පූජාත්වරයත් සරණාගත කඳවුරක ගැනීමට යන නවක තේවාචාරීන් සිව් දෙනා

 Four seminarians ordained Deacons in a refugee camp 

නවක  තේවාචාරීන් සිව් දෙනා

(2016 මාර්තු 21)
සිය තේවාචාරීවරය හා පූජාත්වරය සරණාගත කඳවුරක ගැනීමට සොයුරෝ සිව් දෙනෙක් තීරණය කරති. එයට ඔවුන්  අයත් රදගුරුතුමාගේ ද ආශීර්වාදය හා අනුමැතිය ලැබී තිබේ.

මේ කතාව ඇහෙන්නේ ඉරාකයෙනි.

ඉරාකයේ කරාකොෂ් නගරයට කැලිෆේට් ත්‍රස්තවාදීන් (ISIS) පහර දී එය අල්ලා ගැනීමෙන් පසු එම නගරයේ තිබූ දෙව්සත්හල  වසා දැමීමට සිදුවිය. බගාරය අතහැර පලා යන්නට සිදු වූවද තමන් පූජාත්වරය කරා පා නගන ගමන අත්හැර නොදැමීමට එහි ඉගෙනගත් සිසුවෝ සිව් දෙනෙක් අදිටන් කැරගෙන සිටියහ.

සිය උපන් ගම්බිම් වලින් උදුරා දමනු ලැබූ මෙම සහෝදර සිව් නම, එම සිද්ධියෙන් වසරකට පසු, 2016 මාර්තු 19 වනදා ඉරාකයේ එර්බිල්හි සරණාගත කඳවුරක පිහිටි දේවස්ථානයක දී තේවාචාරීවරය ලබා ගත්හ. (තේවාචාරීවරය යනු කෙනෙකු පූජාත්වරයට එසැවීමට පෙර ලබන අවසන් ජනවන්දනා දූත සේවා වරයි. ඉන් මාස කිහිපයකින් පසු තේවාචාරීවරු පූජකවරුන් ලෙස අබිසෙස් ගන්වනු ලබති.) සාමාන්‍යයෙන් තේවාචාරීවර හා පුජාත්වර මෙහෙයයන් උත්සවාකාරයෙන් පවත්වනු ලබන්නේ ප්‍රධාන දෙව්සත්හල් දෙව්මදුරක හෝ පදවියේ ආසන දෙව්මැදුරේ දී ය. ඒ නිසා මෙම මෙහෙය විශේෂ අවස්තාවක් වූ අතර විශේෂ පණිවිඩයක් ද ගෙන ආවේය.

"ජනතාවට ජීවත්වීමට බලාපොරොත්තුවක් තිබිය යුතුයි. විශේෂයෙන් ම සරණාගතයන් බවට පත්වූ අපේ සහෝදර සහෝදරියන්ට බලාපොරොත්තුවක් තිබිය යුතුයි. ඉතින්, තව මාස කීපයකින් පුජාත්වරය ලබන අපේ තේවාචාරීවරය ඒ අයත් එක්ක, ඒ අය මැද පැවැත්වීමෙන් ඒ සහෝදර සහෝදරියන් තුළ ධෛර්යය වැඩි වේවි. බලාපොරොත්තුව වැඩි වර්ධනය වේවි" මෙසේ පවසන්නේ එදින තේවාචාරීවරය ලැබූ රේමී මොමිකා සහෝදර තුමාය.

මොමිකා සොයුරු නම ඇතුළු  එදින තේවාචාරීවරය ලැබූ සිව් දෙනා ඉරාකයේ සිරියැක් කතෝලික සභාවට අයත් දෙව්සත්හල් සිසුවෝ ය. ඔවුන් ඉගෙනගනිම්න් සිටියේ කරාකොෂ් හි සාන්ත ඉප්රාහීම් දෙව්සත්හලේ ය. ISIS ආක්‍රමණය නිසා එම ප්‍රදේශයෙන් පලා ආ ඔවුහු මුලින්ම මෙම  කඳවුරේ  සරණාගතයන බවට පවත් වූහ. කෙසේ නමුදු, පූජකවරයා ලැබීමේ අදිටනින් පසුවූ ඔවුනට ලෙබනනයේ අල් ෂර්ෆා දෙව්සත්හලේ සිය අධ්‍යාපනය නිම කිරීමට අවස්තාව ලැබිණි.

සිය අධ්‍යාපන කටයුතු සම්පුර්ණ කිරීමෙන් පසු පෙරළා ඉරාකයට පැමිණි ඔවුන් සිය රදගුරු තුමාගෙන් ඉල්ලා සිටියේ සිය තේවාචාරීවරය සරණාගත කඳවුරක දී පවත්වන ලෙසයි. "මොකද අපි හතර දෙනාම සරණාගතයෝ..." ඔවුහු පැවසූහ.

පූජාත්වර මෙහෙය පැවතියේ එර්බිල් නුවරට තදාසන්න අන්ක්වා නගරයේ සරණාගත කඳවුරේ දේවස්ථානයකය. "මෙම තරුණ දෙව්සත්හල් සිසුන් සිව් දෙනා මේ දෙව්මැදුර තෝරාගත්තේ ඔවුන් තුළ සරණාගත ජනතාව වෙත  ඇති සමීප බව පෙන්වීමටයි" යයි ඔවුන් ගේ හැඩගැස්ම හා අධ්‍යාපනය භාරව සිටි ජෝර්ජ් ජහොලා පියතුමා කියයි.

මෙම සොයුරන්ට තේවාචාරීවරය දානය කරන ලද්දේ මොසුල්, කිර්කුක් සහ කුර්දිස්තානයේ සිරියැක් කතෝලික අගරදගුරු යෝහැන්නෝ පෙත්රෝස් මෝෂේ හිමිපාණන් විසිනි. එතුමා ඔවුන් අයත් රදගුරුතුමා ය.

මෙම අවස්ථාව ප්‍රැන්සිස් සුදොතුම් පිය ඉගැන්වීම් සමග වතිකානයෙන් හමන නැවුම් සුළං රැළි ලොව පුරා හමා යමින් ද ඒවා පිළිගනු ලබමින් ද පවතින බවට තවත් සාක්ෂියකි. දුප්පතුන්, සිරකරුවන්,  සරණාගතයන් එතුමන් ගේ න්‍යාය පත්‍රයේ ඉහළටම පැමිණ ඇති කොටසකි. එසේම එතුමන් ලොව පුරා සිටින සිය සහෝදර පූජකවරුනට උපදෙස් දෙන්නේ "සිය පරිසරයේ ගැඹුරට මුල් බැස" සිටින ලෙසය. එසේම "එඬේරුන් වෙතින් හැමිය යුත්තේ සිය බැටලුවන් ගේ සුවඳ" බව  ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා අවධාරණය කර තිබේ. සිය "පරිසරයේ මුල් බැසගත්' මෙම නිහතමානී සොයුරන් සිව් නම, සරණාගතයන් වන ඔවුන් වෙතින් පැමිණ ඔවුන්ට ම සේවාව කිරීමට සූදානම් වන බවට මෙම ක්‍රියාවෙන් ලොවට සාක්ෂි දරති. එසේම මෙම 'එඬේරුන්' (සොයුරන්) වෙතින්  ගලා එන්නේ නිලධාරි වාදයේ උෂ්ණය නොව සිය 'බැටළුවන්' ගේ (සරණාගත සිය නෑ සියන්, සහෝදර සහෝදරියන්, ගම වැසියන් ගේ) සුවඳ ය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය