"පාපය අප දුප්පත් කොට හුදෙකලා කරයි" පශ්චාත්තාපික දිනයේ අනුශාසනය

 "Sin impoverishes and isolates us....."


සුදොතුම් පියතුමා ගිය සිකුරාදා  සාන්ත පීතර බැසිලිකාවේ දී පාපොච්චාරණය දීමට පෙර, බැසිලිකාවේ සිටි පියතුමෙකුගෙන් එම සක්‍රමේන්තුව ලබාගත්තේ ය.
(2016 මාර්තු 5)

රිජුව නැගී සිට පියාණන්වහන්සේ ගේ සමාවට විවෘත වන්නැයි සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ අනුශාසනා කරති. "උන්වහන්සේ වෙත දුවගෙන යාමට බාධා කරන සියලුම බර අපි අපෙන් ඉවත් කරමු. අපට බොහෝ ආරක්ෂා සහිත යැයි සිතෙන නමුත් අපව උන්වහන්සේ වෙතින් ඈත්කරන අප ඇලීගැලී  සිටින දෙයින් ඉවත් වෙමු" යි උන්වහන්සේ ඇරැයුම් කරති.

ප්‍රැන්සිස් පාප්වහන්සේ මේ ආරාධනය කලේ මාර්තු 4 වන සිකුරාදා වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ  පැවැති වාර්ෂික චතාරික පශ්චාත්තාප මෙහෙයේ අනුශාසනය කරමිනි. වසරක් පාසා සාන්ත පීතර බැසිලිකාවේ දී පැය 24 පස්චාත්තාපික දිනයක් පැවැත්වේ. මේ දිනයේ  එම දෙව්මැදුර හා රෝමයේ ප්‍රධාන දෙව්මදුරුවල පැය 24 පුරා සමගි සන්ධානයේ ප්‍රසාද නිධානය ලබා දීමට පුජාප්‍රසාදිවරුන් හා රදගුරුතුමන්ලා සුදානමින් සිටිති. මෙය ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් 2014 දී ආරම්භ කල චාරිත්‍රයකි.

ඉකුත් සිකුරාදා පැවැති මෙම මෙහෙයෙන් පසුව ප්‍රැන්සිස් පාප්වහන්සේ ද එහි සිටි පියතුමකුගෙන් පාපොච්චාරණය කර ගත්තේය. ඉන් පසුව එතුමා විශ්වාසිකයනට එම ප්‍රසාද නිධානය ලබා දුන්නේය.

 "අපි එකතැන වාඩි  වී කුසීතව නොසිට, නැගිට අපගේ ආධ්‍යාත්මික වටිනාකම සොයා ගමු. එසේම දෙවියන්වහන්සේ ගේ දයාබර පුතුන් හා දූවරුන් ලෙස අපගේ ගෞරවය සොයාගන්නට නැගී සිටිමු. උන්වහන්සේ විසින් අප දැක,සමා කරනු ලැබ, අලුතින් මවනු ලැබීම සඳහා අපි උන්වහන්සේට පෙනෙන්නට නැගී සිටිමු" යයි එතුමා අනුශාසනා කළේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එදින මෙහෙයේ සිය අනුශාසනය සඳහා යොදා ගත්තේ මාක් තුමාගේ සුබ අස්නේ එන ක්‍රිස්තුන් වහන්සේ විසින් බාර්තිමෙයස් නම් අන්ධ මිනිසා සුවපත් කිරීමේ සිද්ධියයි. අන්ධයකු  වූ බාර්තිමෙයස් පර අයිනේ ඓන්ගමින් සිටින විට ක්‍රිස්තුන් වහන්සේ එමගින් එන බව අසන්නට ලැබේ. ඔහු ජේසු සමිඳුන්ට ඇසෙන ලෙස හඬ නගයි. ඔහු අවට සිටින ජනයා නිශ්ශබ්ද වන ලෙස ඔහුට අවවාද කලත් ඔහු තවත් මහා හඬින්  ක්‍රිස්තුන් වහන්සේට හඬ නගයි. උන්වහන්සේ ඔහු වෙත  පැමිණි විට තමාට පෙනීම ලබා දෙන්නැයි ඔහු ඉල්ලයි. උන්වහන්සේ ද ඔහු සුවපත් කරයි. 

මෙය විග්‍රහ කල ප්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටියේ  බාර්තිමේයස් ගේ සිද්ධිය අප බොහෝ දෙනෙකුගේ ජීවිතයට සංකේතාත්මක පණිවිඩයක් ලබා දෙන බවයි. "ඔහුගේ අන්ධබව ඔහු දුප්පත් බවට පත්කලා. සෑම අවශ්‍යතාවකටම අනුන් මත යැපීමට ඔහුට සිදුවුනා. පාපයත් එසේමයි. පාපය අප දුප්පත්  කොට හුදෙකලා කරයි. පාපයට අන්ධ බව මතුපිටින් පෙනෙන දේ කෙරෙහි පමණක් ක්‍රමයෙන් අපගේ අවධානය යොමු කර, සෙසු අය කෙරෙහි අප උදාසීන බවට පත් කරයි" හදවතේ පෙනීම අඳුරු කොට දුර පෙනීම නැති කරන දුර්පරීක්ෂා රැසක් ඇති බව ද සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

"අප අප වෙත පමණක් යොමුවන විට, ආත්මාර්ථකාමී වන විට, අපි අන්ධ බවට පත්වෙමු. ජීවයක් නැති අය වෙමු. ප්‍රීතිය හා සැබෑ නිදහස අහිමි අය බවට පවත් වෙමු."

"එහෙත් එවන් අවස්ථාවල ජේසු සමිඳුන් අප අසලින් ගමන් කරනවා" යි සුදොතුම් පියතුමා පෙන්වා කීවේය. "එසේ නැවැතී බාර්තිමෙයස්ට සවන් දුන්නා මෙන් අපටත් සවන් දෙනවා. එවිට අපගේ  හදවත් ඉහලට එසවෙනවා. මන්ද ආලෝකය අප දෙස බලා සිටින බව අපට වැටහෙනවා. අපේ අන්ධකාරයෙන් පිටතට පැමිණෙන ලෙස එම ආලෝකය අපට ආරාධනා කරනවා" යි එතුමා සඳහන් කළේය.

පූජකවරුනට උපදෙස්


සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය දානය කරන පූජාප්‍රසාදිවරුන්  තුළ තිබිය යුතු ආධ්‍යාත්මික ගුණය ගැන ද පාප් වහන්සේ මෙහිදී අනුශාසනා කළහ.

"ඔබ විශේෂයෙන් කැඳවනු ලැබ සිටින්නේ ජේසු සමිඳුන් මුණගැසීමේ බලාපොරොත්තුව, ඇතැම්විට සැඟවී හෝ, සිත තුළ කැකෑරෙමින් ඇති ජනයාගේ හදවතේ විලාපයට සවන් දීමටයි. ජනතාවට එසේ සමිඳුන් වෙත සමීප වීමට උපකාර කිරීමට කැඳවනු  ලැබ  සිටින ඔබ, ඒ මාර්ගයේ කිසියම් බාධාවක් වන්නේදැයි විමසා බලන්න.  විශේෂයෙන් පව් සමාව දීමේ අභිලාෂයට වඩා, ඔබගේ වැඩසටහන්,වැඩපිළිවෙලවල් සහ නීති රෙගුලාසි වලට ප්‍රමුඛත්වය දෙනවාදැයි සිතා බලන්න. එසේම, සුබ අස්නේ පණිවිඩය හා ඉගැන්වීම් දියාරු නොකළ යුතු බව සත්‍යයක්. එහෙත් ඒ මතය තුළ දැඩි ලෙස එල්බගෙන සිටීමෙන්  පියාණන් සමග සමගි සන්ධානය වීමට පව්කාරයකු තුළ තිබූ දැවෙන ආශාව අසහනයට පත්වීමේ අවදානමක් ද පවතියි. අප යවනු ලැබ  සිටින්නේ  ජේසු සමිඳුන් වෙත යාමට සෙසු අයට මග පෙන්වීමටයි. ඔවුන් දිරිමත් කොට ඒ සඳහා සහාය දීමටයි. අපගේ මෙහෙවරකැටුව යාමේ මෙහෙවරක් විය යුතුයි. අප මග පෙන්වන ජනතාව හා ජේසු සමිඳුන්  මුණගැසීම, පෞද්ගලික, ආත්මීය හා ඉතා ලෙන්ගතු එකක් වන්නේ එවිටයි." යැයි පුජකතුමන්ලාට උපදෙස් දෙමින් සුදොතුම් පියතුමා කියා සිටියේය.

 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය