"නපුරඅගාධයක් නම්, ජේසු සමිඳුන් වෙතින් ගලා හැලුණු ප්‍රේමය අනන්තය": ගොබ් ඉරිදා ධර්ම දේශනය

"If the mystery of evil is unfathomable, then the reality of Love poured out through him is infinite"



(2016 මාර්තු 20)
ගැළවීම වෙත යන මාර්ගය වැටී ඇත්තේ රාජකීයත්වය හා අහංකාරය ඔස්සේ නොවේ. තමා හිස්කරගන්නා වූ බැහැපත් සේවයේ ජීවිතය තුළින්ය. ජේසු සමිඳාණෝ මානව අපගේ ජීවිත දුෂ්කරතාවල ඇතැම් විට මුහුණ දෙන තම පියාණන් විසින් අත්හැර දමනු ලැබීමේ අබිරහසට  ද කුරුසිය මත දී.මුහුණ දුන්හ. එලෙස පතුලක් නොපෙනෙන අවමානයේ අගාධයට ඇද  වැටෙමින් කුරුසිය මත උන්වහන්සේ ඔප්පු කර පෙන්වූයේ සිය ප්‍රේමයේ "සීමාවක් නොමැති කඩඉමය".  එබැවින් මේ ශුද්ධවූ සතියේ දී ජේසු සමිඳුන් ගේ කුරුසිය දෙස බලා භාවනා කරන්න.

ප්‍රැන්සිස් පාප් වහන්සේ  2016 මාර්තු 20 ගොබ් ඉරිදා  වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ පැවැත්වූ දිව්‍ය පූජාවේ දී කල ධර්ම දේශනයේ සාරාංශය එයයි.

මෙම ධර්ම දේශනය කිතුනු නායකත්වය තුළ ගැබ්ව තිබිය යුතු සේවාවේ  හා බැහැපත්කමේ ආධ්‍යාත්මිකත්වය පිළිබඳවත් අප මෙලොව අත්දකින දුක් වේදනාවල අබිරහස ගැනත් සාමාන්‍ය අපට තේරුම් ගත හැකි වචනයෙන් පහදන්නකි. එබැවින් එය සවිස්තරව ඉදිරිපත් කරමු.

මෙම ධර්ම දේශනයේ පළමු කොටසට පාදක වූයේ ජේසු සමිඳුන් කොටලුවකු පිට ජෙරුසලෙමට ඇතුළුවීම ගැන කියැවෙන ඉරිදා සුබ අස්නයි.

"අද ජනවන්දනාව අපට උගන්වන වැදගත්ම කරුණ නම්, ජේසු සමිඳුන් අප ගලවා ගත්තේ සිය  ජයග්‍රාහී ජෙරුසලෙම් ප්‍රවේශය මගින් හෝ මහා ප්‍රාතිහාර්යයක් මගින් හෝ නොවන බවයි" යැයි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.  "එහෙත්, ගැළවීමේ මාර්ගය කුමක්දැයි අද දෙවැනි දේව ප්‍රකාශනයේ එන පාවුළු තුමා පිලිප්පිවරුනට ලියූ ලිපිය ප්‍රබල ක්‍රියා පද දෙකකින් මූර්තිමත් කරයි. එම පද දෙක නම් 'හිස්කරගැනීම' සහ 'බැහැපත්වීමයි'. ක්‍රිස්තුන් වහන්සේ තමන් 'හිස්කරගෙන' 'බැහැපත්කරගත්' බව පාවුළුතුමා කියයි. දෙවියන් වහන්සේ ගේ ප්‍රේමයේ අපරිමිත බව, සීමා රහිත බව අනන්ත බව මෙම ක්‍රියා පද දෙක අපට පෙන්වා දෙයි. ජේසු සමිඳාණෝ තමන් හිස්කර ගත්හ. උන්වහන්සේ දේව පුත්‍රයාණන් ලෙස තමන් සතු වූ මහිමයෙහි එල්බ ගෙන නොසිට, පව්කාරයන් වන අප සමග සෑම අතින්ම එක සමාන වනු සඳහා මනුෂ්‍ය පුත්‍රයෙක් වූහ; එහෙත් උන්වහන්සේ පාපයෙන් විමුක්ත වූහ."

දේවත්වය හිස් කොට ගෙන මනුෂ්‍යත්වය ගැනීම තුළ ක්‍රිස්තුන් වහන්සේට මුහුණ දෙන්නට සිදු වූ අවමානයේ අසීමාන්තික බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය: "ජේසු සමිඳාණෝ රජ කෙනෙකු හෝ කුමාරයෙකු වනවා වෙනුවට සේවකයකු වීමට තෝරාගත්හ. ශුද්ධ වූ සතියේ තවත් ඉදිරියට යන විට අපට දකින්නට හැකි වන්නේ උන්වහන්සේ ගේ අවමානයේ අගාධය පත්ලක් නොමැති එකක් බවයි. කෙසේ නමුත් ජේසු සමිඳුන් කොටලුවකු මත ජෙරුසලෙමට ඇතුළුවූවා සේ අපේ හදවත් වලටත් නගරවලටත් ඇතුළුවීමට බලා සිටිති. උන්වහන්සේ අප වෙතද පැමිණෙන්නේ බැහැපත්කමිනි; උන්වහන්සේ පැමිණෙන්නේ 'ස්වාමීන් වහන්සේ ගේ නාමයෙනි'"

ලූක් තුමා ගේ සුබ අස්නේ එන ජේසු සමිඳුන් ගේ දුක් ප්‍රාප්ති කතාවට සවන් දීමෙන් පසුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලි කලේ ජේසු සමිඳුන් සිය කුරිරු වේදනාව හා මහා බියකරු හුදෙකලා වීම තුළ ඔප්පු කර පෙන්වූ උන්වහන්සේ ගේ ප්‍රේමයේ දිග පළල ගැනයි.
"ජේසු සමිඳුන් ශුද්ධවූ සතිය තුළ සිය නිහතමානී බව හා ප්‍රේමය ප්‍රදර්ශනය කල ප්‍රථම සංකේතය වූයේ සිය අපොස්තුළුවරුන් ගේ පාද දෝවනය කිරීමයි. පාද දෝවනය මගින් උන්වහන්සේ අපට ආදර්ශයෙන් ම පෙන්වන්නේ, උන්වහන්සේ ගේ ප්‍රේමයට අප වෙත පිවිසෙන්නට අප ඉඩ දීම අවශ්‍ය බවයි. එම ප්‍රේමය කෙබඳු ප්‍රේමයක් ද? එය අප වෙත  පහතට නැමෙන  ප්‍රේමයකි.අපට මීට වඩා අඩුවෙන් යමක්  කල නොහැකිය. ප්‍රථමයෙන් උන්වහන්සේ ගෙන් ආදරය ලැබීමට ඉඩ නොහැර  අපට ආදරය කල නොහැකිය. උන්වහන්සේ ගේ විශ්මයජනක මෘදුබව හා කරුණාව අත්නොදැක අපට ආදරය කල නොහැකිය. අව්‍යාජ ප්‍රේමය සමන්විත වන්නේ ප්‍රායෝගික ක්‍රියාවලින් යැ"යි එතුමා පෙන්වා දුන්නේ ය.

බියකරු හුදෙකලාවීමේ අබිරහස
පාද දෝවනය ජේසු සමිඳුන් ගේ බැහැපත් වීමේ හා අවමානයේ ආරම්භය පමණක් බව සුදොතුම් පියතුමා පැහැදිලි කළේය. උන්වහන්සේ විසින් ම තෝරාගනු ලැබ සිය ශ්‍රාවකයකු යයි නම් කර, 'මගේ යාළුවා' කියා ආමන්ත්‍රණය කල මිනිසකු විසින්ම  රිදී කාසි 30 කට උන්වහන්සේව අලෙවි කරනු ලැබූ දුක්ප්‍රාප්තිය තුළ, එම බැහැපත්වීම හා අවමානය කුඨප්‍රාප්තියට පිවිසෙයි. 

"ජුදාස් ගේ පාවාදීමට අමතරව, සිය ශ්‍රාවකයන් අතරින් ඉතිරි සියල්ලන් විසින්ම පාහේ ජේසු සමිඳාණෝ අත්හැර දමනු ලබති. අග්‍ර ශ්‍රාවක පේදුරුතුමා උන්වහන්සේ තෙවරක් ප්‍රතික්ෂේප කරයි. උහුළු  විහිළු කිරීම්, නින්දා අපහාස, කෙල ගැසීම් සහ ශාරීරික පහරදීම නිසා උන්වහන්සේ තවත් අවමානයට පත්කෙරෙති. ජේසු සමිඳාණෝ සිය සිරුරේ දරුණු  කුරිරුබවකින් පීඩා විඳිති. පහරදීම්, කසපහර සහ කටු ඔටුන්න උන්වහන්සේ ගේ වත මඬල හඳුනා ගත නොහැකි ලෙස විරූපී කරයි. ආගමික හා දේශපාලන නායකයන් ගේ ගර්හාව හා දෝෂාරෝපණ නිසා උන්වහන්සේ නින්දාවටත් ලැජ්ජාවටත් පත් වෙති. රෝමානු ආණ්ඩුකාර පිලාත්තු වෙතින් හෙරෝද් වෙතටත්, ඔහු වෙතින් ආපසු පිලාත්තු වෙතටත් යවනු ලැබීමෙන් උන්වහන්සේ සිය මාංශය තුළ ම උදාසීනත්වය අත්විඳිති. මන්ද තමාගේ ඉරණම පිලිබඳ වගකීම ගැනීමට කිසිවෙකුත් කැමති නොවන බැවිනි. මීට ටික දිනකට කළින් උන්වහන්සේ ජය ගොසින් පිළිගත් ජනතාව පවා උන්වහන්සේ කුරුසියේ ඇණගසන්නැයි දැන් ඝෝෂා කරති. ඒ වෙනුවට මිනීමරුවකු නිදහස් කලන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. මේ සිද්ධි දාමය නිසා උන්වහන්සේ ගේ මරණය ද්‍රෝහීන්, වහලුන් හා දරුණු අපරාධකාරයන් සඳහා වෙන්වූ නින්දාසහගත හා වේදනාත්මක මරණයක් බවට පත් වෙයි" යැයි ක්‍රිස්තුන් වහන්සේ ගේ දුක්ප්‍රාප්තියේ තේරුම් ගත නොහැකි වේදනාව පහදා දෙමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.

එසේම බියකරු හුදෙකලාවීම තුළ උන්වහන්සේ අත්විඳි දැඩි මානසික  පීඩාව ද එතුමා පැහැදිලි කළේය: කෙසේ නමුත්, සිය තනිවීම, නින්දා අපහාස සහ වේදනා මදිවාක් මෙන් ජේසු සමිඳාණෝ තවත් ඉදිරියට යති. මානව අප සමග පුර්ණ වශයෙන් සහයෝගීතාවට පැමිණෙමින් කුරුසිය මත දී උන්වහන්සේ සිය පියාණන් විසින් අත්හැර දමනු ලැබීමේ අබිරහස අත්දකිති."

"අවසන් දුර්පරීක්ෂාව"
"ඔබ මෙසියස් නම් පහලට බස ඔබවම ගලවා ගන්නැයි කළ අභියෝගයෙන් ජේසු සමිඳාණෝ  කුරිසිය මත දී සිය අවසන් දුර්පරීක්ෂාවට මුහුණ දෙති" යි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය."එහෙත් ඊට ඉඩ දෙනුවෙනුවට උන්වහන්සේ කරන්නේ නපුර යහපතෙන් පරාජය කිරීමත්, බලැති, අනභිභවනීය දෙවියන් වහන්සේ ගේ වත මඬල පෙන්වීමත් සඳහා තමාව තම පියාණන් අතට භාර දීමයි."

"එසේම සිය අවසාන මොහොතේ දී පවා ජේසු සමිඳුන් පෙන්වන්නේ දෙවියන් වහන්සේ ගේ කරුණාව නමැති වත මඬලයි. තමන් කුරුසියේ ඇණගැසූවනට සමාව දෙමින්, ශතාධිපතියා ගේ හදවත වෙනස් කරමින් හා පසුතැවිලි වූ සොරාට පාරාදීසය පොරොන්දු වෙමින් පෙන්වන ලද්දේ එම කරුණාවේ මුහුණයි."

"නපුරේ අබිරහස අගාධයක් නම්, ජේසු සමිඳුන් වෙතින් ගලා හැලුණු ප්‍රේමය අනන්තය. එය මිනීවලට හා  නරකාදියට පවා ලඟා වෙයි....ජේසු සමිදාණෝ අපගේ සියලු දුක් වේදනා උනහ්ස්නේ මත පවරාගන්නේ , අඳුර ඇති තැනට ආලෝකයත් මරණය ඇති තැනට ජීවිතයත් වෛරය ඇති තැනට ආදරයත් ගෙන එමින් අප මුදාලීම සඳහාය."

මේ ශුද්ධවූ සතියේ දී කුරුසිය දෙස බලමින් මෙම අබිරහස භාවනා කරන්නයි සුදොතුම් පියතුමා ඉල්ලා සිටියේ ය.  


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය