"සභාව පාරදෘශ්‍ය විය යුතුයි; බෙදාගැනීම තමන් වෙතින් ආරම්භ කල යුතුයි" ක්‍යුරියාවේ ධර්මවිවේකයේදී අවධාරණය කෙරේ

 Curia retreat participants are shown: "To share is to multiply" 

සුදොතුම් පියතුමා ඇතුළු කණ්ඩායම ධර්මවිවේක භාවනා ශාලාවේ
(2016 මාර්තු 10)
"දුප්පත් සභාවක්-දුප්පතුන් සඳහා වන සභාවක්" මෙය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාගේ ප්‍රධාන තේමා පාඨයකි. "අයිති කරගන්නා  සභාවක් නොව බෙදා ගන්නා සභාවක්"යන්න ද ඊටම සම්බන්ධව පවතියි. සභාවේ ඇතැම් නායකයන් ඊට සවන් දීම ප්‍රතික්ෂේප කලද, ඉකුත් කාලය තුළ මෙම පණිවිඩය යළි යලිත් රැව් දුන්නේ ය. මේ සතියේ එය වඩා ගැඹුරින් ඇසුනේය.

මෙවර එය ඇසුනේ සුදොතුම් පියතුමා වෙතින් නොවේ. සුදොතුම් පියතුමා සහ රෝම ක්‍යුරියාවේ රදගුරු හිමිවරුනට ධර්මවිවේකය දේශනා කරන පියතුමාගෙනි. සුදොතුම් පියතුමා සහ ක්‍යුරියාවේ සාමාජිකයන් ගේ වාර්ෂික ධර්ම විවේකය ඉකුත් දිනවල රෝමයෙන් පිටත ඇරීසියා පුංචි නගරයේ ධර්ම විවේක මධ්‍යස්ථානයක දී පැවැත්විණ. එහි දේශනාවාදී පියතුමා ලෙස කටයුතු කරන්නේ මරිය සේවක නිකායේ අර්මෙස් රොන්චි පියතුමායි.

බදාදා දින පැවැති ධර්ම විවේකයේ සයවැනි භාවනාවට වැදගත් කරුණු කිහිපයක් කේන්ද්‍ර වූ බව වතිකාන රේඩියෝව වාර්තා කරයි. සිය වත්කම් පිලිබඳව කතෝලික සභාවේ  පාරදෘශ්‍යභාවය, කුසගින්නට එරෙහි සටනට අදාළ ප්‍රශ්න සහ ආහාර ඉවත දැමීම ඒ කරුණු කිහිපයයි.

කුසගින්න - සභාවේ ප්‍රතිචාරය?

මෙදින භාවනාවට තේමාව වූයේ "ඔබ සතුව පාන් ගෙඩි කීයක් තිබෙනවා ද?" (මාක් 6:38 සහ මතෙව් 15:34) යන සුබ අස්නේ එන ප්‍රශ්නයයි. ජේසු සමිඳුන් සිය අපොස්තුලුවරුන්ගෙන් මෙම ප්‍රශ්නය ඇසුවේ පූප වැඩි කිරීමේ ප්‍රාතිහාර්යයට පෙර ය.

"කිතුනුවන්ව බොහෝ රිදවන කාරණයක් තිබෙනවා. එනම් පූජකවරුන් මුදලට ඇති ඇල්ම හා බැඳීමයි. ඔවුන් සතුටට පත් කරන කාරණාව, පූප (ආහාර) බෙදා හදා ගැනීමයි," යැයි මේ පිළිබඳව සිය භාවනාව ආරම්භ කරමින් රොන්චි පියතුමා පැවසුවේය.

"බොහෝ මිනිසුන් කෙතරම් කුසගින්නෙන් පෙළෙන්නේ ද කියන්නේ නම්, ඔවුන්ට දෙවියන් යනු පාන් ගෙඩියක් හෝ බත් පිඟානකි. (එනම් ඔවුනට දෙවියන් ගේ ස්වරූපය  වෙන කවරක් වත් නොව කෑම වේලක් පමණයි.)" යයි එතුමා කීවේය.


"ජීවිතය ආරම්භ වන්නේ කුසගින්නෙන්. ජීවත් වීම යනු කුසගිනි වීමයි. එය තවත් එක් පියවරක් ඉදිරියට ගෙන යන්නේ නම්, අපට කතා කරන්නට සිදු වන්නේ ලෝකයේ දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙලන කුසගින්න ගැනයි. 'දුප්පතුන් ගේ වැටලීම': අපට එය හැඳින්විය හැක්කේ එලෙසයි. දශ ලක්ෂයක් අත් දිගුවී , කන්නට යමක් ඉල්ලන විට ඔවුන් ඉල්ලන්නේ ආගමික නිර්වචනයක් නොවේ. සභාව  ඊට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?" පියතුමා ප්‍රශ්න කළේය.

"අඳුරු වීදුරු" එපා! 

සුබ අස්නේ එන පූප සහ මසුන් වැඩි කිරීමේ ප්‍රාතිහාර්යයේ කියවීම උපුටා දැක්වූ දේශනාවාදී රොන්චි පියතුමා, එහි එන වැදගත් කරුණක් දෙස ධර්මවිවේකයට සහභාගී වන්නන් ගේ අවධානය යොමු කලේ ය.

"'ඔබේ අතේ ඇත්තේ මොනවා දැයි කියන්නැයි' ජේසු සමිඳුන් සිය ශ්‍රාවකයන ගෙන් විමසනවා. ජේසු සමිඳුන් ගේ මේ ප්‍රශ්නය ඉතා ප්‍රායෝගික ප්‍රශ්නයක්. එය ඉතා හොඳ එළඹුමක්" පියතුමා කීවේය. මන්ද උන්වහන්සේ විමසන්නේ අපගේ 'වත්කම' ගැනයි. එබැවින්, ජේසු සමිඳුන් ගේ සියලු ශ්‍රාවකයන් ගෙන්, වර්තමාන ශ්‍රාවකයන් වන අප ද ඇතුළුව,  උන්වහන්සේ ඉල්ලා සිටින්නේ අපගේ 'වත්කම්' කෙතරම් දැයි පවසන ලෙස යැයි රොන්චි පියතුමා පෙන්වා දුන්නේ ය.

'ඔබට කොපමණ මුදල් තිබෙනවා ද? කොපමණ ගෙවල් තිබෙනවා ද? කොපමණ මෝටර් රථ තිබෙනවා ද? කුරුස ප්‍රතිමා හෝ මුදු ආකාරයෙන් වුවත්, කොපමණ වටිනා (රන් හෝ වෙනත්) ආභරණ තිබෙනවා ද? ඔබගේ ජීවන තත්වය කුමක් ද? අප මේවා ගණන් කල යුතුයි" එතුමා විස්තර කළේය. පියතුමා කියා සිටියේ මෙයින් අදහස් වන්නේ අපගේ පාරදෘශ්‍යභාවය (විනිවිද පෙනෙන සුළු බව) යන්නයි.

"සභාව පාරදෘශ්‍යභාවයට බිය නොවිය යුතුයි" දේශනාවාදී පියතුමා අවධාරණය කලේය.


බෙදාගැනීම යනු වැඩිකිරීමයි

"ඔබ පාරදෘශ්‍ය නම්, ඔබ සත්‍යවාදීයි. ඔබ අවංක හා සත්‍යවාදී වන විට ඔබ නිදහස් වේ" යයි ධර්මවිවේකයට සහභාගිවන සුදොතුම් පියතුමා ඇතුළු කණ්ඩායමට දේශක පියතුමා පෙන්වා දුන්නේ ය. "ජේසු සමිඳුන් කිසිවකුට හෝ උන්වහන්සේ 'මිළ දී ගන්නට' ඉඩ දුන්නේ නැත. උන්වහන්සේ, සිය මෙලොව ජීවිතය අවසාන දිනයේ සිරකරුවකු ලෙස හැර, කිසිදු විටෙකත් මාළිගාවලට ඇතුළු වූයේ නැත," යයි පියතුමා මතක් කර දුන්නේ ය.

"ජේසු සමිඳුන් ගේ න්‍යාය වූයේ දීමයි; රැස්කිරීම නොවේ. 'ප්‍රේම කිරීම' යන වදන සුබ අස්න පරිවර්තනය කරන්නේ 'දීම' යනුවෙනුයි. පූප සහ මසුන් වැඩිකිරීමේ ප්‍රාතිහාර්යය අපට පෙන්වා දෙන වැදගත් කාරණයක් වන්නේ පූප (පාන් ගෙඩි) සංඛ්‍යාව ගැන ජේසු සමිඳුන් සැලකිල්ල යොමු නොකරන බවයි. උන්වහන්සේ ගේ කැමැත්ත වන්නේ අප සතු පූප බෙදා ගැනීමයි."

"අභිරහස්‍යමය දිව්‍ය රීතියකට අනුව, මගේ බත් පත අපේ බත් පත වූ විට, මඳි දේ ඇති වෙයි. කුසගින්න ආරම්භ වන්නේ මගේ බත් පත මට පමණක් තබා ගත් විටයි. කුසගින්න ඇති වන්නේ සංතෘප්ත වූ බටහිර ලෝකය තම පාන්, තම මසුන්, තම වත්කම් මත එල්බගෙන සිටින විටයි. ප්‍රමාණවත් තරම් පාන් තිබේ. මුළු මිහිතලයේම කුසගිනි නිවීමට එය ප්‍රමාණවත් ය. එම පාන් (පූප ) වැඩිකිරීමට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ එය බෙදා ගැනීම පමණයි. එම බෙදාගැනීම අපෙන් ආරම්භ විය යුතුයි. ප්‍රාතිහාර්යමය වැඩි කිරීම්  අපට අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ ආත්මාර්ථකාමයේ,අහාර නාස්ති කිරීමේ සහ ටික දෙනෙකු විසින් එක් රැස් කිරීමේ ගොලායත් පරාජය කිරීමයි," යැයි රොන්චි පියතුමා අවධාරණය කළේය.






Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය