" ජීවිතයේ අඳුරුතම මොහොතවල ඇදහිල්ලේ පහන සුරකින දේව දීමනාව: බලාපොරොත්තුව"

Holy Father explains the qualities of "silent, humble virtue, Hope"



(2016 මාර්තු 18)
මාර්තු 17 වැනිදා සිය  "සාන්තා මාර්තා තානායම්" ගෙදර පුංචි පල්ලියේ පැවැති දිව්‍ය පුජාවේ දී ප්‍රැන්සිස් පාප් වහන්සේ භාවනා කලේ කතෝලිකයන් අඩුවෙන් ම කතා කරන, එහෙත් වැදගත් ම ධර්මගුණයක් ගැනය.  විශ්වාසය, බලාපොරොත්තුව, ප්‍රේමය යන ධර්මගුණ අතරින් විශ්වාසය හා ප්‍රේමය ගැන නිතර භාවනා කෙරේ. බලාපොරොත්තුව එතරම් අවධානයට ලක් නොවන මාතෘකාවකි.

එහෙත් "බලාපොරොත්තුව නිහඬ, බැහැපත් ධර්මගුණයක් නමුදු දුෂ්කර අවස්තාවලදී අපට සහාය වී අප සිත් සාමයෙන් පුරවාලන්නේ එය" යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

"බලාපොරොත්තුව යනු ජීවිත දිය දහරට යටින් ගලා යන නිරහංකාර ධර්ම ගුණයයි. එහෙත් අනේකාකාර දුෂ්කරතාවලදී අප ගිලීනොයනු සඳහා අප ඔසවා ගෙන යන්නේ එයයි. දෙවියන් වහන්සේ සෙවීමට අප තුළ ඇති අභිරුචිය සිඳී නොයාම සඳහා අප ඔසවා ගෙන යන්නේ එයයි. දිනෙක අප දකින මහිමාන්විත වට මඬල දකින තෙක් අප ගෙන යන්නේ මේ ධර්මගුණයයි: බලාපොරොත්තුවයි" යැයි දිව්‍ය පුජාවේ ධර්ම දේශනාව කරමින් එතුමා කියා සිටියේ ය.

මෙදින පාප් වහන්සේ ගේ භාවනාවට පාදක වූයේ එදින දේව වාක්‍යයෙන් ප්‍රකාශ වූ ආබ්‍රහම් ගේ ප්‍රතිරූපය හා සුබ අස්නේ "ඔබගේ පියා වන ආබ්‍රහම් මාගේ දිනය දැකීමට ප්‍රීතියෙන් සිටියේ" යැයි ජේසු සමිඳුන් ජුදෙව්වන්ට කළ ප්‍රකාශයයි

 "ආබ්‍රහම්ට 'බලාපොරොත්තුවේ මග' දිගටම දුර්පරීක්ෂා තිබුනා. එහෙත් ඔහු ස්වාමීන්වහන්සේ ඔහුට කී දේ විශ්වාස කොට උන්වහන්සේට කීකරු වෙමින් උන්වහන්සේ පෙන්වන දේශයට යන ගමන් ආරම්භ කළා......මේ ආකාරයෙන් සමස්ත ගැලවීමේ කතා පුවතම එකට යා කරන 'බලාපොරොත්තුවේ හුයක්' තිබෙනවා. කිතුනුවන් ගේ 'ප්‍රීතියේ උල්පත' එයයි. මෙම බලාපොරොත්තුවේ හුය ආබ්‍රහම් ගෙන් ආරම්භ වී ගැලවීමේ ඉතිහාසය ඔස්සේ දිග හැරී ක්‍රිස්තුන් වහන්සේ ගෙන් මුදුන් පැමිණෙනවා. ඇතැම් අවස්ථාවල බලාපොරොත්තුව පැහැදිලිව පෙනෙන අතර තවත් විටෙක එය සැඟවී පවතියි " යැයි දේව වාක්‍යය විග්‍රහ කරමින් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

"ආබ්‍රහම් විශ්වාස කලේ 'සියලු බලාපොරොත්තුවලට එරෙහිවයි.' මානව බලාපොරොත්තුව නැත්තටම නැති වී ගිය කිසියම් අවස්ථාවක හෝ සිද්ධියක දී පවා, අප ඉදිරියට ඔසවාගෙන යන  ලෝකෝත්තර බලාපොරොත්තුවේ ධර්මගුණය නිරන්තරයෙන් ම අප සමග පවතියි. මෙම ධර්මගුණය නිහතමානීය. සරලය. එහෙත් එය  නිතරම ප්‍රීතිය ලබා දෙයි. ඇතැම් විට බොහෝ ආනන්දයෙන් අප පුරවාලයි.තවත් සමහර විට එයින් අපට ලැබෙන්නේ චිත්ත සාමය පමණකි. එහෙත් එක් දෙයක් සහතිකයි. එනම් බලාපොරොත්තුව කිසිවිටෙකත්  අප කලකිරීමට  පත් නොකරයි" යයි එතුමා සඳහන් කලේ ය.

දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට, සිය උපන් බිම අතහැර දමා ඔහු  නොදන්නා දේශයකට (දෙවියන් වහන්සේ පෙන්වන දේශයට) යන්නැයි උපදෙස් දුන් ආකාරය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විස්තර කළේය. "ස්වකීය පොරොන්දුව ඉටු කරමින් කුරුසියට ගියේ එම දෙවියන් වහන්සේ මයි" එතුමා කතා පුවතේ මුල, මැද, අග එකතු කරමින් පෙන්වා දුන්නේ ය. "කාලය සම්පුර්ණ වෙද්දී අප සියල්ලන් වෙනුවෙන් ස්වකීය පොරොන්දුව ඉටුවීම සහතික කරන්නේ ඒ දෙවියන් වහන්සේ මයි. එබැවින් (ආබ්‍රහම් ගේ) ඒ ප්‍රථම මොහොතේ සිට මේ මොහොත (කුරුසිය) දක්වා සියල්ල යා කොට ඒකාබද්ධ කරන්නේ බලාපොරොත්තුවේ හුයයි.අපගේ පව්කාර බව නොතකා අප ඉදිරියට ගෙනයමින් අපගේ කිතුනු ජීවිත මොහොතින් මොහොත එකිනෙකා හා යා කොට ඒකාබද්ධ කරන්නේ මේ බලාපොරොත්තුවයි.  දුෂ්කර හා නරක අවස්ථාවලත්, ජීවිතයේ අඳුරුතම මොහොතවලත් අපට චිත්ත සාමය ලබා දෙන්නේ බලාපොරොත්තුවයි. එය අප කළකිරවීමට පත් නොකරයි. එය නිහඬව, බැහැපත්ව එහෙත් ශක්තිමත්ව නිරන්තරයෙන් අප සමග සිටියි" යයි විශ්වාසයේ පහන නොනිවී තබා ගැනීමට උදව් වන මෙම සුන්දර ධර්ම ගුණය ගැන පහදමින් සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය