"තාප්ප ඉදිකරන කෙනෙක් නම් කිතුනුවකු විය නොහැකියි" - පාප් වහන්සේ ට්‍රම්ප්ට දුන් පිළිතුර සහ එහි පසුබිම

" One who build walls is NOT a Christian" 



(2016 පෙබරවාරි 19)

"තාප්ප ඉදිකරන කෙනෙක් නම් කිතුනුවකු විය නොහැකියි"

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව කියා සිටියේ මැක්සිකෝවේ සිට ආපසු වතිකානයට පැමිණෙන අතරතුර ගුවනේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක වීමට තරගවදින ඩොනල්ඩ් ට්‍රම්ප් කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් මෙම ප්‍රශ්නය නැගීය. පාප් වහන්සේ මැක්සිකෝවේ ගත කල අවසන් දිනයේ මැක්සිකෝ-ඇමෙරිකා දේශ සීමාව අසල දිව්‍ය පූජාවක් පැවැත්වීම ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ විවේචනයට ලක් විය. ඔහු කියා සිටියේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා "දේශපාලන පුද්ගලයකු" වන බවයි. පාප් වහන්සේ "උකස් භාණ්ඩයක්" ලෙස ද ඔහු හැඳින්වීය. මැක්සිකාන සංක්‍රමණිකයන් එම දේශ සීමාවෙන් පැන ඇමෙරිකාවට ඇතුළුවීම මෙවර ජනාධිපතිවරණයට තරග කරන සියලුම රිපබ්ලිකන් අපේක්ෂකයන් ගේ උණුසුම් මාතෘකාවක් වී තිබේ. ට්‍රම්ප් හැර සෙසු අපේක්ෂකයන්  පවසන්නේ නීති විරෝධීව ඇතුළු වී සිටින මැක්සිකානුවන් ආපසු සිය රටට පිටුවහල් කල යුතු අතර සාංක්‍රමනික නීති දැඩිකළ යුතු බවයි.  එහෙත් සියල්ලන් ආපසු පිටුවහල් කරන අතර මැක්සිකානු දේශ සීමාවේ තාප්පයක් ඉදි කල යුතු බව ට්‍රම්ප් කියයි. ඔහු පවසන්නේ ඒ සඳහා මැක්සිකෝවෙන් මුදල් ද ලබා ගන්නා බවයි.

 මැක්සිකොවේ සිට එන අතරතුර මාධ්‍යවේදියෙක් පාප් වහන්සේගෙන් විමසා සිටියේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මෙම ප්‍රකාශ පිළිබඳවයි.

තමා "දේශපාලන පුද්ගලයකු" ලෙස ට්‍රම්ප් කල ප්‍රකාශය ගැන සුදොතුම් පියතුමා පිළිතුරු දුන්නේ සැහැල්ලුවෙනි. "මා දේශපාලන පුද්ගලයකු ලෙස කවුරුන් හෝ විසින් හඳුන්වා දී තිබෙනවා නම්,  මම කැමතියි. මන්ද, ඇරිස්ටෝටල් කීවේ මානවයා "“animal politicus" එනම් "දේශපාලන සත්ත්වයකු" බවයි. ඉතින් මේකෙන් තේරෙන්නේ අඩුම තරමේ මම මානව පුද්ගලයෙක් බවයි. ඉතින් ඒක හොඳයි නේ. අනික් කරුණ මා මැක්සිකෝවට විකිණිලා කියන චෝදනාව නම්, එම චෝදනාව ගැන විනිශ්චය කරන්නට ඕනෑ ඔබයි. එය විනිශ්චය කිරීම මම ජනතාවට භාර කරනවා."

එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපති වුවහොත් සිය දේශ සීමාවේ තාප්පයක් ඉදි කරන බවට කල ප්‍රකාශය ගැන සුදොතුම් පියතුමා තරමක් බැරෑරුම් ලෙස අදහස් දැක්වීය. "කවරකු හෝ පාලම් ඉදි කරනවා වෙනුවට තාප්ප ඉදිකරනවා නම් ඒ තැනැත්තා කිතුනුවකු නොවේ. එහෙත් එතුමා (ට්‍රම්ප්) එවැනි ප්‍රකාශයක් කළා දැයි අප සොයා බැලිය යුතු වෙනවා. දැනට අපි එතුමාට සැකයේ වාසිය ලබා දෙන්නට කැමතියි" යයි පාප් වහන්සේ සඳහන් කළහ.කෙසේ නමුත් ඡන්දය ප්‍රකාශ කල යුත්තේ කෙසේදැයි  කිසිවකුටත් පැවැසීමට තමන්ට නොහැකි බවද එතුමා අවධාරණය කළේය

(ප්‍රැන්සිස් පාප් වහන්සේ මැක්සිකෝවේ  දී එරටින් ඇමෙරිකාවට යන සාන්ක්රමනිකයන් ගැන කතා කළහ. එපමණක් නොව සිරියාව, ඉරාකය හා අප්‍රිකානු රටවල සිට බෝට්ටු මගින් හා පයින් සැතපුම් ගණන් දුර ගෙවමින් යුරෝපයට එන සාංක්‍රමනිකයන හා සරණාගතයන් ගැන ද උන්වහන්සේ කතා කර තිබේ. එතුමා අවධාරණය කර ඇත්තේ එම සාන්ක්රමනිකයන් පිළිගැනීමට ඇමෙරිකාවට හා යුරෝපයට යුතු කමක්  ඇති බවයි. මක්සිකොවේ රැකියා හිඟය හා දුප්පත්කම නිසා දස දහස් සංඛ්‍යාත මැක්සිකාණුවන් පිරිසක් වසරකට නීති විරෝධීව ඇමෙරිකාව පැමිණෙති. ඔවුහු කිසිදු කම්කරු හිමිකමක් නොමැතිව ඉතා සොච්චම් වැටුප් වලට ඇමෙරිකාවේ රැකියාවල නිරතවෙති. )

 පාප් වහන්සේගේ මෙම ප්‍රකාශය ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ උපදේශකයන් හා ආධාර කරුවන් මහත් ලෙස කෝප කරවන්නක් වී තිබිණ. මෙයින් පසුව CNN රූපවාහිනියෙන් අදහස් දැක්වූ ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාර සංවිධායිකාවක් කියා සිටියේ පාප් වහන්සේට එවැනි ප්‍රකාශයක් කරන්නට අයිතියක් නොමැති බවයි. පිට දේශයක සිටින ආගමික නායකයෙක් ඇමෙරිකානුවන් කල යුත්තේ කුමක්දැයි උපදෙස් දෙන්නේ කෙසේ දැයි ඈ ප්‍රශ්න කළා ය.

පාප් වහන්සේ ගේ ප්‍රකාශයෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඒ ගැන ඍජුවම අදහස් පල කළේය. සිය ප්‍රචාරක රැලියේ දී නිවේදනයක් කියවූ ඔහු මෙසේ කීවේය:"වතිකානය තමන් ගේ අවසාන ජයග්‍රහනය කරගැනීම ISIS ත්‍රස්තවාදීන් ගේ අරමුණයි. ඔවුන් වතිකානයට ප්‍රහාර එල්ල කරන දාට මා ඇමෙරිකාවේ ජනාධිපති වී සිටියා නම් හොඳ යැයි පාප් තුමා ප්‍රර්ථනා කරාවි. යාච්ඥා කරාවි" යයි ඔහු සරදම් ස්වරූපයෙන් කියා සිටියේ ය.

සුදොතුම් පියතුමා ගුවනේ දී මාධ්‍යවේදීන්ට කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වතිකාන ගුවන් විදුලිය කල විමසුමකට පිළිතුරු දෙමින් වතිකාන ප්‍රකාශක ෆෙඩ්රිකෝ ලොම්බාඩි පියතුමා කියා සිටියේ, පාප් වහන්සේ ගේ ප්‍රකාශය කිසිසේත්ම පෞද්ගලික ප්‍රහාරයක් නොවන බවයි. එසේම චන්දය ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ඒ මගින් එතුමා ඉඟි නොකළ බව ද  පියතුමා පෙන්වා දුන්නේ ය. පාප් වහන්සේම මේ බව අවධාරණය කල බව එතුමා සිහිපත් කලේ ය.

"අප ඉදි කළ යුත්තේ තාප්ප නොව පාලම් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය පාප් ධුර කාලය ආරම්භ වූ කාලයේ පටන් නිතරම ප්‍රකාශ කර තිබෙනවා. එසේ ම සරණාගතයන් හා සාංක්‍රමනික යන පිලිබඳ එතුමා ගේ ස්ථාවරය ද එසේමයි. එබැවින් එතුමා ගේ මෙම ප්‍රකාශය ද අවබෝධ කරගත යුත්තේ ඒ අර්ථයෙනුයි.එය මෙම අවස්ථාවට පමණක් සීමා වූ කරුණක් නොවේ. එය එතුමා ගේ සාමාන්‍ය ආකල්පයයි. එතුමා ගේ මෙම ආකල්ප පදනම් වී ඇත්තේ සුබ අස්නේ (බයිබලයේ) එන ආගන්තුකයන් ආදරයෙන් පිළිගැනීම සහ සහෝදරත්වය යන ඉගැන්වීම්වලට අනුකුලවයි" යයි ලොම්බාදී පියතුමා සඳහන් කළේය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය