දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ කාන්තාවක සමග ඇති කරගත් 'මිතුදම' ..........රහසක්......?

 The close friendship between a St. John Paul II and a woman....A secret....?



(2016 පෙබරවාරි 17)

ප්‍රකට දාර්ශනිකයකු වූ පෝලන්ත-ඇමෙරිකානු ජාතික  ඇනා -තෙරේසා ටයිමියෙනිකා සහ දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ අතර  පැවති මිතු දම පිළිබඳව BBC ප්‍රවෘත්ති මගින්, එහි වෙබ් අඩවියෙන් සහ BBC රුපවාහිනියේ "Panorama"  වාර්තා වැඩසටහන මගින් ප්‍රචාරය වීමෙන් පසු එම 'සමීප සම්බන්ධය' ගැන විවිධ මත පැතිර යමින් තිබේ. BBC පර්යේෂණාත්මක වැඩසටහන මගින් 'හෙළිදරව්' කරන ලද මෙම පුවත අති  රසවත් රසකැවිල්ලක් වී ඇත්තේ කටකතා, මළමිනී, අයථා සම්බන්ධ, ලිංගිකත්වය වැනි දුගඳ හමන කැළි කසල රස අහර සේ විකුණා ජීවිකාව සරි කර ගන්නා FM නාලිකා සහ ටැබ්ලොයිඩ් පත්තර වලට ය.

මේ දෙදනා අතර සම්බන්ධතාවක් තිබුනා ද? තිබුනා නම් ඒ කවරාකාර එකක් වී ද? BBC පමණක් නොව ඕනෑම මාධ්‍යක් කී පමණින් සියල්ල ගිලගන්නේ නැතිව සැබෑ මාධ්‍ය කරුවන් ගේ වගකීම ඒ ගැන තවත් සොයා බලා වාර්තා කිරීමය.

ඇනා -තෙරේසා ටයිමියෙනිකා සහ ජුවාම් පාවුළු පාප් වහන්සේ අතර තිබු සම්බන්ධතාව කුමක් ද? මේ ගැන  සොයා බැලීමේ දී මෙම පුද්ගලයන් දෙදෙනා ගැන තරමක් ගැඹුරින්  හැදෑරිය යුතු ය.

ජුවාම් පාවුළු පාප් වහන්සේ එම ධුරයට පත් වීමට පෙර එතුමාගේ නම කැරොල් වොයිටිවා ය. පෝලන්තයේ ක්‍රැකෝ පදවියේ අගරදගුරු කැරොල් වොයිටිවා හිමි තරුණ කාලයේ සිට ප්‍රසිද්ධව සිටියේ දාර්ශනිකයකු (Philosopher ) ලෙස ය. ක්‍රැකෝ හි කාදිනල්-අගරදගුරු තුමා සේ ම පසුව පාප් ධුරයට පත් වූ පසුවත් එතුමා දර්ශනය පිලිබඳ කෘති කිහිපයක්  රචනා කළේය. එතුමන් ගේ දේශනා සේ ම පාප් ධුරයට පත් වූ පසු ලියු විශ්ව ලේඛන ද දාර්ශනික චින්තනයෙන් අනූනය. තරුණ අගරදගුරු තුමකු ලෙස 1960 ගණන් වල පැවැත්වූ දෙවන වතිකාන කතිකාවට එතුමන් ගෙන් හා එවකට දේවධර්ම විශාරදයකු වූ  ජෝසප් රැට්සිඟර් පියතුමා (පසුව සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ) ගෙන් සිදූවූ සේවාව එම කථිකාව අධ්‍යනය කරන්නෙකුට හැදෑරිය හැකිය.

පෝලන්ත ජාතික ඇනා -තෙරේසා ටයිමියෙනිකා, පසු කාලීනව  ඇමෙරිකානු දාර්ශනිකයකු (Philosopher) හා ප්‍රපංචවේදිනියක (Phenomenologist) ලෙස ප්‍රකටව සිටියා ය. ජගත් ප්‍රපංචවේදී සංගමයේ නිර්මාතෘවරිය ඇයයි. පෝලන්තය,ඇමෙරිකාව, ස්විට්සර්ලන්තය හා ප්‍රංශය යන රටවල දර්ශනය හදාරා බොහෝ දර්ශනවේදීන් ගෙන් ආභාසය ලැබුවත් ඇය පසුව තමන්ගේම දාර්ශනික ශෛලියක් අනුගමනය කළාය  යන්න විද්වතුන් ගේ මතයයි. 1956 දී ඇය  විවාහ වූයේ ස්ටැන්ෆර්ඩ් සහ හාවර්ඩ් සරසවි වල ආර්ථික විද්‍යා මහාචාර්ය වරයා වූ හෙන්රික් හවූතැකර් සමගය.

ටයිමෙනිකා  සහ ජුවාම් පාවුළු පාප් වහන්සේ අතර මිත්‍රත්වය ඇති වන්නේ 1973 සිටය. එවකට එතුමා ක්‍රැකෝ නුවර අගරදගුරු තුමා ය. කැරොල් වොයිටිවා අගරගුරු තුමා ගේ දාර්ශනික චින්තනය ගැන පැහැදුණු ඇය ඊට අදාළ කටයුතු සඳහා එතුමාට ලිපි ලිවීමෙන් මෙම මිතු දමට මුල පිරුනේ ය. පසුව  ටයිමෙනිකා සහ ජුවාම් පාවුළු පාප් වහන්සේ එක්ව "Person and Act" නම් දාර්ශනික කෘතියක් රචනා කළහ. එය මුලින්ම ලියන ලද්දේ පෝලන්ත භාෂාවෙනි. භාෂා කිහිපයකට පරිවර්තනය කරන ලද එම කෘතියේ ඉංග්‍රීසි පිටපත භාරව සිටියේ ද ටයිමෙනිකා ය. එහෙත් එම පරිවර්තනය තුළ තම අදහස් දක්නට නැති බව කී පාප් වහන්සේ ඊට අසතුට පල කල බව පොත් ප්‍රකාශකයෝ කියති.

ඒ කාලයේ සිට ටයිමෙනිකා සහ පාප් වහන්සේ අතර වසර 30 ක්  පමණ කාලයක් ලියුම් හුවමාරු විය. එපමනක් නොව, පාප් වහන්සේ තමාගේ සෑම සමීප මිතුරකු සමග සේම, ටයිමෙනිකා සමගත් ඇවිදීමට  සහ කඳවුරු ගතකිරීම්වලට ද ගියේ ය. ටයිමෙනිකා තමන් පාප් වහන්සේට ලියු සෑම ලිපියකම පිටපතක් තමා ළඟ තබා ගත් අතර පාප් වහන්සේ ගෙන් ලැබුණු ලියුම් ද එකතු කළාය.  පාප් වහන්සේ ස්වර්ගස්ථ  වීමෙන් පසුව ඈ එම ලියුම් එකතුව වෙන්දේසියේ දමන ලද අතර පෝලන්තයේ ජාතික පුස්තකාලය ඒවා මිලදී ගත්තේ ය. BBC ය සිය වැඩසටහන කලේ එම ලියුම් එකතුව පිළිබඳවයි.

මෙම දෙදෙනා අතර තිබු සම්බන්ධය රෝමය නොදැන සිටියේ ද? මෙහි "හෙළි කිරීමට" තරම් සැඟවුණු දෙයක් තිබේ ද?

 මේ සම්බන්ධයෙන් මුලින් ම පිළිතුරු දෙන්නේ පෝලන්තයේ ජාතික පුස්තකාලයේ ලේඛන සංරක්ෂනාගාරයයි.

"ජුවාම් පාවුළු පාප් වහන්සේත් ටයිමෙනිකාත් අතර තිබූ සමීප මිතු දම අතිවිශේෂ එකක් නොවෙයි. ඒ වගේම ඒ මිතු දම කාටවත් රහසක් වුනේ නැහැ" පුස්තකාල සංරක්ෂනාගාරයේ ප්‍රකාශකයෙක් ප්‍රංශ පුවත් සේවයට කියා සිටියේ ය. "සංරක්ෂනාගාරය සතුව පවතින මේ දෙදෙනා අතර හුවමාරු වූ ලියුම් එකතුවේ අන්තර්ගතය විමර්ශනය කරන විට මාධ්‍ය මගින් උපකල්පනය කරන ආකාරයේ සම්බන්ධතාවක් ඒවායින් පෙනෙන්නේ නැහැ. ඇරත්, තවත් දෙයක් අවධාරණය කල යුතුයි. එනම් මාධ්‍ය මේ ගැන කතා කරන්නේ BBC වැඩසටහන මත පදනම්වයි.  මෙම සම්බන්ධය නිසා ජුවාම් පාවුළු පාප් වහන්සේ සිය පූජක බඹසර හෝ වෘතශුද්ධිය පිලිබඳ වේදභාරය කඩකළ බවක් BBC වැඩසටහන මගින් කියවෙන්නෙත් නැහැ" යැයි එම ප්‍රකාශකයා පෙන්වා දෙයි.

ඊළඟට ඒ ගැන අදහස් දක්වන්නේ වතිකාන ජනමාධ්‍ය කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ග්‍රෙග් බර්ක් ය.

"BBC වැඩසටහනේ කියවුණු කරුණු කිසිවක් කිසිම රහසක් නොවේ. ජුවාම් පාවුළු සුදොතුම් පියතුමා පිරිමි සහ කාන්තා මිතුරන් රැසක් සමගම ඉතා සමීප, ගැඹුරු  සම්බන්ධතා පැවැත්වුවා. ඒ නිසා ඒ තොරතුර කාටවත් කම්පනයක් නොවෙයි" ඔහු පෙන්වා දෙයි.

ජුවාම් පාවුළු සුදොතුම් පියතුමා ගැන සියල්ලනටත් වඩා හොඳින් දන්නේ ස්ටැනිස්ලාව් ඩ්සිව්ස්කි කාදිනල් තුමා ය. ක්‍රැකෝ අගරදගුරු පදවියේ කැරොල් වොයිටිවා කාදිනල්-අගරදගුරු තුමා ගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කල එතුමා, පසුව ජුවාම් පාවුළු සුදොතුම් පියතුමා ගේ පෞද්ගලික ලේකම්වරයා විය. මේ නිසා එතුමා පාප් වහන්සේ ගේ සමීපතම මිතුරා ලෙසයි. පාප්තුමා මියයන අවස්ථාවේ ද එතුමා ඩ්සිව්ස්කි කාදිනල් තුමා ඒ අසල සිටියේ ය.

"කිසිදු වෛරසහගත කුමන්ත්‍රණයකට ඉඩක් නොමැති බව ජුවාම් පාවුළු සුදොතුම් පියතුමා අසලින්ම සිටි පිරිස දනිති" ඩ්සිව්ස්කි කාදිනල් හිමි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

"සුදොතුම් පියතුමා ඉතා නිදහස් සහ පාරදෘශ්‍ය පූජකවරයෙක් විය. එතුමා සංකීර්ණ හෝ සංකුලතාවලින් පෙළුණු කෙනෙක් නොවුහ. මන්ද එතුමා ජීවිතයේ ඕනෑම තත්වයක සිටි ඕනෑම පුද්ගලයකුට ගෞරව කල පිරිසිදු මිනිසකු හා පූජකතුමකු වූ නිසාය. එතුමා ගේ ආදර්ශවත් ශුද්ධවන්ත ජීවිතය දෙස එබී බලන්නට උදව් වන යතුර එයයි" එම නිවේදනයේ සඳහන් වේ.

ලේඛක ජෝර්ජ් වීගල් මීට බොහෝ කලකට පෙර Witness to Hope හෙවත් "බලාපොරොත්තුවේ සාක්ෂිකරු" නමින් දෙවන ජුවාප් පාවුළු පාප්තුමා ගේ චරිතාපදානයක් ලියා පල කලේ ය. එම චරිතාපදානයේ ද ටයිමෙනිකා සහ පාප්වහන්සේ අතර තුබූ මිතු දම ගැන සඳහන් වේ. (එනම්, මෙම සම්බන්ධය 'හෙළිදරව්' කරන්නට තරම් අලුත් දෙයක් නොවේ. "ප්‍රවෘත්තියක්' News නොවේ. "පිලිණුවූ" හෙවත් Stale දෙයකි.) මෙම මිතු දම ක්‍රැකෝ අගරදගුරු පදවියේ සිට ආරම්භ වූ එකක් බව එම කෘතිය ද සනාථ කරයි. එහෙත් එම පොත පවසන්නේ ඔවුන් අතර හුවමාරු වූ ලියුම් වල හරය දාර්ශනික චින්තනය වෙත යොමු වී තිබු බවයි.

වතිකාන රාජ්‍ය ලේකම් කාර්යාලයේ සේවය කරන පෝලන්ත ජාතික පැව්ලෝ ප්ටැස්නික් පියතුමා වසර 10ක් පමණ ජුවාම් පාවුළු සුදොතුම් පියතුමා අසලින්ම සේවය කල කෙනෙකි. ටයිමෙනිකා සහ පාප් තුමා අතර හුවමාරු වූ ලියුම් ගැන එතුමා හොඳින් දනියි. "මේ දෙදෙනා අතර තිබූ දාර්ශනික විවාදයෙන් පස්සෙත් ටයිමෙනිකා දිගටම (වොයිටිවා) කාදිනල් තුමාටත් පසුව පාප් වහන්සේටත්  ලියුවා" එතුමා පවසයි. "වොයිටිලා බොහෝ කාරුණික පුද්ගලයෙක්. මේ නිසා ඈ විසින් එවන ලද සෑම ලියුමකටම එතුමා පිළිතුරු යැවුවා."  පියතුමා සඳහන් කරයි.



"පාප් වහන්සේ සමීප සම්බන්ධතා පවත්වපු බොහෝ දෙනෙක් සිටියා. ඒ ය සමග, පාප් වහන්සේ වූ පසුවත්, බෝට්ටු පදින්නට, කඳු නගින්නට, ඇවිදින්නට යනට (Hiking ) මෙන් ම කඳවුරු ගතකිරීම් (camping) වල යෙදෙන්නටද එතුමා පුරුදුවී සිටියා. කාන්තාවන් ගැන කියනවා නම්, පෝලන්ත ජාතික වෛද්‍යවරියක වූ වැන්ඩා පොල්ස්ටාවොස්කා සමගත් එතුමා සමීප මිතු දමක් පවත්වා ගත්තා. ඇය ලේඛිකාවක්. ඒ වගේම දෙවන ලෝක යුද්ධයේ වද කඳවුරක සිට ජීවිතය බේරාගත්  කෙනෙක්" පියතුමා සඳහන් කලේ ය.

එතැනත් නොනැවතී අප තවත් මූලාශ්‍රයක් වෙත හැරෙමු. ඇමෙරිකාවේ කුප්‍රකට වොටර්ගේට් සිද්ධිය වාර්තා කල මාධ්‍යවේදීන් ගෙන් කෙනෙකු වූ කාල් බර්න්ස්ටීන්, වතිකානනය පිලිබඳ විශේෂඥයකු වූ මාර්කෝ පොලිටි සමග එක්ව ජුවාම් පාවුළු පාප් තුමාගේ චරිතාපදානයක් ලීවේය. 1996 දී ලියා පලකල "His Holiness" නමැති එම කෘතියේ ටයිමියෙනිකා සහ පාප්තුමන් අතර මිතු දම ගැන කතා කිරීමට ඔවුන් පිටු 20ක් වෙන් කර තිබේ. මේ සඳහා ඔව්හු ටයිමියෙනිකා හමුවී තොරතුරු ලබා ගත්හ. මෙහිදී කර්තෘවරු ඇයගෙන් තීරණාත්මක ප්‍රශ්නයක් ඇසුහ. "ඔබ ජුවාම් පාවුළු පාප් වහන්සේ සමග (හෝ කැරොල් වොජ්ටිවා සමග) ශෘන්ගාරාත්මක සම්බන්ධයක් ඇති කරගත්තා ද? " යන්නයි. ඊට ඈ මෙසේ පිළිතුරු දුන් බව එම කෘතියේ සඳහන් වේ. "එය කොතෙක් ඒක පාර්ශවික දෙයක් වුනත්, නැහැ, මම එතුමා සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත්තේ නැහැ. මා මැදි වියේ පුජකවරයකු සමග පෙමින් වෙලෙන්නේ කොහොමද? ඇරත්, මම විවාහක ගැහැනියක්." 

කෙසේ නමුත් මේ සියල්ල අතර එක දෙයක් පැහැදිලිය. එනම් ජුවාම් පාවුළු පාප්තුමන් හා එතුමන් සේ ම දාර්ශනිකයකු වූ වේ කාන්තාව අතර සොඳුරු මිතු දමක් තුබූ බවයි. දෙවැනි ජුවාම් පාවුළු නමැති  බුද්ධි ප්‍රභාවෙන්, නිර්මානශීලීත්වයෙන්, මානව දයාවෙන් අනූන වූ සොඳුරු මිනිසා  වසර 25කට අධික කාලයක් ලෝකයට යහපත් දෑ බොහොමයක් ලබා දුන්නේ ය. අරුමය වන්නේ,  එවැනි පිවිතුරු හදවතකින් හෙබි සොඳුරු මිනිසකුට මෙවැනි සමීප, සොඳුරු මානව සම්බන්ධතා නොතිබුනා නම් පමණි.

එහෙත් එය කෙතරම් දුර ගියේ ද? ඒ ගැන විමර්ශනය කිරීමට අප ටිකක් අතීතයට යමු.

  "ආදර පුජාසනේ..." ලංකාවෙන් නිදර්ශනයක්
මේ කාරණය ගැන ගැඹුරින් විමසන්නට අප යොමු වන්නේ සිංහල  සිනමාවේ සුවිශේෂී නිර්මාණයකට ය. එනම් ගාමිණි පොන්සේකා කතෝලික පියතුමකු ගේ චරිතයට පන පොවමින් ප්‍රධාන චරිතය රඟපෑ "දෙවියනි ඔබ කොහිද?' සිනමා නිර්මාණය වෙතයි.

පියතුමා (ගාමිණි පොන්සේකා) මුහුදු බද දෙව්මැදුරකට  පත් වී ඇවිත් දුප්පත් ජනයාට සරණ වෙමින් ඔවුන්ගේ ආධ්‍යාත්මික ජීවිතය පෝෂණය කරමින් සේවාවක් කරගෙන යමින් සිටියි. මේ අතර දෙව්මැදුරේ කටයුතු කරමින් පියතුමාට ද උදව් පදව් කරන කඩවසම් තරුණයෙක් සිටියි. ඔහු පල්ලියේ කන්තාරු කණ්ඩායමේ සිටින යහපත් රුවැති තරුණියක සමග ප්‍රේමයෙන් වෙලෙයි. ටික කලක් යන විට ඔහුට හදිසියේ ගමෙන් පිට වීමට සිදුවේ. ඉන් පසුව තරුණිය නිතරම මීසම් ගෘහය යන්නේ එන්නේ සිය පෙම්වතා ගැන තොරතුරක් පියතුමාගෙන් දන ගැනීමටය. පියතුමා ද නිතර ඇය සනසාලයි. මේ අතර තරුණිය නිතර නිතර මීසම් ගෘහයට යාම ඒම ගමේ වැඩිමහල් අයගේ කුතුහලයටත් උකුසු ඇසටත් ලක් වෙයි. ඕපාදුප සොයන්නියෝ සිය 'කැමරා' ඒ වෙත යොමු කරති. ඔව්හු මීසම් ගෙදර දොර ජනෙල් හිල් වලින් නෙත් හෙලති.කන්යොමති. දිනක් මීසම් ගෘහයට පැමිණි තරුණියට පියතුමාගෙන් අසන්නට ලැබෙන්නේ සිය පෙම්වතා ගැන අසතුටුදායක පුවතකි. කම්පනයට පත් වන ඈ අසන්නේ, "එතකොට පියාණෙනි, මගේ කුසේ ඉන්න දරුවා....?" යනුවෙනි. පිටත සිට අසන-දකින ගැමියන්ට ඇසෙන්නේ ඒ වාක්‍යය පමණි. "එතකොට පියාණෙනි, මගේ කුසේ ඉන්න දරුවා..?" එයින් සිදු වී ඇති දේ 'නිශ්චිතවම නිගමනය කරන' ගම් වැසියෝ පියතුමා පිටතට ගෙන දස වද දී ගමෙන් ද පලවා හරිති.  මෙම සිද්ධියේ අග මුල හෙළිවී පියතුමා ගේ නිර්දෝෂී බවත් එතුමා ගේ ශුද්ධවන්ත කමත් තහවුරු වන විට ඛේදවාචකය සිදු වී හමාර ය.

මෙම සිනමා කතාව ජුවාම් පාවුළු පාප් වහන්සේ ගේ කතාව අතර පූර්වාපර සන්ධි ගලපා ගැනීම පාඨකයාට භාරය.

අවසානය

කෙසේ නමුත් BBC ය මගින් වාර්තා කරන ලද ජුවාම් පාවුළු පාප්තුමන් ගේ මෙම මිතුදම ගැන එක්තරා FM නාලිකා වෙබ් අඩවියක පල වූ 'වින්දනාත්මක' වාර්තාවට ලැබී තිබුණු ප්‍රතිචාර  හා මුහුනුපොතේ පළවූ ඇතැම් පහත් කොමෙන්ටු දකින විට  දැනෙන්නේ කම්පනයකි. එක අතකින් එය පුදුමයක් නොවේ. කාන්තාවකගේ 'තනපට' හෝ යටි ඇඳුම හෝ දුටු පමණින් කලබල වන, එවැන්නක් රටේ දැවෙන  ප්‍රශ්නය  බවට පත් කරගන්නා  ජනතාවකගේ  බුද්ධිය ගැන විමසනු කුමකට ද?









Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය