සුලුතරයන් වෙනුවෙන් පන පිදූ පාකිස්ථාන කතෝලික දේශපාලකයා ප්‍රාණපරිත්‍යාගවරයට එසවීමේ ක්‍රියාමාර්ගය ඇරඹේ

Pakistan Church opens the Cause for Shahbaz Bhatti to be declared a martyr


ෂබාස් භට්ටි
(2016 මාර්තු 3)
දේශපාලකයකුව සිටියදීත් ආදර්ශවත් කිතුනු ජීවිතයක් ගත කර සිය විශ්වාසය වෙනුවෙන් ජීවිතය පූජා කළ ගිහි කතෝලිකයකු, ප්‍රාණපරිත්‍යාගීවරයකු ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රියාමාර්ගය පාකිස්තාන කතෝලික සභාව ආරම්භ කරයි.

පාකිස්ථාන කතෝලික සභාව විසින් මෙසේ සාන්තුවරයට එසවීමට යන්නේ එරට සුළුතර කටයුතු ඇමතිවරයාව සිටියදී අන්තවාදීන් විසින් ඝාතනය කරන ලද ෂබාස් භට්ටි මහතා ය. සුළුතර අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාධරයකු වූ ඔහු ජනාධිපති අසීෆ් අලි සර්දාරි ගේ කැබිනට් මණ්ඩලයේ සිටි එකම කිතුනුවා විය. සුළුතර ආගමිකයන්ට එරෙහි හිංසනයන්ට විරුද්ධව හේ එඩිතරව පෙනී සිටියේ ය. පාකිස්ථානයේ ඇතැම් පිරිස් කිතුනුවන්ට හිංසා කිරීම  සඳහා යොදා ගත් දේව අපහාස නීතිය අහෝසි කර ගැනීමට මුස්ලිම් බහුතරයකින් සැදී කැබිනට් මණ්ඩලයක සිටියදීත් ඔහු  එඩිතරව ක්‍රියා කළේය. මෙම අරමුණ සඳහා ඔහු තුළ වූ කැපවීම වර්ධනය කරන ලද්දේ, 2010 නොවැම්බරයේදී කිතුනු කාන්තාවක වූ ඒශියා බිබී දේවඅපහාස නීතිය යටතේ  මරණ දඬුවමට නියම වීමත් සමග ය. මේ හේතුවෙන් ඔහුට මරණ තර්ජන ගලා ආවේය. එහෙත් ඒවායින් අධෛර්යවත් වූයේ ඔහු නොවේ.

අවසානයේ දී 2011 මාර්තු 2 වන දා ඉස්ලාමාබාද් නුවරදී  සිය වාහනය පදවාගෙන යමින් සිටි ෂබාස් භට්ටි,  අවිගත් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කරන ලද්දේ ය.  මම ඝාතනයේ වගකීම ටෙරිකි-ඉ-තලේබාන් ත්‍රස්තවාදී සංවිධානය විසින් භාරගෙන තිබිණ.

භට්ටි ඝාතනයේ 5 වැනි සංවත්සරය දී තිබුනේ මාර්තු 2 වැනි බදාදාටය. එදින කරච්චියේ පැවැති සමරු දිව්‍ය පූජාවක් සමග ෂබාස් භට්ටි ප්‍රාණපරිත්‍යාගවරයට එසවීමේ ක්‍රියා මාර්ගය ද ආරම්භ විය. මෙම උත්සවයේ මුලසුන දරන ලද්දේ කරච්චි අගරදගුරු ජෝසප් කූට්ස් හිමිපාණන් විසිනි.

"විශ්වාසය මත පදනම්ව කතා කල භට්ටි, දිරිමත්බව හා එඩිතරකම ප්‍රදර්ශනය කළා. ඔහුට පින් සිදුවන්නට පාකිස්ථාන කිතුනුවන් ගේ හඬට සවන් යොමු වුනා. ඔහු අපට මාර්ගය සකස් කර දුන්නා. යහපත් කතෝලිකයකු වූ ඔහු සිය කිතුනු මෙහෙවර වෙනුවෙන් සිය ජීවිතය පුද කළා" යි එම මෙහෙයේ දී අගරදගුරු තුමා කියා සිටියේ ය.

ඉස්ලාමාබාද්-රාවල්පින්ඩි රදගුරු පදවිය විසින් භට්ටි ගේ ශුද්ධවන්තභාවය හා ප්‍රාණ පරිත්‍යාගය පිලිබඳ සාක්ෂි රැස්කිරීම ආරම්භ කර තිබේ. ඒ අතර ප්‍රධාන සාක්ෂියක් වන්නේ 2013 දී ස්වර්ගස්ථ වූ ඇන්තනි ලෝබෝ රදගුරුතුමා ගේ සාක්ෂියයි. එතුමා සිය සාක්ෂිය Fides නමැති ධර්මදූත ප්‍රවෘත්ති සේවාවට භාර දුන්නේ ය. එහි ලොබෝ රදගුරු තුමා මෙසේ කියයි:

"ඔහුට දේශපාලනයේ නිරත වීමට කැමැත්තක් තිබුනේ නැත. එහෙත් රටේ කිතුනුවන් සහ වෙනත් සුළුතර ආගමිකයන් ආරක්ෂා කිරීම උදෙසා ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට ඔහු තීරණය කළේය. ඔහු මහත් කැපවීමකින් යුතු පුද්ගලයෙක් විය. මේ නිසා විවාහ නොවීමට තීරණය කල ඔහු බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළේය. ඔහු සතුව වස්තු සම්පත් හෝ ධනය නොවීය. ඔහු සිය ක්‍රියාකාරකම් දුටුවේ සේවාවක් ලෙස ය. කැපවුණු ගිහි කතෝලිකයකු වූ ක්ලෙමන්ට් ෂබාස් භට්ටි ස්වකීය විශ්වාසය වෙනුවෙන් ප්‍රාණපරිතාගීවූ බව මම විශ්වාස කරමි"

අපටත් වඩා අතිශය සුළුතර කිතුනු ජනගහනයක් වෙසෙන රටක කිතුනුවෙකු අභිවෘද්ධි ආලේපයෙන් ලද සාක්ෂි දැරීමේ ශුද්ධාත්ම වරම ජීවත් කල ආකාරයයි, ඒ. මෙය කියවන විට ඔබට ඔබේ 'කිතුනුකම' ගැන ලැජ්ජාවක් සිතෙනවා නම්, ඔබ තුළ එම ආලෝකය තිබේ. තවත් ප්‍රමාද නොමැතිව, එඩිතරව විශ්වාසයට සාක්ෂි දරන්නට  හැකියාව තිබේ.

මෙම කතාවෙන් පැන නගින තවත් ප්‍රශ්නයක් තිබේ. ඇන්තනි ලෝබෝ රදගුරු හිමිපාණන්  ෂබාස් භට්ටි ගැන කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ කතෝලික දේශපාලකයන් හා ප්‍රජා නායකයන් කී දෙනෙකු ගැන කටක්  හැර කිව හැකි ද?

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය