ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ලියුමෙන් සිත වෙනස් වූ නව යොවුන් සිරකරුවා ගේ කතාව

The Pope's letter that that changed the teenage prisoner's heart  


(2016 මාර්තු 7)
නව යෞවනයේම මිනීමැරුමකට වරදකරු වූ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර කාලෝස් ඒඩ්‍රියන් වස්කුවස් සිතුවේ මුළු ලෝකයම ඔහු මිනීමරුවකු යැයි සිතන බව ය. ලෝකයම ඔහු ප්‍රතික්ෂේප කර පිළිකුල්  කරතැයි ඔහු සිතුවේය.  මේ නිසා සිරගෙදරදීම සිය ජීවිතය විනාශ කරගන්නට ඔහු කල්පනා කලේය.

එහෙත් ඊට කලින් ඔහු එක දෙයක් කළේය. ඔහු ප්‍රැන්සිස් පාප් වහන්සේට ලියුමක් යැවුවේය.

"මට ඕනැ කරලා තිබුනෙ මම කරපු වැරදිවලට සමාව ඉල්ලන්න." වස්කුවස් CNN ප්‍රවෘත්ති සේවයට කීවේ ය. "මම හිතුවේ නෑ ඒකට උත්තරයක් ලැබේය කියල. ඒත් මා පුදුමයට පත් කරමින් පාප් වහන්සේ මට ලියුමක් එවුවා. මට විශ්වාස කරන්න බැරි වුනා ඒක. මං හිතුවේ නෑ හිරගෙදරක ඉන්න කෙනෙකුට පාප් වහන්සේ ලියුමක් එවයි කියල."

ඔහු පුදුමයට පත් කල මේ ලියුම ජනවාරි 21 වැනිදා ලැබුනේය.

ආදරණීය කාලෝස්, ජේසු සමිඳුන් ගේ සාමය ඔබට ලැබේවා! ඔබ පසුගිය දා මට එවූ ලියුම දැක  මම බොහෝ සතුටට පත්වුනා" සුදොතුම් පියතුමා කාලොස්ට එවූ ලියුම පටන් ගෙන තුබුණේ එහෙමය. "සුදොතුම් පියතුමා ඔබ වෙනුවෙන් යාච්ඥා කරන බව මතක තබා ගන්න. ඒ වගේම කරුණාකර මා වෙනුවෙනුත් යාච්ඥා කරන්න. මන්ද මට ඔබගේ යාච්ඥා බොහෝ සෙයින් අවශ්‍ය වී තිබෙනවා."

එතුමා සිය ලියුමේ "දයාවේ ශුද්ධ ද්වාරයක්"ගැන සඳහන් කර තිබුනේය. ලොස් ඇන්ජලීස් නුවර අගරදගුරු  තුමා ලොස් ඇන්ජලීස් සිරගෙදර විවෘත කරන ශුද්ධ ද්වාරයෙන් සිය සහෝදර සිරකරුවන් ද සමග ප්‍රයෝජන ගන්නැයි එතුමා ඔහුගෙන් ඉල්ලා සිටියේ ය.

"ඔබ සමග සිටින සහෝදර නිවැසියන් ද සමග බන්ධනාගාරයේ ශුද්ධ දොරටුව විවෘත කිරීම ප්‍රීතියෙන් සමරා, එයින් ගලා එන  දේව දයා කරුණාවේ  ඵල ලබා ගැනීමට ඔබට හැකිවේවායි මම යාච්ඥා කරමි. "

(මෙම දයාවේ වසරේ දී කතෝලිකයන්ට විශේෂ ගැලවීමේ ඵල ලබාගැනීම සඳහා විවෘත වන සුවිශේෂී මාර්ගයකි, ශුද්ධ දොරටුව. යහපත් හා අවංක පාපොච්චාරණයක් කරගෙන, යාච්ඥා කර, පසුතැවිලි සිතින් ශුද්ධය ද්වාරය තුළින් ගමන් කිරීමෙන් මෙම ගැලවීමේ ඵල ලබාගත හැකිය.)

සුදොතුම් පියතුමා ගේ මෙම ලියුම කාලෝස් ගේ සිතට කෙතරම් දැඩිව කා වැදුනේ ද කියන්නේ නම්, ඔහුගේ  සිය දිවි  හානිකර ගැනීමේ අදහස පහව ගියේය. "ඒ ලියුම මට විශාල බලාපොරොත්තුවක් දුන්නා. අපව අත්හැර නොදමන ප්‍රැන්සිස් පාප්වහන්සේ  වැනි අයත් මේ ලෝකේ ඉන්නවා කියන බලාපොරොත්තුව මා තුළ ඇති වුනා" දැන් 18 වන වියේ පසුවන කාලෝස් CNN රූපවාහිනියට කීවේ ය.
පාප්වහන්සේ ගේ ලියුම

"මම දන්නවා මම වැරදි කරල තිබෙනව කියල. මම අනිත් අයට රිදවල තිබෙනව. මම කරපු වැරදි මගේ වසර එකහමාරක බන්ධනාගාර ජීවිතය ගත කරන්න කලින් මම දැනගෙන හිටියේ නැහැ. මට තේරුනේ නෑ මම අනිත් අයට හිංසා කරනව කියල. එත් මට වැටෙන්න සිද්ධවුනා අයෙත් නැගිටින හැටි ඉගෙන ගන්න. මම අනිත් අයට රිදෙවුවාම, මම මටත් රිදවා ගන්නව කියල  මට හිතුනෙ නෑ. "

මේ වන විට ඔහු බොහෝ දේ ඉගෙනගෙන තිබේ.

කුඩා කාලයේ ඔහු සිතා සිටියේ ශක්තිය නිවැරදි දේ කියාය. "සෑම සතියකම, නැතිනම් මාසයකම ගහගන්න එක තමයි හරි දේ කියලයි මම හිතුවේ. ඉතින් මම ගහගත්ත." වයස අවුරුදු 15 වනවිට ඔහු පාසල් යාම ද අත්හැරියේ ය. කල්ලියකට එක් වූ ඔහු විවිධ නීති විරෝධී දේ කලේ ය. දිනක් කල්ලි දෙකක් අතර සටනක් හටගත්තේ ය. එක කල්ලියක කාලෝස් ද හිටියේ ය. විරුද්ධ කල්ලියේ කෙනෙක් වෙඩි වැදී මිය ගියේ ය. ඔහුට වෙඩි තැබුවේ කාලෝස් නොවේ. එහෙත් ඒ වෙලාවේ එම ස්ථානයේ සිටීම නිසා ඔහු අනියම් මිනීමැරුමකට වරදකරු වූයේය.

පාප් වහන්සේ ගේ මෙම ලියුම ලැබීමෙන්  පසුව තමන්  අතින් මිය ගිය පුද්ගලයා ගේ පවුලේ අයටද ඔහු ලියුමක්  ලියුවේ ය. ඔහු එහි මෙසේ කීවේය.

"මම ඔවුන්ගෙන් ඉල්ලුවා මට සමාවෙන්න කියා.මම  දන්නවා කවර වචන වලින්වත් මා විනාශ කළ ජීවිතය යළිත් ඔවුන්ට ලබා දිය නොහැකි බව. ඒත් මම හිතනවා මා කරපු වැරදි වලට යම් දිනෙක මට සමාව දෙන්න ඔවුන්ට හැකි වේය කියලා. දැනට මා ඉල්ලා සිටින්නේ මට සමාව දෙන්න කියලයි. ඒ මගින් මගේ අතින් විනාශ වූ කෙනාට ජීවත් වෙන්න අවස්ථාව නොලැබුණු ජීවිතය යහපත් ලෙස ජීවත් වෙන්න මට හැකිවේවි," යි බලාපොරොත්තු සහගත සිතින් කාලෝස් කීවේය.

කාලෝස් ගේ 12 අවුරුදු සිරදඬුවම් කාලය දිග එකකි. ඔහු මෙතෙක් කල් එම දඬුවම ගත කලේ බාල අපරාධකරුවන් ගේ ශාලාවේ ය. කැලිෆෝනියා ප්‍රාන්තයේ බ්ලයිත් හි අයන්වුඩ් සිරගෙදරට ඔහු මාරු කරනු ලැබ සිටියි.  එය දැඩි ආරක්ෂක විධිවිධාන සහිත එකකි. ඔහු දැන් එහි යාමට සූදානම් වෙමින් සිටියි.

"මට එහෙ යන්න හුඟාක් බය හිතෙනවා" ඔහු කියයි. ඒත් තම වරද වෙනුවෙන් සමාජයට ගෙවිය යුතු ණය ගෙවීමට දැන් තමා තුළ ශක්තිය ඇතැයි ඔහු පවසයි.

"සමාජය මට සමාව නොදුන්නත්, මම දන්නවා දෙවියන් වහන්සේ මගේ පාප වලට මට සමාව දෙන බව" කාලෝස් කියන්නේ මහත් විශ්වාසයෙනි.



"මට මැන්ඩෙලා, මලාලා වගේ වෙන්න ආසයි" - ලියුමේ කොටස්

කාලෝස් ප්‍රැන්සිස් පාප් වහන්සේට ලියූ ලියුම සුන්දර එකකි. එය, ළමා කාලයේ කුමක් හෝ කොතැනක හෝ වරදක් නිසා වැරැද්දට පෙළඹුණු මේ තරුණයා තුළ ජීවත්වන සොඳුරු මිනිසා ගේ කැඩපතක් වැන්න.

"ලෝකය මීට වඩා ආදරයෙන්, අනුකම්පාවෙන්, සමාවදීමෙන් හා දයා කරුණාවෙන් පිරුණු තැනක් වූවා නම් කියා මට සිතෙනවා. මම අඩු කුලේ කෙනෙක් වගේ සමාජයෙන් පිටු දකින ලද කෙනෙක්. ඒත් මා සමාජයෙන් ඉල්ලන්නේ අපව අපේ සැබෑ ස්වරූපයෙන් දකින ලෙසයි. එනම් වෙනත් සෑම කෙනකු සේ ම වැරදි සිදුවන මනුෂ්‍යයන්  ලෙසයි. අපටත් අනිත් අය සේ ම නැගිටින්නට පුළුවන්"  ඔහු සුදොතුම් පියතුමාට ලියුවේ ය.

"මම කවදා හෝ සේසාර් චාවේස්, මාටින් ලූතර් කිං, නෙල්සන් මැන්ඩෙලා සහ මලාලා යුසාෆ්සායි වැනි නායකයකු වෙනවා," ඔහු කීවේය.

අප සෑම කෙනෙකුටම ඔබ පෙන්වන ආදරයේ සහ දයාවේ ආදර්ශය වෙනුවෙන් ඔබට ස්තුතියි. ......රෝමය තිබෙන්නේ කොහේ ද කියා මා දන්නේ නැහැ . මම ලොස් ඇන්ජලීස් නුවරින් පිටත ගැන කිසිවක්ම දන්නෙ නැහැ. කාට ද කියන්න පුළුවන්? සමහර විට දවසක  මට රෝමයට එන්නට හැකිවේවි. සමහර විට පාද දෝවනය කර ගන්නටත් හැකි වේවි" කාලෝස් එම ලියුමේ සඳහන් කර තිබුනේ ය.

ජේසු නිකායික සම්බන්ධය

ප්‍රැන්සිස් පාප් වහන්සේ නිතරම කියන්නේ "පූජකවරුන් ජේසු ගේ දෙනෙත, දෙසවන,හදවත සහ වචනය" විය යුතු බවයි. එවැනි පූජකවරුනට මිනිසුන් දෙවිඳුන් හා යා කල හැකි බව එතුමා පෙන්වා දෙයි.

කාලෝස් ගේ කතාව ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ එම ස්ථාවරය සනාථ කරයි.

ලොවම එපාවී, කලකිරී, සිය දිවි හානි කර ගැනීමේ මනසින් සිටි කාලෝස්ට එවැනි පූජකතුමකු සිර ගෙදරදී  මුණගැසුනේ ය. ඒ, මයිකල් කෙනඩි පියතුමා ය. ජේසු නිකායික පියතුමකු වන එතුමා ලොස් ඇන්ජලීස් නුවර "ජේසු නිකායික පුනරුත්ථාපන මූලිකත්වයේ" නායකයා ලෙස කටයුතු කරයි. බාල අපරාධ සිරගෙදරට ආ ගිය එතුමාට කාලෝස් මුණගැසිණ. මුලින් නිතර දබරයට පැටලෙන ඔහු තුළ පසුව සිය දිවි හානි කර ගැනීමේ අදහස ඇති වූ ආකාරය එතුමා විස්තර  කළේය. ඔහුට සවන් දීමත් උපදේශනය කිරීමත් කල කෙනඩි පියතුමා, දිනක් මේ අපූරු අදහස ඔහුට දුන්නේ ය. එනම් සිය සිතිවිලි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට ලියන ලෙසයි. පාප් වහන්සේ පිළිතුරු දුන්නේ එම ලිපියටයි.

"එඬේරුන් වෙතින් හැමිය යුත්තේ සිය බැටළුවන් ගේ සුවඳයි" පාප් වහන්සේ කියන්නේ එහෙමය.  බැටළුවන්ට සමීප විය හැක්කේ එවැනි එඬේරුන්ට ය. මෙය කාලෝස් ගේ කතාවෙන් මතුවන තවත් සුවිශේෂී පණිවිඩයකි.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය