පාපොච්චාරණය: දෙවියන් වහන්සේ ගේ දයා කරුණාවේ ඓශ්චර්යවත් ස්පර්ශය

 "In the Sacrament of confession we touch the grandeur of Mercy with our own hands"



(2016 මාර්තු 9)
"දයාවේ නාලිකාවක් වන්න." සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ලොව පුරා සිටින පාපොච්චාරණය අසන (සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය දානය කරන) සියලුම පූජකතුමන්ලාට දෙන ඔවදන එයයි.

 මෙම තේමාව ඔස්සේ පාප් වහන්සේ යලිත් අනුශාසනා කලේ මාර්තු 4 වැනිදා රෝමයේ දී පැවැති පූජකතුමන්ලා ගේ හමුවක දී ය. සමගි සන්ධානයේ සක්‍රමේන්තුව (පාපොච්චාරණය) නිවැරැදි ලෙස දානය කිරීමට නවක පියවරුන් හා ජ්‍යෙෂ්ඨ දෙව්සත්හල් සිසුන් පුහුණු කෙරෙන වැඩමුළුවක් ඉකුත් සතිය පුරා වතිකානයේ දී පැවැත්වින. ශුද්ධාසන චරිතශෝධනාගාරය වාර්ෂිකව මෙම වැඩමුළුව සංවිධාන කරයි. සාම්ප්‍රදායිකව මෙම පුහුණුව අවසන් වන්නේ සුදොතුම් පියතුමා සමග හමුවකිනි. මෙම දේව ප්‍රසාද නිධානය දානය කරන පියවරුන් ඒ සම්බන්ධයෙන් දැක්විය යුතු ආකල්පයත්, පාපොච්චාරණ ආසනයේ දී එතුමන්ලා ගේ භූමිකාවත් ගැන සුදොතුම් පියතුමා මෙහිදී අනුශාසනා කළේය.

එතුමා අවධාරණය  කලේ පියතුමන්ලා පාපොච්චාරණ සක්‍රමේන්තුව ගැන යාවත්කාලීන වී ඊට හොඳින් සුදානම්ව සිටීම ඉතා වැදගත් බවයි. "පාපොච්චාරණය කිරීමට පැමිණෙන සැදැහැවතුනට, සැබෑ ආධ්‍යාත්මික සාමයේ උල්පත වන දෙවියන් වහන්සේ ගේ දයා කරුණාවේ ඓශ්චර්යය සිය දෑතින්ම ස්පර්ශ කිරීමට හැකිවන්නේ එවිටය" යි එතුමා පෙන්වා දුන්නේ ය.

"දයාව මානව ධර්මගුණයක් වන්නට පෙර, එය සෑම මනුෂ්‍යයකුම වෙනුවෙන්, මනුෂ්‍යයාගේ සදාතනික ගැලවීම වෙනුවෙන්, දෙවියන් වහන්සේ විසින් කරන ලද කිසිදා අත්හැර නොදමන තෝරාගැනීමක් වූයේය. එම තෝරාගැනීම දේව පුත්‍රයාණන් වහන්සේ ගේ ශ්‍රී රුධිරයෙන් තහවුරු කරන ලද්දේ යැ"යි සුදොතුම් පියතුමා කියා සිටියේය.

දයාවේ දොරටු නිරන්තරයෙන් පුළුල්ව විවෘතව ඇතැයි එතුමා නවක පියවරුනටත් දෙව්සත්හල් සිසුනටත් සිහිපත් කළේය. දේව දයාව ජනතාව වෙත ගලා එන මාර්ග එතුමා විස්තර කළේය. "පියාණන් ගේ දයාව විවිධ මාර්ග ඔස්සේ සෑම පුද්ගලයකු වෙතම ලඟාවිය හැකිය. අවංක හර්දය සාක්ෂියක විවෘත බව තුළින්, සිත් හරවන දේව වචනය තුළින්, දයාවන්ත සොහොයුරකු හෝ සොහොයුරියක හමුවීම තුළින් සහ තුවාල, පාප, පව් සමාව හා දයාව සහිත ජීවිතයක අත්දැකීම් තුළින් දයාව අප වෙත ලඟා වෙයි. එහෙත් මේ සියලු මාර්ග අතරින් දෙවියන් වහන්සේ ගේ දයාව අප වෙත ලඟා වෙන  නිශ්චිතම මාර්ගය පව් සමා කිරීමේ බලය ඇති ක්‍රිස්තුන් වහන්සේ ම ය. උන්වහන්සේ එම බලය සභාව වෙත පවරා තිබේ. එබැවින් සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය දෙවියන් වහන්සේ ගේ දයාව අත්දැකීමේ වරප්‍රසාදලත් ස්ථානය"යයි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

"මේ හේතුව නිසා පාපොච්චාරණය දානය කරන්නා 'ආනන්දයේ නාලිකාවක්' වීම වැදගත් ය. 'දයාවේ නාලිකාවක්' වීම වැදගත් ය. අනෙක් අතින්,  පශ්චාත්තාපී වන්නා විශ්වාසවන්ත විය යුතු ය. පව් සමාව ලැබීමෙන් පසු ඔවුන් පාප බර තවදුරටත් නොදැරිය යුතුය. තමන් නිදහස් කළ දෙවියන් වහන්සේ ගේ කාර්යය ඔවුන් රස බැලිය යුතුය. උන්වහන්සේට තුති පුදමින් ජීවත් විය යුතුය. එසේම විවෘතව හා සුහද හදින් තම සහෝදර සහෝදරියන් වෙත යමින් තමන් අතින් සිදු වූ හානියට පිළියම් කිරීමට උත්සහ දැරිය යුතුය."

පාපොච්චාරණය දානය කරන පියවරුන් විසින් ආදර්ශයට ගත හැකි දැන්  සාන්තුවරයන් වන පියවරුන් දෙදෙනෙකු ගැන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සඳහන් කළේය. ඒ, ශාන්ත ලියෝපෝල්ඩ් මැන්ඩිච් තුමන් හා ශාන්ත පියෝ පියතුමන් (පාද්‍රේ පියෝ) ය. මෙම සාන්තුවරුන් දෙවියන් වහන්සේගේ ප්‍රේමය හා දයාව උද්‍යෝගයෙන් ප්‍රකාශ කල බව එතුමා පෙන්වා දුන්නේ ය. බොහෝ දුක් පීඩා විඳින්නන් වෙත සාන්ත ලියෝපෝල්ඩ් තුමන් නිතරම දුන් උපදේශයකින් සුදොතුම් පියතුමා සිය අනුශාසනය අවසන් කළේය:

"අපට ස්වර්ගයෙහි අම්මා කෙනෙකුගේ හදවතක් තිබේ. ඒ මරිය මෑණියන්ගේ හදවතයි. මනුෂ්‍යයකුට දරා ගත හැකි සියලු දුක් වේදනා කුරුසිය පාමුල දී දරා ගත් අපගේ මෑණියන් වන කන්‍ය මරිය වහන්සේ අපගේ සියලු දුක් අමාරුකම් තේරුම් ගන්නා සේක. එසේම එතුමිය අප සනසන සේක. "

"පව්කාරයන් ගේ රක්ෂස්ථානය ද දයාවේ මාතාවන් ද වන මරිය තුමිය, ඉතා වැදගත් වූ අපගේ සමගි සන්ධානයේ දූත මෙහෙවරට මග පෙන්වා  එය පෝෂණය කරන සේක්වා!"

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය