"ජේසු සමිඳුන් ගේ දයා කරුණාවේ වෙහෙසට පත් කල නොහැකි වූ නාලිකාව: පියෝ පියතුමා"

 "Padre Pio is an indefatigable servant  of God's Mercy" - Pope Francis says 


දැන් ප්‍රදර්ශනය කෙරෙන පියෝ පියතුමාගේ නොදිරන දේහය
(2016 පෙබරවාරි 7)

"පාද්‍රේ පියෝ" නමින් ජනාදරයට පත් ශු. පියෝ පියතුමන් ගේ නොදිරන දේහය, ශු. ලියෝපෝල්ඩ් තුමාගේ දේහය ද සමග ඉකුත් සෙනසුරාදා (2016 පෙබරවාරි 5) පෙරහරින් ශාන්ත පීතර බැසිලිකාව වෙත වැඩම කරනු ලැබිණ. ශු. පාද්‍රේ පියෝ තුමන්ගේ ශුද්ධ ධාතු  මෙලෙස ජනතා ගෞරවය සඳහා ප්‍රදර්ශනය කරන ලද්දේ දයාවේ වසරේ ප්‍රධාන සංකේතයක් ලෙස ය. එම ශුද්ධ ධාතු මේ මස 11 වනදා දක්වා ශාන්ත පීතර චතුරශ්‍රයේ දී ප්‍රදර්ශනය කෙරේ.

පියෙට්‍රෙල්චිනාවේ ශු. පියෝ මුනිඳුන් හෙවත් පියෝ පියතුමා කුඩා කැපුචින් තාපස නිකායේ පුජාප්‍රසාදී නමක් විය. ගැඹුරින් යාච්ඥා කිරීමට බොහෝ කැමැත්තක් දැක්වූ  එතුමා පාපොච්චාරණය හෙවත් සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය දානය කිරීමේදී දේව දයා කරුණාවෙන්  සැදැහැවත් සිත් සනහා ප්‍රීතියෙන් හා දේව ප්‍රශංසාවෙන් එම හදවත් පිරවූ පියතුමෙක් විය. ශාන්ත ප්‍රන්සිස් අසීසි තුමා සේ ශු. පියෝ පියතුමාද ජේසු සමිඳුන් ගේ ශ්‍රී වන කැළැල් හිමිවීමේ දුලබ භාග්‍යය ලැබීය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  සෙනසුරාදා සන්ධ්‍යාවේ වතිකානයේදී පාද්රේ පියෝ යාච්ඥා කණ්ඩායම් සාමාජිකයන් හා පියෝ පියතුමන් විසින් පිහිටුවන ලද "සිත් සහන නිවසේ" සේවක සේවිකාවන්  මුණගැසුනේ ය. එහිදී ඔවුන් ඇමැතූ පාප් වහන්සේ කියා සිටියේ, පියෝ පියතුමා දෙවියන් වහන්සේගේ දයාවේ සේවාව වෙනුවෙන් සිය මුළු ජීවිතය කැප කිරීමේ ආදර්ශවත් පූජක රත්නයක් බවයි. "ඒ සියල්ල කිරීමට එතුමන්ට ශක්තිය  ලබා දුන්නේ එකම උල්පතකින්: එනම් යාච්ඥාවයි" යැයි එතුමා කියා සිටියේය.

සුදොතුම් පියතුමා පියෝ පියතුමා ගේ දයා කරුණාවේ සේවාව මෙසේ විස්තර කලේ ය:

"පාද්රේ පියෝ දයාවේ සේවකයෙක් බව අපට කිව හැකියි. එතුමා එම දයාවේ සේවාව කලේ පූර්ණ කාලීනව සවන් දීමේ අපෝස්තලික ක්‍රියාව තුළ ජීවත් වෙමින්, ඇතැම් විට ඒ තුළ අධික වෙහෙසට පවා පත්වෙමින්. එතුමා බොහෝ  විට පාපොච්චාරණ සේවාවේ දිනකට පැය 10ක් 15ක් ගතකලා. ඒ මගින් එතුමා පාපයේ තුවාල සුවපත් කොට සිත සාමයෙන් ප්‍රබෝධවත් කරන ජීවමාන පියාණන් වහන්සේ ගේ ආලිංගනය බවට පත්වුනා."

"පියෝ පියතුමා තමා වෙත පැමිණි ජනතාව ආදරයෙන් උණුසුමින් පිලිගැනීමෙනුත් ඔවුන්ට, ඇතැම් විට, දීර්ඝ වශයෙන් සවන් දීමෙනුත් , කිසිවිටෙකත් වෙහෙසට පත් වූයේ නැහැ. අපේ මෙම දයාබර සාන්තුවරයා ජේසු සමිඳුන් ගේ සමාවේ සුවඳ පැතිරවීම සඳහා සිය කාලයත් ශ්‍රමයත් වැය කළා. "

"මේ ආකාරයෙන් පියෝ පියතුමා ගේ ඉතා පුංචි දිය බිඳුව, දයා කරුණාවේ මහා ගංගාවක් බවට පත් වුණා. ඒ දයා කරුණාවේ නදිය ගලා ගොස් වියළි  හදවත් රැසක් තෙත් කොට අස්වැද්දුවා. එම නදී ජලයෙන් ලොව විවිධ තැන්වල ජීවනයේ ක්‍ෂේම භූමි ඇති වුණා."


පියෝ පියතුමාට මේ සියල්ල කල හැකි වූයේ එතුමන් නිරන්තරයෙන් 'වරප්‍රසාදයේ උල්පතට' සම්බන්ධව සිටි නිසා බව සුදොතුම් පියතුමා අවධාරණය කළේය: "එතුමා නොකඩවා සිය පවස නිවා ගත්තේ කුරුසියේ ජේසු සමිඳුන් ගෙනි. ඒ මගින් එතුමා දයාවේ නාලිකාවක් වුයේය." එතුමා 'පරම උල්පත' වන ජේසු සමිඳුන්ට සම්බන්ධ වුයේ  එක් මාර්ගයකින් බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දුන්හ. එනම් යාච්ඥාවේ මාර්ගයයි. යාච්ඥාව යනු කුමක්දැයි එහි සිටි පාද්රේ පියෝ යාච්ඥා කණ්ඩායම් වලට සුදොතුම් පියතුමා විස්තර කර දුන්නේ ය.

"යාච්ඥාව යනු සමස්ත මානව වර්ගයා වෙත ප්‍රේමයේ ගින්න ගෙන යන සත්‍යවූත් සැබෑ වූත් දූත මෙහෙවරයි. පාද්රේ පියෝ නිරන්තරයෙන් අවධාරනය  කලේ යාච්ඥාව යනු ලෝකය ගමන් කරවන සහ වෙනස් කරන බලය බවයි. එබැවින් යාච්ඥාව යනු චිත්ත සාමය ලබා ගැනීම සඳහා අප කරන අභ්‍යාසයක් හෝ අපට අවශ්‍ය දේ ලබා ගැනීමේ ශ්‍රද්ධාවන්ත මාර්ගයක් හෝ නොවේ. එය එවැන්නක් නම්, යාච්ඥාව හුදෙක් අපගේ මමංකාරී අභ්‍යාසයක් හෝ අපගේ ප්‍රශ්නයක් සඳහා ගන්නා වේදනා නාශකයක් බවට පත්වේවි."

"එහෙත් ඒ වෙනුවට යාච්ඥාව  යනු සියල්ල දෙවියන් වහන්සේ ගේ හදවතට ඔප්පු කරන දයාවේ ආධ්‍යාත්මික ක්‍රියාවකි. එය විශ්වාසයේ සහ ප්‍රේමයේ තිළිණයකි. එය ආහාරයක්  මෙන් අපට අත්‍යවශ්‍ය මධ්‍යස්තභාවයකි."

"ඒ අනුව යාච්ඥාව එක වචනයකට සාරාංශ කල හැකිය. එනම් පවරාදීමයි. නොහොත් බාර කිරීමයි. සභාව, ජනතාව සහ අපගේ ජීවිතයේ අවස්ථා පියාණන්ට භාර කිරීමයි. මන්ද (දෙවි)පියාණන්  ඒවා ගැන බලාගන්නා නිසයි. යැදුම යනු අප සතු ප්‍රබලම අවියයි. දෙවියන් වහන්සේගේ හදවත විවෘත කල හැකි යතුර එයයි" යයි සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ අවධාරණය කළහ.

සුදොතුම් පියතුමා තම දේශනය අවසන් කලේ 1999 මැයි මස 2 වනදා පියෝ පියතුමන් භාග්‍යවරයට ඔසවන ලද දිව්‍ය පුජාවේදී දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ එතුමන් හඳුන්වා දුන් වචන වලිනි.

"පියෝ පියතුමන් ගේ දිව්‍ය පූජාවට සහභාගී වීමට හෝ එතුමන්ගෙන් උපදෙස් අනුශාසනා ලබා ගැනීමට හෝ එතුමාගෙන් පව් සමාවේ දේව ප්‍රසාද නිධානය ලබා ගැනීමට හෝ ගිය සැදැහැවතුන් එතුමන් තුළ දුටුවේ, දුක් විඳින හා උත්ථාන වූ ජේසු සමිඳුන් ගේ ජීවමාන ප්‍රතිරූපයයි. එතුමන්ගේ මුහුණින් නික්මුණේ උත්ථානයේ ආලෝකයයි."

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය