"අකීකරු පුත්‍රයා උපමාවේ එන තාත්තාට 'තුන්වැනි' පුතෙක් ඉන්නවා?": ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාගෙන් එම උපමාවට නව මානයක්

"We can imagine there was a third son to this Father...": Pope Francis' new dimension to the parable of the 'Prodigal Son' 



(2016 මාර්තු 8)
සුවිශේෂක ලූක් තුමා ගේ සුබ අස්නේ එන "සෙනෙහෙවන්ත පියාණෝ" උපමාවට ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා ඉකුත් දා නව මානයක් දුන්නේ ය.

"සෙනෙහෙවන්ත පියාණෝ" උපමාව ප්‍රසිද්ධ කිතුනු ජන වහරේ හැඳින්වෙන්නේ "අකීකරු පුත්‍රයා" හෙවත් "නාස්තිකාර පුත්‍රයා" ගේ උපමාව ලෙසය. සිංහල ඇතුළු භාෂා රැසකින් නාට්‍ය හා නාඩගම්වලට ද නැගී ඇති ක්‍රිස්තුන් වහන්සේ වදාළ මෙම උපමාව කෙටියෙන් පවසන්නේ නම් මෙසේ ය:

එක් පියෙකුට පුත්තු දෙදෙනෙක් සිටිති. දිනක් බාල පුතා පියාට කතා කොට, පියා සතු දේපලවල  තමන් සතු කොටස ඉල්ලාගෙන 'දුර රටකට' යයි. එහිදී ඔහු කා බී විවිධාකාරයෙන් ප්‍රීති වී පියා දුන් ධනයේ අන්තිම සතය  දක්වා වියදම් කරයි. මේ කාලයේ එම රටට සාගතයක් එයි. අතේ මුදලක් හෝ නැතිව සිටින ඔහු කුසගිනි නිවාගැනීම සඳහා රැකියාවක් සොයන අතර, එක් මිනිසකුගේ ගොවිපොළේ ඌරන් බලා ගැනීමට ඔහුට ලැබේ. එහිදී ආහාර නොලැබෙන ඔහුට කුසගිනි නිවාගැනීමට ලැබෙන්නේ ඌරනට දෙන කෑමෙනි. ටික දිනකින් සිහියට පැමිණෙන ඔහු මෙසේ සිතයි: "මා මේ කරන්නේ කුමක් ද? මම මෙතැන සතුන්ට දෙන කෑම කද්දී මගේ තාත්තාගේ දාසයන්ට  පවා ඕනෑවටත් වඩා කෑම  තිබේ. මම ආපසු ගොස් තාත්තාගෙන් සමාව ඉල්ලමි. පුතා ලෙස නොව දාසයකු ලෙස මා පිළිගන්නැයි මම ඔහුගෙන් ඉල්ලමි." මෙසේ සිතා ආපසු ඔහු 'පිය නිවහන කරා' එයි. ආපසු ගෙදර එන බාල පුතා ඈත සිට දකින තාත්තා ඔහු පිළිගැනීමට පෙරමගට දුව යයි. ඔහු වැළඳගනියි. තමාගෙන් වූ අතපසුවීම් ගැන පුතා කියන දේ නොව හුදෙක් ඔහු ගේ ආපසු පැමිණීම ගැන ප්‍රමෝදයට පත්වන මේ තාත්තා, ඔහුට වටිනා සළු පිලි අන්දවා, පා වහන් දමා, රන් මුදුවක් දමා, තර කරන ලද වස්සා මරා උත්සවයක් සංවිධාන කරන්නැයි මේ තාත්තා සිය දාසයන්ට උපදෙස් දෙයි. "මන්ද මාගේ නැති වූ පුතා යළි සම්බ වී තිබේ" ඔහු කියයි.

මෙම උපමාව කී ජේසු සමිඳුන් ජනතාවගේ අවධානය යොමු කලේ මෙහි එන නාස්තිකාර පුත්‍රයාට සමාව දී ඔහුගේ වැරදි අමතක කර යලිත් පුත්‍ර බවට පිළිගත් පියාණන් වෙතය. එය "සෙනෙහෙවන්ත පියා ගේ උපමාව" යයි නම් කර ඇත්තේ ඒ නිසා ය. මෙයින් ජේසු සමිඳුන්ට කියන්නට අවශ්‍ය වූයේ මිනිස් අපගෙන් වන පාප මගින් අප දෙවියන් වහන්සේ (පියාණන්) වෙතින් වෙන් වන නමුදු, අප අවංකව පසුතැවී ආපසු උන්වහන්සේ වෙත හැරී එන්නට තීරණය කරන්නේ නම්, උන්වහන්සේ ප්‍රීතියෙන් හා ප්‍රේමයෙන් අප පිළිගන්නා බවය.

මාර්තු 6 වන ඉරිදා දිව්‍ය පුජාවේ සුබ අස්නට පාදක වූයේ ජේසු සමිඳුන් ඉගැන්වූ මෙම කතාන්දරයයි. එදා දහවල් තුන්කාල ආරාධනා මරිය යැදුම සඳහා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්වූ වන්දනා කරුවනට සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ කතා කලේ මෙම උපමාවම පාදක කරගනිමිනි. දෙවි පියාණන් ගේ දයා කරුණාව ගැන පහදා දීම සඳහා එතුමා මෙම සුබ අස්න යොදා ගත්තේ ය. එය අවධාරණය කිරීම සඳහා මෙම කතාවේ නව මානයක් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

"සුබ අස්නේ එන මේ කතාවේ අප දකින්නේ පුතුන් දෙදෙනෙකු පමණයි. එක් පුතෙක් සිය කොටස ගෙන ගෙදරින් වෙන්ව ගිය පුතා. දෙවැන්නා ගෙදර නතර වූ  පුතා. එහෙත් මෙහි තුන් වන පුතෙකුත් සිටින බවට අපට සිතා ගන්නට පුළුවන්" සුදොතුම් පියතුමා කීවේය. "මේ (තුන්වන ) සේවක-පුත්‍රයා ජේසු සමිඳාණෝයි."

"ජේසු සමිඳාණෝ දෙවි පියාණන් ගේ හදවතේ සහ දෑතේ දිගුවයි. උන්වහන්සේ අකීකරු පුත්‍රයා ආදරයෙන් පිළිගෙන ඔහු ගේ කිලිටි පාද දෝවනය කළා; උන්වහන්සේ පව්සමාවේ මංගල්‍යය වෙනුවෙන් මහා භෝජන සංග්‍රහයක් සුදානම් කළා. උන්වහන්සේ, එනම්, ජේසු සමිඳාණන්, 'පියාණන් සේ දයා කරුණාබර වීමට' අපට ද ආරාධනා කරනවා" යි මෙම නව මානය විග්‍රහ කරමින් සුදොතුම් පියතුමා කියා සිටියේය.

"උපමාවේ එන පියා ගේ ප්‍රතිරූපය අනාවරණය කරන්නේ දෙවි පියාණන්ගේ හදවතයි. සියලු මිනුම් දඬු ඉක්මවා යමින් ජේසු සමිඳුන් තුළින් අපට ප්‍රේම කරන කරුණාබර තාත්තා දෙවියන් වහන්සේ යි. අප පාපයට වැටෙන සෑම අවස්ථාවකම යළිත් සිත් හැරී අප එන තෙක් බලා සිටිමින් ද , අප උන්වහන්සේගෙන් ඈත්ව යන සෑම විටම ආපසු අප හැරී එන තෙක් බලා සිටිමින් ද ජේසු සමිඳුන් තුළ අපට ප්‍රේම කරන පියාණෝ උන්වහන්සේයි. කුමක් සිදු වූවත්, අප වෙත සිය දෑත් දිගු කිරීමට උන්වහන්සේ නිතරම සූදානම්," යැයි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.

"සුබ අස්නේ එන තාත්තා සේ ම, පාපය නිසා අප  උන්වහන්සේ ගෙන් වෙන් වී අතරමංව සිටින විටත්,අප උන්වහන්සේ ගේ පුතුන්-දූවරුන් ලෙස දෙවි පියාණන් සලකනවා. අප යලිත් උන්වහන්සේ වෙත යන්නට තීරණය කල විට උන්වහන්සේ මෘදු කරුණාවෙන් අපේ පෙරමගට පැමිණ අප පිලිගන්නවා. අප කරන වැරදි කෙතරම් විශාල වූවත් උන්වහන්සේ ගේ හදවත සූරාදමන්නට ඒවා සමත් වන්නේ නැහැ."

"සමගි සන්ධානයේ දේවප්‍රසාද නිධානය තුළ අපට යළිත් පටන් ගන්නට පුළුවන්. එම දේව ප්‍රසාද නිධානයේ දී උන්වහන්සේ අප ආදරයෙන්, දයා කරුණාවෙන් පිලිගන්නවා. අපගේ දේව දරුකමේ ගෞරවය අපට යලිත් ලබා දෙනවා. එසේ කොට, අපට මෙසේ පවසනවා: 'යන්න. සාමයෙන් යන්න. නැගිට ගොස් ඉදිරියට යන්න.' "


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය