"සභා නායකත්වයේ ද්විවිධ 'රාජකාරිය',විශ්වාස කිරීම හා රැකබලා ගැනීමයි" සුදොතුම් පියතුමා කියුරියාවට අනුශාසනා කරයි

 "Your job is to be faithful to the Master and  tend to the flock" - Homily at the Jubilee of the Roman Curia 

පාප්වහන්සේත් වතිකාන කාර්ය මණ්ඩලය සමග පෙරහැරට එක් වෙමින්......
(2016 පෙබරවාරි 25)

දයාවේ ජයන්ති වසරේ තවත් වැදගත් දිනයක් ඉකුත් සඳුදා (2016 පෙබරවාරි 22) රෝමයේ දී පැවැත්විණි. සභා ජනවන්දනා දින දර්ශනයට අනුව එදිනට යෙදී තිබුනේ "ශු. පේදුරුතුමන් ගේ ආසනයේ" මංගල්‍යයි. මෙය රෝමය සඳහා අති ගාම්භීර (Solemnity)  මංගල්‍යයක් ලෙස නම් කර තිබේ. 

දයාවේ වසර නිමිත්තෙන් මෙම මංගල දිනය 'රෝම කියුරියාවේ ජයන්තිය' ලෙස සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් නම් කර තිබිණි. ඒ අනුව රෝම කියුරියාවේ රදගුරු හිමිවරුන්, පූජකවරුන් සහ වතිකානයේ ගිහි කාර්ය මණ්ඩලය පාප් වහන්සේ ද සමග සවැනි පාවුළු ශාලාවේ දී උදා යැදුම් වලට සහභාගී වී එහි සිට පෙරහරින් සාන්ත පීතර බැසිලිකාවට ගියහ. ඔවුන් බැසිලිකාවට ඇතුළු වූයේ ශුද්ධ ද්වාරය තුළිනි. එහිදී දිව්‍ය පූජාව පැවැත්වුනේ ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී ධර්ම දේශනය පවත්වමින් සුදොතුම් පියතුමා කියා සිටියේ රදගුරු හිමිවරුන් හා පූජකවරුන් ගෙන් සමන්විත සභා නායකත්වය කැඳවනු ලැබ සිටින්නේ වැදගත් 'රාජකාරි' දෙකකට බවයි. එනම් ජේසු සමිඳුන් ගේ ශ්‍රාවකයන් ලෙස ප්‍රේමයෙන් යුතුව උන්වහන්සේ ව 'විශ්වාස කිරීමට' සහ  එඬේරුන් ලෙස උන්වහන්සේ ගේ රැළ 'රැක බලා ගැනීමට' යි.  මේ සඳහා සභා නායකත්වය සිය දෙනෙත් ජේසු සමිඳුන් වෙත යොමු  කල යුතුයැයි  එතුමා කියා සිටියේ ය.

"අපගේ සිතිවිල්ලත් දෑසත් සභාවේ සෑම කටයුත්තකම ආරම්භයත් අවසානයත් වන ජේසු සමිඳුන් වෙත පමණක්‌ යොමු වී තිබේවා. සභාවේ අත්තිවාරම උන්වහන්සේය. කිසිවකු හෝ වෙනත් අත්තිවාරමක් නොදැමිය යුත්තේ ය" යි සිය දේශනය ආරම්භ කරමින් සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

සභාව පිළිබඳව ශු අගොස්තීනු තුමන් කළ "අර්ථාන්විත ප්‍රකාශය" සුදොතුම් පියතුමා සිහිපත් කළේය."ඉතිහාසයේ කැරලි හා විප්ලව විසින් සභාව කළඹා කරදර හා බාධා කරනු ලැබූවද ඕ ඇදවැටෙන්නේ නැත. මන්ද සභාව ගොඩනගනු ලැබ ඇත්තේ පේදුරුතුමන් ගේ නම නිරුක්තිය ලබන පාෂාණයෙනි" යි ශු. අගොස්තීනු  තුමන් ලියා ඇතැයි එතුමා පැවසුවේ ය. උන්වහන්සේ කියා සිටියේ මෙය නිවැරදිව සටහන් කරගත යුතු බවයි: "පේදුරුතුමා ගෙන් නිරුක්තිය ලබන පාෂාණය නොවේ; පේදුරුතුමාට නිරුක්තිය ලැබෙන පාෂාණයි. එය හරියට ක්‍රිස්තුන් වහන්සේ ගේ නම කිතුනුවන් ගෙන්  නිරුක්තිය ලබනවා නොව කිතුනුවන් ගේ  නම ක්‍රිස්තුන් වහන්සේගෙන් නිරුක්ති වනවා සේ ය. මෙම පාෂාණය නම් පේදුරුතුමන් ගේ නමට ද පදනම වූ ක්‍රිස්තුන් වහන්සේ ය."

මෙදින සුබ අස්න ලෙස තෝරා ගනු ලැබ තිබුනේ මතෙව් තුමා ගේ සුවිශේෂයේ එන පේදුරු තුමා ගේ මහා ප්‍රකාශයයි. එහි "ඔබ මා කවුරුන් කියා කියන්නේ දැයි" ජේසු සමිඳුන් ඇසූ ඇසූ ප්‍රශ්නය යොමු කර ඇත්තේ හුදෙක් පේදුරු තුමාට පමණක් නොව සභාවේ සමස්ත නායකත්වයට බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

" මෙම ප්‍රශ්නය ඍජුයි.පැහැදිලියි. මේ නිසා එයින් පලායාමට හෝ නිශ්ක්‍රීයව සිටීමට හැකියාවක් නැත. පිළිතුරු දීම කල් දැමීමට හෝ එය වෙනත් කෙනෙකුට පැවරීමට ද හැකියාවක් නොමැත. "

මෙම ප්‍රශ්නය අසන විට ජේසු සමිඳුන් තුළ වූ මානසික ස්වරුපය ද සුබ අස්න ගෙනහැර දක්වමින් සුදොතුම් පියතුමා විග්‍රහ කළේය. "ජේසු සමිඳුන් මෙම ප්‍රශ්නය නැගුවේ සෝදිසි කිරීමේ  හෝ විභාග කිරීමේ අදහසින් නොවේ. ආදරයෙන් පිරිපුන්වය. එම ප්‍රශ්නයේ කැටිවී ඇත්තේ උන්වහන්සේ ගේ පිරිපුන් ආදරයයි.  අපගේ ස්වාමීන් වහන්සේ ගේ ආදරයයි.උන්වහන්සේ දේව පුත්‍රයාණන් හා අපගේ ජීවිතයේ ස්වාමීන් බව පිළිගෙන උන්වහන්සේ තුළ අපගේ විශ්වාසය අලුත් කරගැනීමට අද දින අප කැඳවන අපගේ එකම ස්වාමියානන් ගේ ප්‍රේමයයි."

 මෙම විශ්වාසයේ ප්‍රකාශනය අලුත් කිරීමට මුලින්ම කැඳවනු ලබන්නේ පේදුරු තුමන් ගේ අනුප්‍රාප්තිකයා ලෙස තමා (පාප් වහන්සේ) බව සිය වගකීම පැහැදිලි කරමින් සුදොතුම් පියතුමා කියා සිටියේ ය. මන්ද සිය සහෝදරයන් විශ්වාසයේ ස්ථිර කිරීමේ වගකීම රඳා පවතින්නේ පේදුරු තුමන් ගේ අනුප්‍රාප්තිකයා මත ය.

 සිය සිත් සහ මුව තුළ දේව වරප්‍රසාදය ගොඩනැගීමට ඉඩහරින්නැයි සුදොත්ම් පියතුමා කියුරියාවේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේ ය. විශ්වාසය ඇදහීමටත්, ප්‍රකාශ කිරීමටත් ගැලවීම ලබා ගැනීමටත් හැකිවන්නේ එවිට බව එතු,ආ පැහැදිලි කලේ ය. දෙවියන් වහන්සේ ගේ කැඳවීමට ප්‍රතිචාර දැක්විය හැක්කේ විශ්වාසය ප්‍රකාශ කිරීමෙනි.

ජේසු සමිඳාණන් සිය රැල රැකබලා ගත් බව පාප් වහන්සේ පෙන්වා දුන්හ. එබැවින් ස්වාමීන් වහන්සේ ගේ එම ආදර්ශය අනුව එඬේරුන් (පූජකවරුන්) තම ජීවිත හැඩගස්වා ගත යුතු යැයි  එතුමා අවධාරණය කලේ ය. පූජකවරුන් තමන් සේවා කරන ස්ථානයේ ශක්තිමත් එඬේරික හැඟීමක් ඇතිකරගෙන, එය ජීවත් කර වැඩිවර්ධනය කරගත යුතු ය. තමන් නොසලකා හරිනලද බවට හෝ අයහපත් ලෙස සලකනු ලැබ ඇති බවට  හෝ හැඟීමක් ජනතාව තුළ ඇතිවීමට කිසිසේත් ඉඩ නොහරින්න. විශේෂයෙන්ම යහපත් එඬේරාගේ දයාබර රැකවරණය ඇති මෙහි දී එය සිදුවීමට ඉඩ නොහරින්නැ" යි ප්‍රැන්සිස් පාප් වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය