වෙයි.

 මෙම නියෝජිත කණ්ඩායම එර්බිල්හිදී සිරියැක් අගරදගුරු යුහානා බුත්‍රොස් මෝෂේ හිමිපාණන් ද හමුවූහ. 2014 ජුනි මාසයේ ඉස්ලාම් රාජ්‍ය සංවිධානය (ISIS ) ඉරාකයේ මොසුල් නගරයට කඩා වැදී එම නගරය අවි බලයෙන් අල්ලා ගන්න තෙක්  මෝෂේ අගරදගුරු තුමා මොසුල් සිරියැක් අග්‍රඑපාකියේ ප්‍රධානියා ලෙස සේවය කළේය. ඉන්පසු සිය කිතුනු විශ්වාසිකයන්  ද සමග ඒම නගරයෙන් පලා ආ එතුමා දැන් එර්බිල් නගරයේ ජීවත් වෙයි. ACN නියෝජිත කණ්ඩායම චෙර්බිල් හි චැල්දියාන අගරදගුරු බශාර් වර්දා හිමිපාණන් ද මුණගැසීමට නියමිතය. එතුමා එර්බිල්හි කිතුනු සරණාගත මධ්‍යස්ථාන බැහැදැකීමට එම නියිජිතයන් කැටුව යනු ඇත.

ඉරාකයේ ජීවත්වූ  කිතුනුවෝ බහුතරයක් රෝමානු කතෝලික නොවෙති.  ඔවුන් අයත්වන්නේ කොප්ටික් හෝ සිරියැක් කතෝලිකයෝය. එහෙත් කිතුනු සභා අතර සංවාදය සුදොතුම් ප්‍රැන්සිස්  පාප් වහන්සේ ගේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ අංකයක් බවට පත්ව තිබේ. එතුමා සෑම විටම අවධාරණය කරන්නේ සියලු කිතුනුවන් - ඉවැන්ජලිකල් නිකායයන් පවා - එකම පොදු ප්‍රසාද ස්නාපනයේ හවුල් කරුවන් නිසා, එකම ක්‍රිස්තු දේහයේ අවයව බවයි. මේ නිසා ඕනෑම ප්‍රදේශයක ඕනෑම නිකායක හෝ සභාවක කිතුනුවකුට වද හිංසා සිදුවන සෑම මොහොතකම සෑම කිතුනුවකුට ම එය දැනිය  යුතු බව එතුමා කියයි. එසේම කිතුනුවන් අතර පවතින භේද එතුමා හඳුන්වන්නේ "අවාදර්ශයක් හා අපචාරයක්" ලෙසයි. එබැවින් මෙය ශ්‍රී ලංකාවේ කිතුනුවන් අතර ඇති සම්බන්ධතා සහ සංවාදය ගැන අවංක භාවනාවක යෙදීමට අපට අභියෝග කරයි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය