"ගෙදරක් නැති ජේසු"ට වතිකානයෙන් තැනක්

'The Homeless Jesus' finds a place in Vatican




(2016 මාර්තු 23)
මෙය මානසික 'කොටුවෙන් පිටට'  පැන සෑදූ නිර්මාණාත්මක මුර්තියකි.

එම මුර්තිය මෙසේය. පදික වේදිකාවේ ඇති බංකුවක මිනිසෙක් නිදා සිටියි. 'ගෙවල් නැති මිනිසුන්' සිටින යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ රාත්‍රියට මෙසේ නිදන්නෝ  සුලබ දර්ශනයකි. මෙම මුර්තියේ එන පුද්ගලයා සිය හිසේ සිට තුනී පොරෝනයක් පොරවාගෙන සිටියි. එයින් ඔහුගේ මුහුණ වැසී ඇති නිසා පුද්ගලයා කවුදැයි හඳුනා ගත නොහැක. නිදා සිටින පුද්ගලයා කවුදැයි ඉඟියක් ලැබෙන්නේ ඔහුගේ දෙපා වලිනි. පොරෝනය කෙටි එකක් නිසා ඔහුගේ දෙපා ආනාවරණය වී තිබේ. එම පාද වල සුවිශේෂී සලකුණක් තිබේ. එනම් කුරුසියේ ඇනගසනු ලැබීම නිසා හටගත් තුවාල  ("ශ්‍රී වන කැලැල්") ය.

"මේ ඉන්නෙ ජේසු. අප අතරේ ඉන්න කුඩාම අය, ඒ කිව්වේ අපේ සහෝදර සහෝදරියන් අතර ඉන්න ඉතාම පුංචි, දුර්වල අය අප හඳුනාගත යුත්තේ එහෙමයි."

මෙසේ පවසන්නේ මෙම ලෝකඩ ප්‍රතිමාව තැනූ මුර්ති ශිල්පියාය.

මෙම ප්‍රතිමාව නිර්මාණය කලේ කැනේඩියානු  මූර්ති ශිල්පී තිමති පී. ෂ්මාල්ස් ය. සීතල ශිශිර ඍතුවේ, නත්තලට ආසන්න දිනයක ටොරොන්ටෝවේ බංකුවක දිගාවී නිදමින් සිටි 'ගෙදරක් නැති' පුද්ගලයකු දුටු ඔහු තුළ මෙම මුර්තිය පිලිබඳ සිතිවිල්ල පිළිසිඳ ගත්තේය.

මුර්තිය නිර්මානය කිරීමෙන් පසුව ටොරොන්ටෝවේ ආගමික ස්ථානයක එය තබන්නට ගත සියලු උත්සාහයන් ව්‍යර්ථව ගියේය. කිසිදු කතෝලික හෝ වෙනත් පූජක රදගුරු උතුමකු එය තම දෙව්මැදුර හෝ වෙනත් ආයතනයක් අසල තබනවාට කැමැත්තක් දැක්වුයේ නැත.

මුර්තියත් රැගෙන ෂ්මාල්ස් රෝමයට ආවේ ඉන් පසුවය. 2013 නොවැම්බරයේ දිනෙක වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ පැවති ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ පොදු හමුවකට සහභාගී වූ ඔහු එය අවසන් වීමෙන් පසුව එතුමන් හමු වී සිය "ගෙදරක් නැති ජේසු ගේ" මුර්තිය ගැන එතුමාට දැනුම් දුන්නේය. ඉන් අනතුරුව සිදු වූ දේ ඔහු ඇමරිකානු මාධ්‍යවලට විස්තර කලේ මෙසේය:

"සුදොතුම් පියතුමා මුර්තිය තිබුණු තැනට ගියා. ඊළඟට එතුමා කල දෙයින් මගේ ඇඟ දිගේ සීතලක් දුවන්නා වගේ දැනුනා. එතුමා මුර්තිය ඉදිරියට  ගිහින් 'ගෙදරක් නැති ජේසු' ගේ දන හිස් මත අත තබා, දෑස් පියාගෙන යාච්ඥා කළා. එතුමා මුළු ලෝකය පුරාම කරන්නෙ මේ දේයි. එනම්, ප්‍රැන්සිස් පාප් වහන්සේ ලොව පුරාම කොන් කරන ලද්දවුනට සමීප වෙනවා" ෂ්මාල්ස් කියා සිටියේ ය.

පාප් වහන්සේ මුර්තිය දැකීමෙන් පසුව 'ගෙදරක් නැති ජේසුට' වතිකානය තුළ ඉඩක් ලැබිණ. එම ප්‍රතිමාව වතිකාන රේඩියෝවට ප්‍රවේශ වන දොරටුව ඉදිරියේ තැබීමට අවසර ලැබිණි.

එම මුර්තිය මේ ශුද්ධවූ සතිය ආරම්භයේ එතැනට වඩා  ඊට ගැලපෙන ස්ථානයකට ගෙන එනු ලැබිණි. එනම් පාප් වහන්සේගේ පුණ්‍ය කටයුතු කාර්යාලයයි. සාන්ත්'එගිඩියෝ උයනේ පිහිටි එම කාර්යාලයේ පිවිසුම අසල දැන් මෙම මුර්තිය තබා තිබේ.

ප්‍රැන්සිස් පාප්වහන්සේ සේ ම මෙම කැනේඩියානු මුර්ති ශිල්පියා ද "ගෙදරක් නැති ජේසු" ගේ ප්‍රතිමාවෙන් ගැඹුරු පණිවිඩයක් දීමට උත්සාහ කරති.

ජේසු සමිඳාණෝ අද අප වෙත පියෙවි ස්වරූපයෙන් නොපැමිණෙති. මුහුණින් උන්වහන්සේ හඳුනාගත නොහැකිය. උන්වහන්සේ හඳුනාගත හැක්කේ "තුවාලවලිනි". එබැවින් ඔබ ඉදිරීයට එන අයගේ "තුවාල' වලින් ජේසුන්  හඳුනා ගැනීමට උත්සාහ කරන්න.

"සිටියෙමි මම හාමතේ ඔබ මා කැව්වේ
සිටියෙමි මම පිපාසේ ඔඅබ මා පෙව්වේ.....
සිටියෙමි මම මහලු වී ඔබ මා සැලකූ
තනි වී මම සිටියෙමි ලැබිණි සැනසිලි ..."

(සැ. යු. මෙම 'තුවාල' වලට තව බොහෝ දේ එකතු කල හැකිය.)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය