"බලය හා ධනය දේවත්වයට පත් කෙරෙන ව්‍යුහයන්ගෙන් මිදී දුප්පතුන් තුළ වෙසෙන සමිඳුන් ස්පර්ශ කරන්න" සුදොතුම් පියතුමා ගේ චතාරික අභියෝගය

Detach from Sinful Structures of idolatry of money and power and meet the Lord in the poor and the oppressed


(2016 පෙබරවාරි 24)

වසර 2016 චතාරික කාලය වෙනුවෙන් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් නිකුත් කරන ලද පණිවිඩය ඔබ කියවූවා ද? නැති නම් ඉක්මනින් එය කියවීමටත්, භාවනා කර එහි අන්තර්ගත අනුශාසනය ක්‍රියාවට නැංවීමටත් කාලයයි මේ.

ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙතෙක් එතුමන් භාවිත කර ඇති ප්‍රබලම  වචන යොදාගනිමින් සුබ අස්නේ එන දයා කරුණාව පිලිබඳ විප්ලවීය (රැඩිකල් ) පණිවිඩය 2016 චතාරික අනුශාසනා පත්‍රයට ඇතුළත් කර ඇතැයි වතිකාන නිරීක්ෂකයෝ පෙන්වා දෙති. එක් අතෙකින් එය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ ප්‍රථම අනුශාසනා පත්‍රය වන "සුබ අස්නේ ආලෝකයේ" එන  එක් පණිවිඩයක් දෙස වඩා සමීපව අවධානය යොමු කිරීමක් වන අතර දයාවේ ශුද්ධ වසර ඉලක්ක කර ගනිමින් නිකුත් කල අනුශාසනාවක් ද වේ.

ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙම  චතාරික පණිවිඩයෙන් මුදල්, වස්තු සම්පත් සහ බලයේ ඇති දුෂිත බලපෑම ගැන කතා කරති. සැබෑ සිත් හැරීමක් සිදුවන්නේ හුදෙක් දුප්පතුන් හා අයුක්තියට ලක් වුවන් වෙනුවෙන් යාච්ඥා කිරීමෙන් නොව ඔවුන් නගා  සිටුවීමට ක්‍රියා කිරීමෙන්  බව උන්වහන්සේ පෙන්වා දෙති. 2013 පැවැති පොදු හමුවක දී "මුදල් යක්ෂයා ගේ අසූචි" ලෙස හැඳින්වූ සුදොතුම් පියතුමා මෙම චතාරික පණිවිඩයෙන් පවසන්නේ "දුප්පතුන් නොසලකා හරින ධනවතුන් හා බලවතුන් පාපයේ වහලුන්" බවයි. ධනවතා සහ ලාසරස් ගේ උපමාව උපුටා දක්වන එතුමා ප්‍රකාශ කරන්නේ  ඔවුන් විනිශ්චයට ලක්ව සදාකාලික පාතාලයට - එනම් නිරයට- ඇද වැටෙන" බවයි.

චතාරික කාලයේ දී තමන් වළකින්නේ කුමන දෙයකින් දැයි කරදර නොවී, ආත්මික හා ශාරීරික දයාවේ ක්‍රියා වල දෙන්නැයි එතුමා කිතුනුවන් ගෙන් ඉල්ලා සිටියි.  මේ දයාවේ ක්‍රියා එකිනෙකින් වෙන් කල නොහැකි අතර කිතුනුවා ආත්මික දයාවේ ක්‍රියා වල යෙදෙන අතර අනිවාර්යයෙන් ශාරීරික පුණ්‍ය ක්‍රියා වලද නිරත විය යුතු බව එතුමා අවධාරණය කරයි. (ආත්මික පුණ්‍ය ක්‍රියා සත සහ ශාරීරික පුණ්‍ය ක්‍රියා සත මතක ද?)

සුදොතුම් පියතුමාගේ  මෙවර සිය චතාරික පණිවිඩයේ තේමාව "' මට අවශ්‍ය දයා කරුණාව මිස යාග පූජා නොවේ' (මතෙව් 9-13)- ජයන්ති මාවතේ විකසිත වන දයාවේ ක්‍රියා" යන්නයි.  එතුමා එකිනෙකට යාවූ කෙටි සිරස් තුනකින් සිය පණිවිඩය ගෙන එයි.


 මෙම පණිවිඩයේ මුල් කොටස් දෙක වෙන්කර ඇත්තේ දෙවියන් වහන්සේ ගේ දයා කරුණාවේ අබිරහස පිලිබඳ දේව ධාර්මික ඉගැන්වීම ඉතා කෙටියෙන් පහදා දීමටය.

"මරිය වහන්සේ ධර්මදානීය සභාවේ පිළිබිඹුවයි; මන්ද එතුමිය ද ධර්මදානය ලැබූ නිසයි" යයි එහි පළමු කොටසින් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. "ගාබ්‍රියෙල් අග්‍රදූතයා විසින් සුබ පණිවිඩය ලැබීමෙන් පසුව මරිය තුමිය 'මග්නිෆිකාත්' ගීතිකාවෙන්  ගායනා කරන්නේ එතුමියව  තෝරාගනු ලැබූ දෙවියන් වහන්සේ ගේ දයා කරුණාවේ මහිමයයි. ජුසේ තුමාට විවාහ බස් දී සිටි නාසරෙතයේ කන්‍යාව, මේ මගින්, ධර්මදානයේ යෙදෙන සභාවේ පරිපූර්ණ ප්‍රතිරූපය වුවාය. මන්ද එතුමිය එතුමිය ගේ කන්‍යා ගර්භාෂය ඵලබර කළාවූ ශුද්ධාත්මයානන් විසින් ධර්මදානය කරනු ලැබූ අතර, දිගටම ධර්මදානය කරනු ලබන්නීය."

"මානව වර්ගයා සමග දෙවියන් වහන්සේ ගේ ගිවිසුම: දයාවේ ඉතිහාසයෙන් " නමැති දෙවන කොටසින් සුදොතුම් පියතුමා විස්තර කරන්නේ ශුද්ධ ලියවිල්ල තුළත් දේව ධර්මය තුළත් දිගහැරෙන දේව දයාවේ සොඳුරු කතා පුවතයි.

ගැලවීමේ ඉතිහාසය ඇත්තෙන් ම සැබෑම ප්‍රේම කතාව බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. "මෙහි දෙවියන් වහන්සේ රඟපාන්නේ පාවා දෙන ලද තාත්තාගේ සහ ස්වාමිපුරුෂයා ගේ චරිතයයි. ඊශ්‍රායෙල් ජනතාව යනු අවිශ්වාසවන්ත දරුවා සහ මනාලියයි." මෙම කතා පුවත මස්තකප්‍රාප්තියට පත් වන්නේ දෙවියන් වහන්සේ ගේ පුත්‍රයා මිනිස් බව ගැනීමෙනි. ක්‍රිස්තුන් වහන්සේ තුළ දෙවි පියාණන් වහන්සේ සිය අසීමිත දයා කරුණාව  වැගිරෙන්නට සලස්වයි. එය කෙතරම් වැගිරෙන්නට සලස්වන්නේද යත් උන්වහන්සේ  'මාංශ ගත වූ දයා කරුණාව' බවට පත් වෙයි" යැයි සුදොතුම් පියතුමා සඳහන් කරයි.   තුන් වැනි කොටසින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසන්නේ මහා කුළුණුබර දෙවි සමිඳාණන්ගෙන් දයා කරුණාව ලබන අප එම දයාව ජීවත් විය යුතු බවයි. අප එසේ කල යුත්තේ අපගේ අසල්වැසියන් වෙත දක්වන දයාව මගිනි.

සෙස අයට දයාව පෙන්වීමේ මාර්ගය ආත්මික දයාවේ (පුණ්‍ය) ක්‍රියා සහ ශාරීරික දයාවේ (පුණ්‍ය) ක්‍රියා වල නිරත වීම බව ප්‍රැන්සිස් පාප් වහස්නේ පෙන්වා දෙති. අපගේ විශ්වාසයත් දයා කරුණාවත් එදිනෙදා ජීවිතයේ සැබෑවක් බවට පත්  වන්නේ අපගේ අසල්වැසියාට උදව් උපකාර කිරීමෙනි: ඔවුන්  ගේ කුසගිනි නිවීම, අසරණ වූ හෝ තනි  වූ ඔවුන් බලන්නට යාම, දුකට අසහනයට පත වූ ඔවුන් සැනසීම සහ මුලා වූ ඔවුන්ට  උපදෙස් දී මග පෙන්වීම මෙවැනි පුණ්‍ය ක්‍රියා අතර වේ."

ආත්මික හා ශාරීරික දයාවේ ක්‍රියා එකිනෙකට බැඳී තිබේ. එබැවින් කිතුනුවන් ඒවා  ගැන භාවනා කල යුතුය. මන්ද දුප්පත්කම ඉදිරියේ උදාසීන වූ හර්දය සාක්ෂි යලි අවදි කල හැක්කේ දයාවේ ක්‍රියා මගිනි. සුබ අස්නේ හදවත තුළට ගැඹුරට කිමිදිය හැක්කේ දුප්පත්කම අබියස ය. මන්ද දුප්පත්කම තුළ ක්‍රිස්තුන් වහන්සේ ගේ මනුෂ්‍යත්වය වඩාත් විද්‍යමාන වෙයි. හිංසා විඳින, පෑගෙන පොඩිවන, පහර කන, මන්දපෝෂිත, සහ රටින් පිටුවල් කරන ලද (හෝ පිටුවහල් වූ) ජනයා තුළ ජීවත් වන්නේ මාංශ ගතවූ ජේසු සමිඳාණෝ ය. ඔවුන් තුළ ජීවත් වන උන්වහන්සේ ව අපි පිළිගත යුතු වෙමු; ස්පර්ශ කලයුතු වෙමු;රැකබලා ගත යුතු වෙමු" යැයි දයාවේ ක්‍රියා විස්තර කරමින් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි.

සැබෑ දුප්පතුන් යනු  භෞතික අගහිඟයෙන් පෙලෙන්නන් නොව ආධ්‍යාත්මික වස්තු හීන වුවන් බව ප්‍රැන්සිස් පාප් වහන්සේ  මෙම පණිවිඩයේ පෙන්වා දෙති.

" ඇත්ත වශයෙන් ම සැබෑ දුප්පතුන් යනු තමන්ව දුප්පතුන් ලෙස දකින්නට අසමත් අයයි. ඔවුන් සිතන්නේ තමන් ධනවත් කියාය. එහෙත් ඔව්හු දුප්පතුන් ගෙනුත් අන්ත  දුප්පත්තු ය.මන්ද ඔවුන් පාපයේ වහලුන් බවට පත්ව සිටින නිසාය. මෙම පාපය ඔවුන් ඇදගෙන යන්නේ තම මුදල් සහ බලය දෙවියන් වහන්සේ ගේත් සෙසු ජනතාවගේත් සේවාව සඳහා භාවිත කිරීම වෙත නොව, තමන් ද 'දුප්පත්  සිඟන්නන්'ය යන හැඟීම මැඩපවත්වා ගැනීම සඳහා වැඩි වැඩියෙන් ධනයත් බලයත් එක්රැස් කිරීමට ය. එවැන්නන් ගේ බලයත් ධනයත් වර්ධනය වන තරමට මෙම අන්ධභාවයත් මුලාවත් වර්ධනය වෙයි. තම දොරටුව අබියස 'ලාසරස්'  කුසගින්නෙන් හා තුවාලවලින් පීඩා විඳිමින් සිටින බව නොදැකීමට තරම් මෙම අන්ධභාවය දැඩි විය හැකිය. ලාසරස් නම් දුප්පත්  මිනිසා යනු, දුප්පතුන්, අයුක්තියට ලක්වූවන් තුළින් අපගේ සිත් හැරීම ඉල්ලා සිටින ජේසු සමිඳුන් ගේ රූපසටහනකි. ඔහු නියෝජනය කරන්නේ දෙවියන් වහන්සේ විසින් අපට පිරිනමනු ලබන එහෙත් ඇතැම් විට අප දකින්නට අසමත් වන සිත් හැරීමේ අවස්ථාවයි. මෙම අන්ධභාවය බොහෝ විට පැමිණෙන්නේ 'මම සර්ව බලධාරීය' යන අහංකාර මායාවත් සමග ය. එය විරූපී ලෙස පිළිබිඹු කරන්නේ සියලු පාපයේ මුල වන "ඔබ දෙවියන් වහන්සේ මෙන් වනු ඇත" (උත්පත්ති 3:5) යන පවිටු චේතනාවයි. එසේම මෙම මායාව දේශපාලන හෝ සමාජයීය මුහුණුවරක් ද ගනියි. විසි වැනි සියවසේ ආඥාදායක ක්‍රමයන් මගින් සේ ම අපගේ යුගයේ චින්තනය සහ විද්‍යා තාක්ෂනය පාලනය කරන ව්‍යුහයන් හා න්‍යායන් මගින් ද මෙය ප්‍රදර්ශනය වේ. මේවා විසින් දෙවියන් වහන්සේ අදාළ නොවන තත්වයට පත්කර මිනිසා සූරාකෑමට ලක් කල හැකි භෞතික ද්‍රව්‍යයක් බවට පත් කර තිබේ. මුදල් දේවත්වයට පත් කිරීම මත පදනම් වූ ව්‍යාජ සංවර්ධන ආකෘතියකට සම්බන්ධ කරන ලද පව්කාර ව්‍යුහයන් තුළ ද මෙම මායාව දැක ගත හැකිය."


එබැවින් මෙම චතාරික කාලය  තුළ දුප්පතුන්, කොන්කරන ලද්දන් හා අයුක්තියට අසාධාරණයට ලක් වුවන් ස්පර්ශ කරන ආත්මික හා ශාරීරික පනය ක්‍රියා මගින් ජේසු සමිඳුන් ස්පර්ශ කරන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කිතුනුවන්ගෙන් ඉල්ලා සිටියි. "මෙම මාර්ගය අනුගමනය කිරීමෙන් මඥිෆිකාත් ගීතයේ කියවෙන 'අහංකාරවුවන්, බලවතුන් හා ධනවතුන්'ට ද කුරුසිගත වූ ස්වාමීන් වහන්සේ ගේ ප්‍රේමයේවැළඳගැනීම ලැබිය හැකි ය. දැනුමෙන්, බලයෙන් හා වස්තුවෙන් අත්පත් කරගත හැකියැයි අප සිතන සදාතනික ප්‍රීතිය සහ ආදරය අපට දිනා ගත හැක්කේ එම ප්‍රේමයෙන් පමණක් ම" යැයි  සුදොතුම් පියතුමා සිය චතාරික පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් කරයි.

 මෙය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  "දුප්පත් සභාවක්. දුප්පතුන් සඳහා වන සභාවක්' යනුවෙන්  ආරම්භ කල වන්දනා ගමනේ තවත් වැදගත් පියවරක් ලෙස වතිකාන නිරීක්ෂකයෝ පෙන්වා දෙති. මෙහි යම් වෙනසක් දකින්නේ නම්, ඒ, පණිවිඩය ඉදිරිපත් කර ඇති ස්වරයේ පමණි. මෙතෙක් කල් සමාජ අසාධාරණත්වය හා පාපය ගැන මෘදු ස්වරයෙන් කතා කල එතුමා මෙම පණිවිඩයේ වඩා දැඩි ස්වරයක් අනුගමනය කරයි. ජේසු සමිඳාණෝ ද මෙවැනි අවස්ථාවල එසේම දැඩි ස්වරයක් අනුගමනය කළහ. "ධනවත් වූ ඔබට වන විපතක මහත!" යයි උන්වහන්සේ ද අවවාද කළහ.




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය