තෙරේසා මව්තුමිය සාන්තුවරයට එසැවීම සැප්තැම්බර 4

 It's official: Mother Theresa to be canonized on September 4 (UPDATED)


(2016 මාර්තු 13)
කල්කටාවේ තෙරේසා මව්තුමිය සාන්තුවරයට එසැවීම සැප්තැම්බර 4 වනදා සිදු කරන බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ අද  (මාර්තු 15) ප්‍රකාශ කළහ.

එතුමා මෙම තීරණය  ගත්තේ  අද පැවැති කාදිනල් හිමිවරුන් ගේ රැස්වීමකදී ය.

දයාවේ ජයන්ති වසර වන මේ වසරේ සැප්තැම්බර 4 විශේෂ දිනයකි. "දයාවේ සේවකයන් හා ස්වේච්ඡා සේවකයන් ගේ ජුබිලිය" යෙදී ඇත්තේ එදිනටයි. ජේසු සමිඳුන් ගේ දයා කරුණාවේ ජීවමාන ආදර්ශයක් වූ කල්කටාවේ තෙරේසා මව්තුමිය සාන්තුවරභාවයට එසැවීම එදිනට යොදා ගැනීමට ප්‍රැන්සිස් පාප් වහන්සේට මහත් ඕනෑකමක් තිබිණි. ඊට හේතුව දයාවේ සේවකයන් හා ස්වේච්ඡා සේවකයන් කරන සේවාව අගය කිරීමටත් ඔවුන් දිරි ගැන්වීමටත් තෙරේසා මව් තුමිය බඳු වෙනත් නූතන ආදර්ශයක්  සොයා ගැනීම අපහසු බැවිනි. 

එතුමිය ගේ සාන්තුවරය සැප්තැම්බර් 4 වන දිනට යෙදීමට බොහෝ දුරට ඉඩ ඇති බව වතිකාන සුළඟ වාර්තා කලේ මීට බොහෝ කලකට පෙර ය.

ජීවත්ව සිටියදීම "මුඩුක්කුවල සාන්තුවරිය" යන විරුදය ලබා සිටි තෙරේසා මව් තුමිය 1910 අගෝස්තු 26 දා මැසිඩෝනියාවේ ස්කොප්යේහි දී උපත ලැබුවා ය. ඇයගේ උත්පත්ති නම ඇග්නස් ගොන්ෂා බොයැක්ෂියු යන්නයි. වයස අවුරුදු 17 දී ලොරෙට්ටෝවේ පැවිදි සොයුරියන් ගේ නිකායට එක් වූ ඇය කල්කටාවේ සේවයට යවනු ලැබුවා ය. එහි දී  ක්ෂය රෝගය වැළඳුනු ඇය විවේක ගැනීම සඳහා ඩාජිලින් වෙත යැවිණි. එතුමියට මෙම විශේෂ දූත සේවාව සඳහා කැඳවීම ලැබුනේ එහිදීය. එහි මිනිසුන්, කාන්තාවන්  හා ළමයින් මහ පාරවල පණ ඇද මිය යන අයුරු ඇය දුටුවාය. ඔවුන් මිය යන්නේ  කිසිවකු ගේ ආදරයක් නොලැබ, කිසිවකුගේ යාච්ඥාවක් හෝ අවම වශයෙන් ආදරයේ හෝ දිරිමත් කිරීමේ වචනයක් නොඇසී බව ඕ නිරීක්ෂණය කළාය. "මම පිපාසව සිටිමි; තනිව සිටිමි; නිරුවත්ව සිටිමි; රෝගීව සිටිමි........." ජේසුගේ වචන ඇයගේ හදවතේ දෝංකාර දෙන්නට වන.

අවසානයේ සිය මව් නිකායෙන් අවසර ගත ඕ සිය කන්‍යාරාමයෙන් පිටව කල්කටාවේ වීදිවලට පිවිසුනාය. රෝගීන්, වයස්ගත වුවන්, පාරේ මියයන්නන් සිය දෑතින් ඔසවා ගෙනවුත්, නාවා, ප්‍රතිකාර කොට, අවම වශයෙන් යහපත්, ප්‍රීතිමත්  මරණයක් ලබා දීමට එතුමිය මුලින් පියවර ගත්තාය. ඇයගේ  සේවාවට ඇය ඉගැන්වූ කන්‍යාරාම විදුහලේ සිසුවියන් කිහිප දෙනෙක් ද එක වුහ.

සියල්ල ආරම්භ වූයේ එසේය.

අද වන විට, තෙරේසා මව්තුමිය ආරම්භ කල දයාවේ ධර්මදූත නිකායේ සේවාව නොලබන, එම නිකායේ ආයතනයක් නොමැති රටක් මේ මිහිතලය මත නැති තරම් ය. නිල කිතුදහම හෝ කතෝලික සභාවට මෙතෙක් යා නොහැකි වූ සෑම  කොනකටම යන්නට එතුමියගේ ප්‍රේමයට හා දයාවට හැකියාව ලැබී තිබේ.

ජේසු සමිඳුන්ට බොහෝ සමීපව සිටීම නිසා උන්වහන්සේ ගේ හදවත හොඳින් හැඳින සිටි  අපොස්තුලුවරයා වූ ශුද්ධවර ජුවාම්  තුමා සිය සංදේශයේ මේ සියල්ල මෙසේ සාරාංශ කරයි: "දෙවියන් වහන්සේ ප්‍රේමය වන සේක."

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය