යේමනයේ වැඩිහිටි නිවාසයකට ත්‍රස්තවාදී ප්‍රහාරයක්; දයාවේ සොයුරියන් 4 දෙනෙකු ඇතුළු 16 දෙනෙක් මියයති. (UPDATED)

 Four Missionaries of Charity sisters among 16 dead in a Home for the seniors (Updated with Pope's message) 



(2016 මාර්තු 1)
දයාවේ ධර්මදූතික සොයුරියන් 4 දෙනෙකු ඇතුළු 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් 4 වැනි සිකුරාදා යේමනයේ වැඩිහිටි නිවාසයකට එල්ල කෙරුණු ප්‍රහාරය සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ හෙලා දකිති. උන්වහන්සේ පවසන්නේ එය "ඉතා දුෂ්ට ප්‍රචණ්ඩ ක්‍රියාවක්" ලෙසයි. අවි අතහැර සාකච්ඡාවේ මාර්ගයට එක වන්නැයි අවිගත් පිරිස් වෙතින් එතුමා යලිත් ඉල්ලා සිටියි.

එතුමා මෙසේ ප්‍රකාශ කරන්නේ මෙම සිද්ධිය පිලිබඳ සොව පල කරමින් යේමනයේ දයාවේ ධර්මදූත සොයුරියන් වෙත යවන ලද විදුලි පුවතක් මගිනි. පාප් වහන්සේ වෙනුවෙන් ඊට අත්සන් තබා ඇත්තේ වතිකාන රාජ්‍ය ලේකම් අති උතුම් පියෙත්‍රෝ පැරොලිනි කාදිනල් හිමිපාණෝ ය.

යේමනයේ වැඩිහිටි නිවාසයකට අවිගත් පිරිසක් විසින් ඊයේ (මාර්තු 4) එල්ල කරන ලද ප්‍රහාරයකින් දයාවේ ධර්මදූත සොහොයුරියන් සිව් දෙනෙකු  ඇතුළු 16 දෙනෙක් මිය ගියහ. මෙම වෙඩිතැබීම සිදුවී ඇත්තේ  මේ වන විට දරුණු සිවිල් යුද්ධයකට මැදි වී ඇති යේමනයේ  තාවකාලික අගනුවර වන ඒඩන් නුවර පිහිටි වැඩිහිටි සාත්තු නිවාසයක් තුළයි. මෙම වැඩිහිටි නිවාසය පවත්වාගෙන යනු ලබන්නේ කල්කටාවේ තෙරේසා මව් තුමිය ආරම්භ කළ දයාවේ ධර්මදූත පැවිදි නිකාය විසිනි.

මෙම සිද්ධිය ගැන දැනගැනීමෙන් පාප් වහන්සේ අතිශය ශෝකයටත් කම්පාවටත් පත් වූ බව කාදිනල් හිමි එම නිවේදනයේ ප්‍රකාශ කරයි. සිද්ධියෙන් මිය ගිය  අය  හා ඔවුන් ගේ පවුල්වල අය වෙතත් මේ තේරුමක් නැති ප්‍රචණ්ඩ ක්‍රියාවල බලපෑමට ලක් වූ සියල්ලන් වෙතත් එතුමා සිය ආධ්‍යාත්මික සමීපත්වය ප්‍රකාශ කරන බව ද කාදිනල් තුමා සඳහන් කරයි.

"මෙම අර්ථශුන්‍ය මනුෂ්‍ය ඝාතන විසින් හර්දය සාක්ෂි අවදි කොට, සිත් වෙනසක් සිදු වී, ආයුධ අතහැර සංවාදයේ මාවතට පිවිසෙන්නට සියලු පාර්ශව වලට හැකියාව ලැබේවායි පාප් වහන්සේ යාච්ඥා කරති.  ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කොට යේමනයේ ජනතාව වෙත, විශේෂයෙන්ම දයාවේ සොහොයුරියන් සේවය කරන දේශයේ වඩාත් දුර්වල හා අවශ්‍යතාවලින් පෙලෙන අය වෙනුවෙන් වන කැපවීම අලුත් කරන්නැයි යේමනයේ සිවිල් යුද්ධයට එක වී සිටින සියලු පාර්ශව වලින් උන්වහන්සේ  ඉල්ලා සිටිති" යැයි කාදිනල් තුමා වැඩිදුරටත් සඳහන් කරයි.

ඇසින් දුටුවන් පවසන අන්දමට ඊයේ (සිකුරාදා) සිදූවූ මෙම ප්‍රහාරයට පුද්ගලයන් සිව් දෙනෙකු පැමිණ තිබේ. ඔවුන් නිවාසයට ඇතුළු වී ඇත්තේ එහි ජීවත් වන සිය මව බැලීමට යන බව පවසමිනි. එහෙත් නිවාසය තුළට පිවිසි වහාම ඔවුන් තමන් සඟවාගෙන ආ ගිනිඅවි පිටතට ගෙන මුරකරුට වෙඩි තබා ඉන් පසු දිගට හරහට වෙඩි තබන්නට පටන් ගෙන තිබේ. ප්‍රහාරය එල්ල වූ මුළු වෙලාව පුරාම එහි සිටින වැඩිහිටියන් බියෙන් ලතෝනි දෙන හඬ අසන්නට ලැබිණි. 

ප්‍රහාරයෙන් මිය ගිය දයාවේ සොහොයුරියන් මේ වන විට හඳුනා ගනු ලැබ  ඇතැයි දකුණුදිග අරාබි අපෝස්තලික සසුන්පද  කාර්යාලය පවසයි. ඉන්දියාවේ ඇන්සලම් සොයුරිය, රුවන්ඩාවේ මාර්ගරයිට් සහ රෙජිනට් සොයුරියන් සහ කෙන්යාවේ ජුඩිත් සොයුරිය එම සිව් දෙනායි. සිද්ධියෙන් මියගිය සෙසු අය අතර නිවාසයේ සේවකයන් කිහිප දෙනෙක් ද  සිටිති. සිද්ධියෙන් දිවි ගලවාගත් නිවාසයේ ප්‍රධාන මව් තුමිය දැන් පොලිස් ආරක්ෂාව යටතේ පසුවෙයි. මේ අතර, පැවිදි සොයුරියන් ගේ ආධ්‍යාත්මික උපදේශකවරයා ලෙස සේවය කල ඉන්දීය ජාතික සැලේසියානු නිකායික ටොම් උෂුනාලීල් පියතුමා  දේවස්ථානයේ සිටියදී පැහැරගෙන ගොස් තිබේ. එතුමන් සේවය කරමින් සිටි දෙව්මැදුර ඉකුත් සැප්තැම්බර මාසයේ ගිනිබත් කරනු ලැබීමෙන් පසුව එතුමා මෙම වැඩිහිටි නිවාසයේ සේවාවට පැමිණියේ ය. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ නිවාසයේ ජීවත් වෙමින්  සිටි 80 දෙනෙකු පමණ වන වැඩිහිටියන් අතරින් කිසිවෙකුට හෝ අනතුරක් සිදු වී නොමැති බව මුලික වාර්තා පෙන්වා දෙයි.

ප්‍රහාරයේ වහකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නැත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන දකුණුදිග අරාබි සසුන්පදයේ රදගුරු අති උතුම් පෝල් හින්ඩර් හිමිපාණන් පවසන්නේ මෙම සිද්ධියෙන් තමන් මහත් කම්පාවට පත් වූ බවයි. මෙම පැවිදි සොයුරියන් ගේ ජීවිත පරිත්‍යාගය සමිඳාණන් පිළිගනිත්වා යැයි ද, එය  සාමය සඳහා වූ පරිත්‍යාගයක්  ලෙස උන්වහන්සේ පිලිගනිත්වායි ද තමන් යාච්ඥා කරන බව එතුමා සඳහන්  කළේය.

 යේමනය 2015 මාර්තුවේ සිට සිවිල් යුද්ධටකට මැදි  වී සිටියි. එරට පැවති සුන්නි මුස්ලිම් ආණ්ඩුව පෙරලා දැමීම අරමුණු කරගත් හූති නමැති සුන්නි මුස්ලිම් සටන්කාමි කණ්ඩායම රටේ ප්‍රදේශ කිහිපයක බලය අල්ලා ගත්තේය. සෞදි අරාබිය එම සටන්කාමීන්ට එරහිව සටන් වදින යේමන් ආණ්ඩුවට සහය දෙමින් සිටියි. මේ තත්වය නිසා ඇති වූ බල රික්තය තුළ සිය අභිලාෂ මුදුන්පත් කරගැනීම සඳහා අල් කයිඩා සහ ISIS ත්‍රස්තවාදී සංවිධාන ද උත්සාහ දරමින් සිටියි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය