"සභාවට කිලිටි සල්ලි එපා!" ප්‍රැන්සිස් පාප් වහන්සේ ගෙන් එඩිතර ප්‍රකාශයක්

Pope Francis:"The Church doesn't need 'dirty money' " 

සුදොතුම් පියතුමා මාර්තු 2 වැනිදා පොදු හමුවේ දී

(2016 මාර්තු 2)
2016 මාර්තු 2 වන දා බදාදා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති බදාදා පොදු හමුවේ දී  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කතෝලික සභාවට ලැබෙන සම්මාදම් හා පඬුරු මුදල් පිළිබඳව පාප් වහන්සේ නමක්  මෙතෙක් කල එඩිතරම හා විවෘතම ප්‍රකාශය කළේය.  ශ්‍රම සුරාකෑම සහ වෙනත් ආචාරධර්ම විරෝධී මාර්ගවලින් උපයන ධනය "කිලිටි සල්ලි" ලෙස හැඳින් වූ එතුමා " මේ කිලිටි සල්ලි සභාවට එපා! එසේ හම්බ කාරණා මුදලින් ලියන ඔබේ චෙක්පත් පුළුස්සා දමන්න" යයි උපදෙස් දුන්නේ ය.

මෙවරත් බදාදා පොදු හමුව සඳහා වන්දනාකරුවන් දසදහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වී සිටියහ.

පොදු හමුවේදී තමන් කල ධර්මෝපදේශ කතාවට එතුමා මෙවර තේමා කරගත්තේ ඉසයියාස් දිවස්ප්‍රසාදීවරයාගේ පොතේ පළමුවැනි පරිච්ඡේදය යි. "මේ කොටසින් දෙවියන් වහන්සේ පවසන්නේ තමන්වහන්සේ මිනිසුන් ගේ යාග පුජාවලට කැමති නැති බවයි. විශේෂයෙන් ම ඒවා ඔප්පුකරනු ලබන්නේ සිය සහෝදරයන් ගේ ලේ තැවරුණු දෑත් වලින් නම් උන්වහන්සේ ඒවා නොපිලිගනියි" යයි එතුමා පෙන්වා දුන්නේ ය. " ' නුඹලාගේ නිමක් නැති පූජාවලින් මට වැඩක් ඇද් ද?...ඔය නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න; දුම් පූජා මට ඉවසිය නොහැකි ය.  මට අයැදින පිණිස නුඹලා අත් ඔසවන කල එය නොදකින ලෙස මම මාගේ ඇස් වසාගන්නෙමි. නොකඩවා යාච්ඤා කළත් කිසිසේත් සවන් නොදෙන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී ඇත' යනුවෙන් දෙවියන් වහන්සේ පවසන විට උන්වහන්සේ සිතන්නේ සභාවේ ඇතැම් දායකයන් හා පරිත්‍යාගශීලීන් ගැනයි" යයි සුදොතුම් පියතුමා කියාසිටියේ ය.

"ඉතා ත්‍යාගශීලී පඬුරු හෝ සම්මාදම් රැගෙන සමහරු පැමිණෙනවා. එහෙත් එම පඬුරු විවීධාකාරයෙන් කිලිටි වී තිබෙනවා. ඒවා බොහෝ ජනතාවක ගේ ශ්‍රමය සූරාකනු ලැබීමෙන්, අනිසි ලෙස සැලකීමෙන් හෝ අඩු වැටුප් දෙන රැකියාවල වහලුන් ලෙස නිරත කරවා ගැනීමෙන් ගලන ලේවල ඵලයි. එවැන්නන්ට මා මෙසේ කියනවා. කරුණාකර ඔබේ චෙක් පත ආපසු රැගෙන ගොස් පුළුස්සා දමන්න. සභාවට කිලිටි සල්ලි අවශ්‍ය නොවේ. සභාවට අවශ්‍ය වන්නේ දෙවියන් වහන්සේ ගේ දයා කරුණාවට විවෘතවන හදවත් යැ" යි සුදොතුම් පියතුමා අවධාරණය කළේය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය