ඓතිහාසික කතෝලික - ඕතඩොක්ස් නායක හමුව: "අපි සොහොයුරෝ" සුදොතුම් පියතුමා කියයි

 "We are brothers" - Pope meets Orthodox Patriarch



(2016 පෙබරවාරි 13)

කිතුනු සභා අතර සංවාදයේ සහ එකමුතුවේ ඓතිහාසික පිය සටහනක් තබමින් ප්‍රැන්සිස් පාප් වහන්සේ කියුබාවේ හවානා නුවරදී රුසියානු ඔතඩොක්ස් සභාවේ නායක අති උතුම් කිරිල්  පේත්‍රියාක් තුමා හමුවූහ. මහා භේදයෙන් පසුව පාප් වහන්සේ නමක් රුසියානු පේත්‍රියාක් තුමකු මුණගැසුණු ප්‍රථම අවස්තාව මෙයයි.

එය ඉතා උණුසුම් සහෘද හමුවක් වුයේය. ඔවුන් දෙදෙනා හමුවූ මොහොත පෙනෙන්නට තුබුණේ අමුත්තන් දෙදෙනකු මුණගැසුණු අවස්ථාවක් ලෙස නොව බොහෝ කලකින් පසු එකට හමුවූ සහෝදරයන් දෙදෙනකුගේ මුනගැසීමක් ලෙස ය.

පාප් වහන්සේ ඕතඩොක්ස් පේත්‍රියාක්තුමා මුණගැසුනේ මැක්සිකෝව වෙත යන අතරතුර කියුබාවේ හවානා අගනුවර දිය. පේත්‍රියාක් තුමා ද ඒ වනවිට කියුබාවේ සංචාරයක් සඳහා පැමිණ සිටියේ ය. දෙදෙනා අතර කෙටි පිලිසඳරත් ඉන් පසු ඔවුන්  අතර විනාඩි 135ක් පමණ වේලා  පැවැති සාකච්ඡාවත් සිදුවූයේ අසාමාන්‍ය ස්ථානයකය. එනම් හවානාවේ හොසේ මාටි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ය. මෙම කිතුනු නායක දේපොළ ගේ හමුවට පහසුකම් සැපයූවේ තවමත් කොමියුනිස්ට් රාජ්‍යයක් වන කියුබාවේ ජනාධිපති රවුල් කස්ත්‍රෝ ය. සාකච්ඡාව අවසානයේ පාප්වහන්සේ සහ පේත්‍රියාක් තුමා ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් තැබූහ. ඉන්පසු ඔවුහු එහි රැස්ව සිටි මාධ්‍යවේදීන් හමුවූහ. 

ගුවන් තොටුපලේදී ප්‍රථම වරට පෙත්රියාක් තුමා මුණගැසුණු මොහොතේ එතුමන් ගේ දෑත සිය දෑතට ගනිමින් ප්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටියේ "ඇති යාන්තම්...." ("Finally") කියාය. "දැන් ඉතින් හැම දේම පහසු වෙයි" ඊට පිළිතුරු ලෙස  කිරිල් පේත්‍රියාක් තුමා කීවේය. "අපි සහෝදරයෝ. දේව කැමැත්ත මේක බව පැහැදිලියි" පාප් වහන්සේ ද යලිත් පැවසූහ.


සභා දෙක අතර ප්‍රකාශනයට අත්සන් තැබීමෙන් පසුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ තමන් සොහොයුරන් සේ කතා බහ කල බවයි. "අපට තිබෙන්නේ එකම ප්‍රසාද ස්නාපනය. අපි දෙදෙනාම රදගුරුවරුන්. අපි අපේ සභා ගැන කතා කළා..." යනුවෙනි. තමන්  දෙදෙනා අතර අත්සන් තැබුණු ප්‍රකාශනය ඉතා ඉටුකරගත හැකි ඉතා ප්‍රායෝගික මූලිකත්වයන් මාලාවකින් සමන්විත බව ද එතුමා කීවේය. පේත්‍රියාක්තුමා බැහැපත්, සහෝදරත්වයෙන් පිරුණු පිය තුමකු බව පාප් වහන්සේ ප්‍රශංෂා මුඛයෙන් කියා සිටියේය. එතුමා තුළ සභා එකමුතුව සඳහා දැල්වෙන ආශාවක් ඇති බව ද එතුමා සඳහන් කලේ ය.

කිරිල් පේත්‍රියාක් තුමා කියා සිටියේ තමන් අතර සාකච්ඡාව ඉතා විවෘත එකක් වූ බවයි. "කිතු දහමේ අනාගතය සහ සමස්ත මානව ශිෂ්ටාචාරයේ ම අනාගතය සම්බන්ධයෙන් අපගේ සභා සතුව ඇති වගකීම ගැන මනා වැටහීමකින් යුතුව අප අදහස් හුවමාරු කරගත්තා." යි එතුමා කීවේය.

 "අප එකිනෙකා ගේ ස්ථාවරයන්  සහ ආකල්ප ගැන අවබෝධයක් ලබා ගැනීමට මෙම හමුව ඉතා හොඳ අවස්ථාවක් වුනා. එහි ප්‍රතිඵල අනුව ඔබට යම් සහතිකයක් දීමට මට පුළුවන්. එනම්, සභා දෙකම ලොව පුරා සිටින සියලු කිතුනුවන් සමග නොකඩවා ඉතා සමීපව කටයුතු කිරීමට අදිටන් කරගෙන ඇති බවයි. එමෙන්ම, මෙම සමීප සම්බන්ධතාව තුළ, යුද්ධයට එරෙහිව වඩාත් වගකීමෙන් යුතුව එක්සත්ව අප ක්‍රියා කරනවා. මේ මගින් සමස්ත මානව ප්‍රජාවට දියුණු වීමට හැකියාව ලැබෙනු ඇති බව අපගේ විශ්වාසයයි" යැයි එතුමා මාධ්‍ය කරුවන් අමතමින් කියා සිටියේය.

කිරිල් පේත්‍රියාක් තුමා සහ ප්‍රැන්සිස් පාප් වහන්සේ අතර අත්සන් තැබුණු ඒකාබද්ධ ප්‍රකාශනය ලෝකයේ නූතන දේශපාලන සමාජ-ආර්ථික සහ ආචාර ධාර්මික තත්වයන් ගැන රිජුව කතා කරන ප්‍රබල ලේඛනයකි. මැදපෙරදිග, අප්‍රිකාව හා වෙනත් ප්‍රදේශවල කිතුනුවන්ට එරෙහිව එල්ල වන ප්‍රචණ්ඩ ක්‍රියා, යුක්රේනයේ තත්වය, ආගමික අන්තවාදී ත්‍රස්තවාදය, විවාහය සහ පවුල ගැන නූතන සමාජයේ පවතින මත පිලිබඳ සභාවේ ප්‍රතිචාරය වැනි වැදගත් අංග වලින් සමන්විත එය දීර්ඝ ලියවිල්ලකි. එහි ඇති ප්‍රබල බව නිසා මාධ්‍ය කරුවකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු  දෙමින්  ප්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටියේ " මෙය දේශපාලන ප්‍රකාශනයක් නොවේ. එඬේරුන් (කතෝලික සභා නායකයන්) දෙදෙනකු එක් වී එකම ස්ථාවරයෙන් නිකුත් කළ දහම් සේවා ලියැවිල්ලක්" යනුවෙනි.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය