"බෝනා සේරා!" - "මේ මනුස්සයට වැරදිලාවත්ද?": 2013 මාර්තු 13 සන්ධ්‍යාව

 "Bona Sera!" - "Has he made a mitake?" The evening of March 13, 2013

"මා වෙනුවෙන් යාච්ඥා කරන්න"

(2016 මාර්තු 11)
දිනය 2013 මාර්තු 13 වන දා ය. වෙලාව රාත්‍රී අට හමාරට පමණ ඇත.

වතිකානයේ සාන්ත පීතර බැසිලිකා මහා දෙව් මැදුරට මුහුණලා ඇති චතුරශ්‍රය අතුරු සිදුරු නැතිව ජනයාගෙන් පිරී තිබේ. ඒ ජනකාය අතර යෞවන යෞවනියන්, වයසක සිස්ටර්ලා බ්‍රදර්ලා පමණක් නොව අත දරුවන් වඩා ගත් තරුණ දෙමාපියෝ ද වෙති. ඒ සියල්ලන් ගේ නෙත් යොමුවී ඇත්තේ වතිකාන මාලිගා සංකීර්ණයේ සිස්ටයින් පල්ලියට ඉහලින් අහස දෙසට නැගී සිටින දුම් කවුළුව දෙසටය.

හිටි හැටියේ කොහේදෝ සිට ඉගිල ආ සුදු පරෙවියෙක් එම දුම් කුලුන මත වසයි. සියල්ලෝ ප්‍රීතිමත්ව, එහෙත් පුදුමයෙන් පරෙවියා දෙස බලා සිටිති. "ඌ කොහේ සිට ආවේ ද? මේ වෙලාවේ...?" ලොව විවධ දෙසින් පැමිණි මාධ්‍යවේදීන් ගේ රූපවාහිනි කැමරා ඒ දෙසට යොමුවෙයි.

කැනඩාවේ CBC TV නාලිකාව රෝමයේ සිට මෙම සිද්ධිය සජීවීව ආවරණය කරන එක් ජාත්‍යන්තර මාධ්‍යයකි. එහි තොරතුරු විචාරක ජ්‍යෙෂ්ඨ වාර්තාකරු  පීටර් මෑන්ස්බ්‍රිජ් සමග එරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ගෞරවයට පත් සන්නිවේදකයකු වන බැසිලියාන නිකායික තෝමස් රොසිකා පියතුමා සම්පත් දායකයකු ලෙස එක්ව මෙම විචාරය ගෙන එමින් සිටියි. ඔවුන් ගේ නෙත් ද පරෙවියා දෙස යොමුවේ.
"මෙයා  කොහේ ඉඳලද ආවේ......" ඔහු තමාටම කියා ගනියි. පරෙවියා තවමත් කුලුන මතය. ඔහුට සතුටු සිනහවක් පහල වෙයි. "මෙයා යන්නේ නැති පාටයි.... පියතුමෙනි මොනවද ඔබට හිතෙන්නෙ මේ පරෙවියා ගැන?" ඔහු විමසයි.
"පරෙවියා කියන්නෙ ශුද්ධාත්මයානන් ගේ සංකේතය....." රොසිකා පියතුමා දැඩි විශ්වාසයකින්, සතුටු සිනහවක් ද සමග  පිළිතුරු දෙයි.
"ඒ කිව්වේ, ඔබ හිතනවද අපට සුබාරංචියක් ළඟ තිබෙනව කියල, නව පාප්තුමා ගැන?" මෑන්ස්බ්‍රිජ් යලි ප්‍රශ්න කරයි.
පියතුමාට යලි සිනහ පහල වෙයි. "ඇයි? ඔබ හිතනව ද එහෙම නොවේවී  කියල?" පියතුමා පැනයකින්ම පිළිතුරු දෙයි.

කොහේදෝ සිට ආ පරෙවියා හිටි ගමන් යළිත් කොහේටදෝ පියඹා යයි.
සිරි පොද වැස්සක් වැටේ. පාසල් වියේ දරු දැරියන් ගේ සිට වැඩිහිටියන් දක්වා සියල්ලෝ දුම් කුලුන දෙස නෙත් යොමා බලා සිටිති. බොහෝ දෙනෙකු අත ජපමාල ය.

තවත් මොහොතක් දෙකක් ගෙවී යයි.

හදිසියේම දුම් කුලුනින් දුමක් නගින්නට පටන් ගනියි.
"කළු ද සුදු ද?" හැමෝම අසති. මුලින් නොපැහැදිලි වූ එම දුම පැහැදිලි සුදට හැරේ.
"අලුත් පාප් වහන්සේ  තේරිලා ....." සෑම  කෙනෙක් තුළම උද්දාමය  දොරේ ගලන්නට පටන් ගනියි.
ජනතාව ඔල්වරසන් දෙන්නට පටන් ගනියි.
එහෙත් දැන් මුළු ලෝකයම කුතුහලයෙන් වෙලී ගොස් තිබේ. ඒ, නව පාප් වහන්සේ ලෙස තේරී සිටින්නේ කවර කාදිනල් නමද යන ප්‍රශ්නය  කතෝලික-කතෝලික නොවන සමස්ත ලෝකය තුළම නලියන්නට පටන් ගෙන තිබෙන නිසා ය. ඒ නිසා දැන් ගතවන සෑම මිනිත්තුවක් ම දැනෙන්නේ කල්පයක් ලෙසය.

මොහොතකින් සාන්ත පීතර බැසිලිකා සඳලු තලයේ දොර විවර වේ. කාදිනල් නමක් අරුණු දොරෙන් පිටතට පැමිණේ.
දස දහස් සංඛ්‍යාත ජනකාය මීයට පිම්බාක් මෙන් නිහඬ වෙයි.
"හබෙමුස් පාපම්!" ("අපට පාප්තුමෙක් සිටියි") එතුමා ප්‍රකාශ කරයි. "ආජන්ටිනාවේ අතිඋතුම් හොර්හේ මාරියෝ කාදිනල් බොර්ගෝලියෝ  ස්වාමීන්වහන්සේ පේදුරුතුමාගේ අනුප්‍රාප්තිකයා ලෙස තේරී පත්වී සිටින බව ද  එතුමා 'ප්‍රැන්සිස්' යන නම ගෙන ඇති බවද' එතුමා දැනුම් දෙයි.
ජනතාව අත්පොලසන් දෙති. එහෙත් ඒ අතරින් විමතියක් ද දක්නට ලැබේ. "කවුද බොර්ගෝලියෝ?" සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ ඉසිඹු ලැබීමෙන් පසු පාප්වහන්සේ ලෙස තේරී පත්වනු ඇතැයි විශේෂඥයන්  අනාවැකි කී කාදිනල් ලේඛනයේ හෝ, නව පාප් වහන්සේ වෙනුවෙන් ඔට්ටු දැමූ එංගලන්තයේ සූදු පොලවල හෝ 'බොර්ගෝලියෝ ' නම අහලකටවත් පැමිණ තිබුනේ නැත. "කවුද මේ බොර්ගෝලියෝ ....?" ප්‍රීතිය අතරින්  කුතුහලය ජනතාව නොඉවසිලිමත් කරයි.

 තවත් මිනිත්තු දහයකින් පමණ සඳලු තලයේ දොර යලිත් විවර වේ. කුරුස ප්‍රතිමාව පෙරටු කරගෙන කාදිනල් හිමිවරු දෙදෙනෙක් පැමිණෙති.

 පියතුමකු සේ සුදෝ සුදු ලෝගුවක් ඇඳි කෙනෙක් ඔවුන් මැදින් එති. ඒ නව පාප්තුමා ය.

සුදු ලෝගුවක් පමණක්? උන්වහන්සේට වැරදිලාද? වෙනත්  කාට හෝ වැරදිලාද? අමතක වෙලාද?

"නව පාප් වහන්සේ... ප්‍රැන්සිස්... සුදු ලෝගුවෙන් පමණක්? මොකක් ද මේ වෙනස?" CBC රූපවාහිනියෙන් විස්තර ගෙනෙන තෝමස් රොසිකා පියතුමා පුදුමයෙන් කියයි. මෑත කාලීන පාප් වහන්සේලා ප්‍රථම වරට ජනතාව ආසිරි ගන්වන්නට පැමිණෙන්නේ එතුමන් ගේ උත්සවාකාර ආයිත්තම් පැළඳගෙනය. ඊට අයත් රක්ත වර්ණ මොසෙට්ටාව (උරස් පෙදෙස වැසෙන සේ සුදු ලෝගුවට උඩින් පළඳින සළුව) හා  ඊට යටින් පළඳින රොචේට්ටාව (දනිස් දක්වා දිග ධවල වර්ණ සිනිඳු සළුව; පියතුමන්ලා මෙහෙයන්හිදී අඳින  'සුප්ලියසය' නම් සලුවට සමානය)  එතුමන් පැළඳගෙන නැත. බැලූ බැල්මට මීසම් සේවක පියතුමකු වගේය. එතුමන් පාප් වහන්සේ බව සනාථ වන්නේ හිස පළඳින සුදු පැහැති සුකෙට්ටෝව (හිස මැද පළඳින 'හිස්වැස්ම') මගින් පමණය.
".....ජනතාව දෙස බලා සිටියි"


නව පාප් වහන්සේ (ඒ මොහොතේ බොහෝ දෙනෙකු හැඳින්වූයේ 'පළමුවන ප්‍රැන්සිස්' යනුවෙනි) සඳලු තලය ඉදිරිට පැමිණ සිට ගනියි. එතුමා එතැන සිට ගෙන බලා සිටියි. සාන්ත පීතර චතුරශ්‍රය වසාගෙන සිටින මහා ජන රාශිය දෙස බලා සිටියි. තත්පරයෙන් තත්පරය ගත වෙයි. නව සුදොතුම් පියතුමා කතා නැතිව බලා සිටියි.

නිහඬතාව දරාගත නොහැකිය. "මොනවා හරි කියන්න!" රොසිකා පියතුමා නොඉවසිල්ලෙන් මෙන් කියයි.

තවත් මොහොතක් ගෙවෙයි.

"බෝනා සේරා!" (සුබ සැන්දෑවක් වේවා!) නව පාප් තුමා ඉතාලි බසින් ප්‍රථම වරට ජනතාවට සුබ පතයි. මුළු චතුරශ්‍රයම දැවැන්ත අත්පොලසන් හා ප්‍රීතිඝෝෂා නාදයකින් ගිගුම් දෙයි.

"හොඳටම වෙනස්! හොඳටෝම වෙනස්!" රෝසිකා පියතුමා මහා හඬින් සිනාසෙමින් CBC රුපවානිය ඔස්සේ කියයි. "ඇයි? මොකක්ද වෙනස? මේ සුබ පැතුම වැරදිද?" CBC යේ ජ්‍යෙෂ්ඨ  වාර්තාකරු පීටර් මෑන්ස්බ්‍රිජ් විමසයි. "සුබ පැතුම වැරදි නැහැ. ඒත් සම්ප්‍රදාය ඒක නොවයි. ඒක පාප් වහන්සේලා ගේ සාම්ප්‍රදායික සුබ පැතුම නොවෙයි...." පියතුමා පිළිතුරු දෙයි.

ප්‍රීති ඝෝෂාව මඳක් තුනී වෙද්දී  නව පාප්තුමා- ප්‍රැන්සිස් පාප් වහන්සේ - යළිත් සිය හඬ අවදි කරති.
පළමුවන ආශීර්වාදය

"බලන්න! රෝමයේ නව රදගුරුතුමාව සොයා ගන්න මගේ සහෝදර කාදිනල් හිමිවරු ගිහින් තිබෙන දුර. උන්වහන්සේලා ලෝකයේ කෙළවරටම ගිහින් රෝමයේ රදගුරුතුමන් සොයා ගන්න.."

නව සුදොතුම් පියතුමා දැන් කතා කරයි.
"මම දැන් ඔබව ආසිරි  ගන්වනවා. ඒත් ඊට කලින්, මම ඔබෙන් උදව්වක් ඉල්ලනවා. රදගුරුතුමා ඔබව ආශීර්වාද කිරීම සඳහා ඔබගේ රදගුරු තුමාට ආශීර්වාද කරන ලෙස පියාණන් වහන්සේට යාච්ඥා කරන්න කියා මා ඔබෙන් ඉල්ලනවා. දැන් අපි ටික මොහොතක් හිස නමාගෙන නිහඬව යාච්ඥා කරමු" එතුමා ඉල්ලා සිටියි.

දස දහස් සංඛ්‍යාත ජනකාය මොහොතකට දැහැන් ගතවෙයි. නිශ්ශබ්ද වෙයි.ඒ දස දහස් සංඛ්‍යාත ජන සමූහය මීයට පිම්බාක් මෙන් නිහඬ  වෙයි

ඉන්පසුව නව පාප් වහන්සේ "නගරයටත් ලෝකයටත් සිය ආශීර්වාදය" (Urbi et Orbi) දානය කරති.

"ඔබ මෙහි පැමිණ මෙතෙක් වෙලා බලා සිටීම ගැන ඔබට ස්තුතියි! දැන් ගෙවල් වලට යන්න. ගිහින් හොඳ රාත්‍රී ආහාරයක් ගන්න. මා වෙනුවෙන් යාච්ඥා කරන්න...."

*****************

මේ මීට වසර තුනක පෙර මාර්තු 13 වනදා රාත්‍රියේ වතිකානයේ සිදු වූ සිද්ධි මාලාව ඇසින් දැක සවනින් ඇසූවෙකුගේ විස්තරයයි ඒ. ඒ කාරනා යළි මතක් කරන්නේ සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේගේ තේරී පත්වීම තුළ වන විශේෂත්වය පහදා දීමටය.

ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ තේරී පත්වීම, සභාව තුළ 'රැඩිකල්' වෙනසක් සඳහා කෙරෙන කැඳවීමකි. සභාව තරමක කුනාටුවකට හසු වී තිබූ සමයක, සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ (එතුමා කියූ පරිදි ගැඹුරින් යාච්ඥා කර) ඉතා නිහතමානීව ඉසුඹු ලැබීමට තීරණය කිරීමත්, කොහේවත් නම සඳහන් නොවූ හොර්හේ බෝගොග්ලියෝ කාදිනල් තුමන් එම ධුරයට පත් වීමත් ධ්‍යානශිලිව විමසන විට එය තහවුරු වෙයි.

එම 'රැඩිකල්' වෙනස සිය ප්‍රථම පැයේ දී ම එතුමා පෙන්වා දුන්නේ ය. අනවශ්‍ය රාජශ්‍රීයෙන් යුත් ඇඳුම් ආයිත්තම් වලින් තොර සරල චාම් නව පාප් ධුරයක් ගැන ඉඟි කිරීම, 'රෝමයේ රදගුරු තුමා' යන නිල නාමයෙන් තමන් හඳුන්වා ගැනීම, 'මා ඔබ ආශීර්වාද කිරීම පෙර, මට ඒ බලය ලබා දෙන ලෙස ස්වාමීන් වහන්සේට යාච්ඥා කරන්න" යනුවෙන් දෙවියන් වහන්සේ මත යැපීම හා  "උන්වහසේගේ නැගීමත් මගේ බැසීමත් සිදුවේවා!" යන ස්නාවක ජුවාම් තුමාගේ දැක්ම තුළ ස්ථාන ගතවීම එම සලකුණු කිහිපයයි.

ඉකුත් වසර තුන තුළ එතුමා සභාව තුළ ප්‍රතිසංස්කරණ රැසක් සිදු කෙරෙමින් සිටියි. ඒවා ඉතා සුන්දරය. සුබ අස්නට අනුකූලය. එහෙත් එම ප්‍රතිසංස්කරණවලට බාධා  නැතිවාම නොවේ. එක අතෙකින් සභා නායකත්වය යනු රාජකීය බලයෙන් හා මහිමයෙන් විභූෂිත ආභරණයක් ලෙස හා ගිහියන් යනු දාසයන් ලෙස සිතන සභා නායකයන් ගෙන්ද, තවත් පැත්තකින් ස්වාමීන් වහන්සේ ගේ හදවතින් ගලා එන ප්‍රේමය හා දයාව වෙනුවට නීතියට හා දෙවධාර්මික න්‍යායන්ට කොටු වූ පණ්ඩිත නායකයන් ගෙන් ද මෙම ගමනට බාධා එල්ල වෙමින් තිබේ. මේ වසර "දයාවේ ජුබිලිය" වී ඇත්තේ මේ සියල්ලන් ගේ නෙත් හා සිත්, සභාවේ දිව්‍ය සමිඳාණන් වන ජේසු සමිඳුන් ගේ ඇලයෙන් ගැලූ  දයා රුහිරෙන් පවිත්‍ර වී,  එම ඇලයෙන් ම නිකුත් වූ දයා දියෙන් තෙමා ලනු පිණිසය. එම ප්‍රතිසංස්කරණවල ආධ්‍යාත්මික හරය වටහා ගත හැකිවනු ඇත්තේ සමිඳුන් ගේම නෙතින් හා හදින් ඒ දෙස බැලූවිට පමණය.

ප්‍රැන්සිස් සභා පිය ධුරයට තෙවසරක් පිරෙන මේ මොහොත, ප්‍රැන්සිස්  නමැති සිය දිවස්ප්‍රසාදීවරයා මගින් ජේසු සමිඳාණන් සිය සභාව තුළ කරන්නට වෙහෙසෙන "රැඩිකල්" වෙනසට අනුගත වන්නටත් එය වැළඳගන්නටත්  ශ්‍රී ලංකාවේ සභාව කෙතරම් සූදානම් ද යන්න ගැඹුරින් සිතීමට ද  අවශ්‍ය දිනයකි. නොඑසේව, "පාප් වහන්සේ ඕනැ දෙයක් කීව-කළා දෙන්; අපේ සුඛෝපභෝගී ගමන අපි යනවා" යන ආකල්පයෙන් අපි වැඩ කරමු නම්, මේ මහඟු තිළිණය අපට දුන් දිව්‍ය සමිඳාණන්ට අපගේ ප්‍රතිචාරයත් එයම නොවන්නේ ද?

 ඒ සමගම මේ, එතුමන් වෙනුවෙන් යදින්නට දිනයකි.

ප්‍රැන්සිස් පාප් වහන්සේට ඔබගේ යැදුම් අවශ්‍යව තිබේ. අද දිනයේ ඔබගේ දිව්‍ය පුජාව ඇතුළු සියලු යැදුම් එතුමන් වෙනුවෙන් ඔප්පු කරන්න ඔබට හැකිද?

මෙහි එන්නේ ඒ ශුද්ධවන්ත දින කිහිපයේ මතක සටහන් දැක්වෙන පුංචි වීඩියෝ සටහනකි:



(සටහන්: මෙහි කියවෙන බැසිලියාන නිකායික තෝමස් රොසිකා පියතුමා කැනඩාවේ 'සෝල්ට් ඇන්ඩ් ලයිට්‌" කතෝලික රූපවාහිනි සේවාවේ ප්‍රධාන විධායක නිලධාරියා ය. එතුමා වතිකාන මාධ්‍ය කාර්යාලයේ ඉංග්‍රීසි ප්‍රකාශකයා ලෙස ද කටයුතු කරයි. ඉකුත් පාප්වරණදැහැනේ දී CBC රූපවාහිනී සේවාවේ විස්තර විචාරයේ සම්පත් දායකයා ලෙස කටයුතු කළේය.)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය