බ්‍රසල්ස් ප්‍රහාර ගැන පාප්වහන්සේ ශෝක වෙති

Pope Francis grieves Belgium Violence; condemns "Blind Violence"  

බෙල්ජියම් ගුවන් තොටුපලේ දක්නට ලැබුණු  සුන්බුන්

(2016 මාර්තු 22)
බ්‍රසල්ස් නුවර සිදු වූ පිපිරීම්  හා ඒවායින් විපතට පත්වූවන් ගැන සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ශෝක වෙති.

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ජාත්‍යන්තර ගුවන්  තොටුපලේ සහ මෙට්‍රෝ රේල් දුම්රිය ස්ථානයක අද (2016 මාර්තු 22) පස්වරු කාර්ය බහුල වෙලාවේ දී මෙම බෝම්බ පිපිරීම් සිදු විය. මෙයින් මිය ගිය හා තුවාල ලැබුවන් ගේ සංඛ්‍යාව වැඩි වෙමින් තිබේ. සිද්ධියෙන් පසු නගරය වසා දැමීමට බෙල්ජියම් ෆෙඩරල් ආණ්ඩුව තීරණය කළේය. තමන් සිටින ස්ථානවලින් (ගෙදර, පාසල් හෝ රැකියා ස්ථාන වලින්) පිටතට නොපැමිණ ඒවා තුළටම වී සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

මෙම ක්‍රියාව හෙලා දකින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසන්නේ එය "අන්ධ ප්‍රචණ්ඩ ක්‍රියාවක්" බවයි. සිද්ධියෙන් විපතට පත්වූවන් හා ඔවුන් ගේ ඥාතීන් ද එයින් කම්පනයට පත්වූ බෙල්ජියම් ජනතාව වෙනුවෙන් ද තමන් යාච්ඥා කරන බව පවසන එතුමා සාමය වෙනුවෙන් ක්‍රියා කරන්නැයි ලෝක ප්‍රජාවට යළිත් ආයාචනා කරයි.
"බොහෝ දෙනෙකු ගේ ජීවිතවලට බලපෑමක් කර ඇති කරනු ලැබූ බ්‍රසල්ස්හි බෝම්බ පිපිරීම් ගැන දැනගත් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ එයින් ජීවිත අහිමි වූ ජනතාව දෙවියන් වහන්සේගේ අපරිමිත දයා කරුණාවට භාර කළහ. එසේම ඔවුන් ගේ අභාවයෙන් ශෝක වන ඥාතීන් හා මිතුරන් සමග උන්වහන්සේ යාච්ඥාවෙන් සමීප වෙති" යි  වතිකානයේ රාජ්‍ය ලේකම් අති උතුම් පියෙත්‍රෝ පැරොලිනි කාදිනල් හිමි පවසයි. එතුමන් මෙසේ පැවසුවේ මෙචලෙන්- බ්‍රසල්ස් හි අගරදගුරු අති උතුම් ජොසෙෆ් ඩි කෙසෙල් හිමිපාණන් වෙත පාප් වහන්සේ වෙනුවෙන් ලිපියක් යවමිනි.

"සිද්ධියෙන් තුවාල ලැබූවන් හා ඔවුන් ගේ පවුල්වල අයටත්, ඔවුන්ට ප්‍රතිකාර කරන හා සහන සේවා සපයන අයටත් සිය සමීප බව හා සංවේදනාව සුදොතුම් පියතුමා  ප්‍රකාශ කරයි. මහත් දුක් වේදනාවලට හේතු වී  ඇති මෙම අන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා දැඩිව හෙලා දකින බව එතුමා යලත් පවසයි. සාමයේ තිළිණය ලබා දෙන ලෙස  දෙවියන් වහන්සේට කන්නලවු කරන එතුමා සිද්ධියෙන් ශෝක වන පවුල්වලටත් සියලු බෙල්ජියම් ජනතාවටත් දේව ආශීර්වාදය ප්‍රාර්ථනා කරයි" යයි පැරොලිනි කාදිනල් හිමියන් බ්‍රසල්ස් අගරදගුරුතුමාට ලියු ලිපියේ වැඩිදුරත් සඳහන් වේ.

 බ්‍රසල්ස් නුවරින් ලැබෙන අලුත්ම වාර්තා පවසන්නේ මෙම සිද්ධියෙන් අවම වශයෙන් 30 දෙනෙකු මියගොස් ඇති අතර 230කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි. ප්‍රථමයෙන් බ්‍රසල්ස්හි සැවෙන්ටෙම් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී බෝම්බ පිපිරීම දෙකක් සිදුවිය. මෙල්බීක් මෙට්‍රෝ දුම්රිය ස්ටානයේ බෝම්බ පිපිරීම සිදු වුයේ ඉන් පැයකට පමණ පසුවයි. මේ අතරින් ගුවන් තොටුපලේ පිපිරීම් මරාගෙන මැරෙන ප්‍රහාර බව බෙල්ජියම් බලධාරීහු පවසති.

ප්‍රහාරයෙන් පසු තුවාල ලැබුවන් පවා තමන් සිටි තැන්වලින් පිටතට පැමිණ හිස් ලු ලු අත දුවන්නට වූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. න්‍යෂ්ටික බලාගාර, බස් හා දුම්රිය ස්ථාන වැනි ස්ථාන වලින් වහාම ජනතාව ඉවත් කිරීමට පියවර ගැනිණි. ප්‍රදේශ කිහිපයක් වසා දමා සෝදිසි කිරීම් ද ආරම්භ විය.

බෙල්ජියම් ආරක්ෂක අංශ විශ්වාස කරන්නේ මෙම ප්‍රහාරය ගියවසරේ නොවැම්බරයේ ප්‍රංශයේ පැරිස් නුවර ප්‍රහාරය එල්ල කල "ත්‍රස්ත සාමාජික ජාලයේම " ක්‍රියාවක් ලෙසයි. මේ අතර, ගුවන් තොටුපලේ ප්‍රහාරය එල්ල කල බවට ආරක්ෂක අංශ සැක කරන පුද්ගලයන් තුන් දෙනෙකු ගේ CCTV ඡායාරූපයක්‌ ජනමාධ්‍ය වෙත දැනටමත් නිකුත්කරනු ලැබ ඇත. මේ අතරින් කළු ඇඳුමින් සිටින තරුණයන් දෙදෙනා ස්වයංඝාතක බෝම්බ පුපුරුවා ගන්නට ඇති බවත්, තුන්වැන්නා තවමත් ජීවත් වන බවත් බුද්ධි අංශ විශ්වාස කරයි.
පිපිරීම සිදු වූ මොහොතේ මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ දර්ශනයක්

තවත් වර්ධනයකට අනුව මෙම ප්‍රහාර තුන  සිදුකෙළේ තමන් බව  ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය හෙවත් ISIS සංවිධානය ප්‍රකාශ කර තිබේ. යකඩ ඇණ සහිත මෙම බෝම්බය තුළ ISIS සංවිධානය භාවිත කරන රසායනික ද්‍රව්‍ය ද්‍රව්‍ය ඇතුළු ඔවුන් ගේ 'නිල සලකුණු'වලින් සමන්විත් වූ බව රස පරීක්ෂයෝ කියති.

නේටෝ සංවිධානයේ සහ යුරෝපා සංගමයේ ප්‍රධාන කාර්යාල පිහිටා ඇත්තේ බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ය.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය