ග්‍රීසියේ දුක්විඳින සිරියානු මුස්ලිම් සරණාගතයන් 12 දෙනෙක් සුදොතුම් පියතුමා තම යානයෙන් ම වතිකානයට කැටුව එයි

Pope returns home from Greece with 12 Syrian refugees 



(2016 අප්‍රේල්  16)
සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ග්‍රීසියේ  සිට ආපසු වතිකානයට එන ගමනේ දී සරණාගතයන් 12 දෙනෙකුද තමන් සමග රැගෙන යති.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සෙනසුරාදා (2016 අප්‍රේල් 16) ග්‍රීසියේ ලෙස්බොස් දිවයිනේ හදිසි චාරිකාවක නිරත විය. එතුමා එහි ගියේ එහි රැඳී සිටින සරණාගතයන් බැහැදැකීම සඳහාය. ඔවුන් සමග  ගත කරන සුළු කාලය තුළින්, තම උන් රටත් ඉන්නට සිටින්නට තැනකුත් නොමැතිව සිටින මෙම සරණාගතයන් පිළිගැනීමට යුරෝපයේ රටවල්වලට කිසියම් බලපෑමක් කිරීම එතුමන් ගේ අරමුණ වී තිබිණ. ඉරාකය සහ සිරියාව යන රටවල පවතින යුද්ධ සහ ප්‍රචණ්ඩ ක්‍රියා වලින් පළා එන සරණාගතයන් යුරෝපයට ඇතුළුවන මුවදොර වී ඇත්තේ ග්‍රීසියේ  ලෙස්බොස් දූපතයි. කිසියම් රටක් විසින් තමන් පිළිගන්නා තෙක් සිය දරුවන් ද කරපින්නා ගෙන ඔවුන් රැඳී සිටින්නේ මේ දිවයිනේ යි.

සෙනසුරාදා සුදොතුම් පියතුමා දිවයිනට පැමිණි විට මෙම සරණාගතයෝ විවිධාකාරයෙන් එතුමාට ප්‍රතිචාර දැක්වූහ. පසුව එහි මොයිරා කඳවුරේ රඳවනු ලැබ සිටින සරණාගතයන් ඇමතූ පාප් වහන්සේ " ඔබ තනිවී නොමැති බව සිතන්න" යයි ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. "ඔබගේ බලාපොරොත්තු නැති කරගන්න එපා! අපට අප එකිනෙකාට ලබා දිය හැකි උතුම්ම තිළිණය ආදරයයි" යැයි ද එතුමා කියා සිටියේය.

සරණාගතයන් සමග මෙම දිනය ගත කොට ආපසු වතිකානයේ සිය ගෙදරට එද්දී ප්‍රැන්සිස් පාප් වහන්සේ තනිව පැමිණියේ නැත. එතුමා ආවේ සරණාගතයන් 12 දෙනෙකු ද සමගය.

මෙම සරණාගතයන් සියලු දෙනාම මුස්ලිම් ආගමිකයෝය.

මෙම 12දෙනා පවුල් තුනකට ඇතුලත්වෙති.

එක පවුලක මව සහ පියා යන දෙදෙනාම ඉන්ජිනේරුවෝය. ඔවුන්ට දෙහැවිරිදි සිය පුතා ද සමග සිරියාවේ සබදානි ප්‍රදේශයෙන් පලා එන්නට සිදුවූයේ පාලක බෂීර් අල් අසාද් රෙජීමයේ ගුවන් හමුදා විසින් ඔවුන් සිටි ප්‍රදේශයට දැඩි බෝම්බ ප්‍රහාර එල්ල කරන්නට වූ නිසාය. දෙවැනි පවුලේ මව ගුරුවරියකි. පියා ඇඳුම් මසන්නෙකි. 50 හැවිරිදි ඔවුන්  ජීවත් වූනේ ඉරාක දේශ සීමාවේ පිහිටි දෙයි අල්ෂුර් ගමේය. එම ගම්මානය ISIS ත්‍රස්තවාදීන් විසින් අල්ල ගැනීමෙන් පසු ඔවුනට සිය දරුවන් තිදෙනා ද සමග ජීවිතය පතා පලා එන්නට සිදුවිය.  තෙවන පවුලේ පුංචි පුතා තවමත් නිතරම නින්දෙන් තිගැස්සී අවදි වී භ්රාන්ත වී කතා කර ගත නොහැකිව බොහෝ කාලයක් බලා සිටියි.

මේ 12 දෙනා ඉතාලියට පැමිණියේ පාප් වහන්සේ සමග එතුමන් ගේ ගුවන් යානයෙන්මය.

මේ අතර, වතිකානය බලා එන අතර සුපුරුදු පරිදි ගුවන් යානයේ තුළ  පැවති මාධ්‍ය හමුවේදී සුදොතුම් පියතුමා කියා සිටියේ මෙම සරණාගතයන් 12 දෙනා රැගෙන ඒමට අවස්ථාව උදා වූයේ "ශුද්ධාත්ම අනුහසින්" බවයි.

ආපසු රෝමයට යන ගමනේ දී සරණාගත පවුල් කිහිපයක් කැටුව යා හැකිදැයි තමන් සමග පැමිණි නිලධාරියෙක් තමන්ට යෝජනා කල බව ප්‍රන් සිස් සුදොතුම් පියතුමා වාර්තාකරුවන්ට කිවේය. "මා ඊට කැමති වුණා. මා දුටුවේ එය ශුද්ධාත්ම අනුප්‍රාණයෙන් සිදුවන්නක් ලෙසයි."

අවසානයේදී මෙම 12 දෙනාට එදිනම පියාසර කළහැකි වන පරිදි අවශ්‍ය ලිපි ලේඛන සකස් කිරීමට ඉතාලි සහ ග්‍රීක බලධාරීනට හැකියාව ලැබී තිබිණ.

"මේ 12 දෙනාම මුස්ලිම් කියන කාරණය මෙහිදී ප්‍රශ්නයක් වුනේ නැහැ. දේව දරුවන් හැම කෙනෙනෙකුම මේ කාරණාවට ඇතුලත්වෙනවා," එතුමා අවධාරණය කළේය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය